Skip to content

හැත්තෑ වසරකට පසු පැවැත්වෙන රාජාභිෂේකය

තෙවන චාල්ස් රජතුමා සහ කැමිලා බිසව

එළඹෙන මැයි මස 6 වන ශනිදාව මහා බ්‍රිතාන්‍ය ඉතිහසයේ මෙන්ම ලෝක ඉතිහාසයේද සුවිශේෂී දිනයක්වනු ඇත. ඒ මක් නිසද යත් මේ වන විට මහා බ්‍රිතාන්‍ය රජාභිෂේකයක් සඳහා ලහි ලහියේ සුදානම් වන බැවිනි. ක්‍රමක්‍රමයෙන් ලෝකය රාජාණ්ඩු ක්‍රමයෙන් ඉවත් වීමත් සමඟ රාජාභිෂේක එහෙමත්  නැතිනම් කිරුළු පැළඳවීමේ උත්සව මේ වනවිට ඉතා කලාතුරකින් දක්නට ලැබෙන අවස්ථාවක් බවට පත්ව ඇත. වර්තමාන ලෝකයේ තවමත් රජවරුන් විසින් නායකත්වය දෙනු ලබන රාජ්‍යන් කිහිපයක් දක්නට  ලැබුනද නව රජෙකුගේ මෞලී මංගල්‍යයක් පවත්වනු ලබන්නේද ඉන් ඉතා ස්වල්පයක් පමණි.  වර්තමානයේද යුරෝපයේ බොහෝ රටවල්වල රාජාණ්ඩු පැවතුනද ඉන් රජාභිෂේකයක් පවත්වනු ලබන්නේ එක්සත් රාජධානියේ පමණි.  අද වන විට ආසියාවේ රාජාණ්ඩු විශාල සංඛ්‍යාවක් අභාවයට ගොස් ඇති නමුත් ජපානය, තායිලන්තය, භූතානය, කාම්බෝජියාව, බෲනායි වැනි රාජ්‍යයන් අදටත් රාජාභිෂේකයන් පවත්වයි.  තවද අප්‍රිකානු රාජ්‍යයන් වන ලෙසෝතෝ සහා ස්වාසීලන්තයද පැසිෆික් සාගරයේ පිහිටි කුඩා දූපත් රාජ්‍යයක් වන ටොංගා රාජධානියද අද වන තෙක් අතීත සම්ප්‍රදායන් රැක ගනිමින් නව රජෙකුගේ ධූර කලය නිල වශයෙන් ආරම්භ කිරීම සමරනු වස්  රාජාභිෂේක පවත්වනු ලබයි.

එළඹෙන මැයි මස 6 වන දින එක්සත් රාජධානියේ ලන්ඩන් නුවර වෙස්ට්මිනිස්ටර් ඇබේ දෙව්මැදුරේදී පැවැත්වීමට නියමිත තෙවන චාල්ස් රජතුමාගේ සහ කැමිලා බිසවගේ රාජාභිෂේකය ලෝකයට මෙතරම් වැදගත් වන්නේ එය වසර 70 කට පසු මුළු යුරෝපයේම පැවැත්වෙන පළමු රජාභිෂේකය වීම පමණක් නොව චාල්ස් රජතුමා එක්සත් රාජධානියේ පමණක් නොව කැනඩාව, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය ඇතුළුව රටවල් 15 ක රජු ලෙස කිරුළු පැළඳීමටද නියමිත බැවිනි.

පසුගිය වසරේ සැප්තැම්බර් මස 8 වන දින සිය මව වන දෙවන එළිසබත් මහ රැජිනගේ අභාවයෙන් පසු තෙවන චාල්ස් රජු රාජ්‍යත්වයට පත් වුනා. බ්‍රිතාන්‍ය ඉතිහාසයේ රාජ්‍යත්වයට පත් වයස්ගතම රජු ලෙස ඉතිහසයට එක් වු චාල්ස් රජතුමා එරට දීර්ඝතම කාලයක් කිරුළ හිමි කුමරු තනතුර දැරූ පුද්ගලයාද වනවා. එමෙන්ම එතුමා ලංකාව ජනරජයක් වන තෙක් ලංකා රාජධානියේ ඔටුන්න හිමි කුමරු ලෙසද කටයුතු කරා. ඒ අනුව ඔහු මෙරට අවසන් ඔටුන්න හිමි කුමාරයා වේ.

වසර 1000 ක පමණ පරණි සම්ප්‍රදායන්ට මුල් තැන දෙමින් පැවැත්වීමට නියමිත මෙම උත්සවය මීට පෙර පැවැති  රාජාභිෂේකයන්ට වඩා තරමක් කෙටි හා නව අංග ඇතුළත් වුණු ඉතා අභිමානවත් උත්සවයක් වනු ඇත. වර්තමානය වන විට එක්සත් රාජධානිය පුරා ව්‍යාප්තව ඇති විවිධ ආගමික විශ්වාස හා ඇදහිලි, විවිධ සංස්කෘතීන්ටද ගරු කරමින් මෙම රාජාභිෂේකය පැවැත්වීමට එරට රජය තීරණය කර ඇත. පළමුව රජු හට ශුද්ධ වූ තෙල් අලේප කරමින් රජු රාජ්‍යත්වයට එසවීමට නියමිත අතර මීට පෙර පැවති රජාභිෂේකයන් වලදී මෙන්ම මෙවරද එය රූපවාහිය ඔස්සේ සාමාන්‍යය ජනතාවට නොපෙන්වීමටයි තීරණය කර ඇත්තේ. 1953 වසරේ පැවැති දෙවන එළිසබත් මහ රැජිනගේ රාජාභිෂේකයේදි මෙම අවස්ථාව ජනතාව දැකබලාගනීම වැළැක්වීම සඳහා ඇයව රන්වන් පැහැති වියනකින් ආවරණය කරනු ලැබුවා.

ඉන් අනතුරුව රජු හට විවිධ රාජකීය කකුධ භාණ්ඩ ලබාදීමට නියමිත අතර පසුව එංගලන්ත පල්ලියේ ප්‍රධනියා වන කැන්ටබරිහි රාජගුරුතුමන් විසින් ශාන්ත එඩ්වඩ් කිරුළ (St. Edward’s Crown)  රජුගේ හිස මත පැළඳවීමට නියමිතයි. 1661 දී දෙවන චාල්ස් රජුගේ රාජාභිෂේකය වෙනුවෙන් නිර්මාණය කර ඇති මෙම ශාන්ත එඩ්වඩ් කිරුළ කැරට් 22 කේ රත්තරනින්  නිමවා ඇති අතර අඟල් 12 ක උසින් සහ කිලෝග්‍රෑම් 2.23 ක බරින් යුක්තවේ.  ඉතා වටිනා මැණික් ගල් සහා දියමන්ති 444 කින් අලංකෘත මෙම කිරුළ 1911 සිට බ්‍රිතාන්‍යයේ රජවූ සියළුම රජවරුන් සහ රැජිනියන් අභිෂේක ගැන්වීම සඳහා යොදාගෙන ඇත.

ශාන්ත එඩ්වඩ් කිරුළ  (St. Edward’s Crown)
රජු අභිෂේක ගැන්වීම සඳහා යොදා ගන්නා 1300 දි නිර්මාණය කරන ලද ශාන්ත එඩ්වඩ් අසුන (St. Edward’s Chair / Coronation Chair)

කිරුළු පැලදවීමෙන් අනතුරුව රජු සිය සිංහාසනයේ අසුන්ගන්නා අතර එහිදි එංගලන්ත පල්ලියේ රදගුරුවරුන් සහා කිරුළ හිමි විලියම් කුමරු රජු ඉදිරියේ දණ ගසා රජුට සිය පක්ෂපාතීත්වය දැක්වීමට නියමිතයි. ඉන් අනතුරුව කැමිලා රැජින කිරුළු පැලැඳීමට නියමිත අතර  ඒ  සඳහා  1911 දී තෙවන චාල්ස් රජුගේ මී මිත්තනිය වන මේරි රැජින වෙනුවෙන් නිර්මාණය කරන ලද කිරුළ යොදා ගනීමට නියමිතයි. නමුත් එම කිරුළේ ඔබ්බවා ඇති ඉන්දියාවෙන් ගෙනයන ලද සුප්‍රසිද්ධ කොහිනූර් දියමන්තිය ඉවත්කර මෙතෙක් ලොව හමුවූ විශාලතම දියමන්තිය වන කුලිනම් දියමන්තියෙන් කපාගත් දියමන්ති යොදා කැමිලා රැජින වෙනුවෙන් මේරි රැජිනගේ ඔටුන්න ප්‍රතිනිර්මාණය කර ඇත.

මේරි රැජිනගේ ඔටුන්න

මෙම සුවිශේෂි අවස්ථවේ සාක්ෂිකරුවන් වීම පිණිස ලොවපුරා සිටින රජවරුන්,  රැජිනියන්, ජනධිපතිවරුන්, අගමැතිවරුන්, විව්ධ ආගමික නායකයින් ආරාධනා ලබා ඇත.  තෙවන චාල්ස් රජුගේ රාජාභිෂේකය නිමිත්තෙන් එක්සත් රාජධානියේ මෙන්ම ලොවපුරාද විවිධ ආකාරයේ සැමරුම් සහා උත්සව සංවිධානය කර ඇත.

රාජාභිෂේකයෙන් පසු රජු හා රැජින නැවත බකිංහම් මාළිගාව දක්වා ගමන් කිරීමට නියමිත රාජකීය අශ්වාරෝහක කරත්තය (Gold State Coach)

කෙසේ වෙතත් බ්‍රිතාන්‍ය රජ පවුලට විරුද්ධත්වය දක්වන පිරිස්ද මේ වන විට විවිධ උද්ගෝෂණ සහ විරෝධතා සංවිධානය කර ඇත.  YouGov  නම්  සමීක්ෂණ ආයතනය විසින් කරන ලද සමීක්ෂණයකට අනුව බ්‍රිතාන්‍යයේ වැඩිහිටියන්ගෙන්  51%  ක  අදහස රාජාභිෂේකය සඳහා  මහජන  බදු මුදල් භවිතා නොකළ යුතුය යන්නයි.  ස්කොට්ලන්තයේද නිදහස උදෙසා අරගල කරන පිරිස්ද එඩිම්බරෝ නුවර සහ ග්ලාස්ග්‍රෝ නුවර විවිධ විරෝධතා සංවිධානය කර ඇත.

රාජාභිෂේක  උත්සවයේදී  රජු  වෙත  ලබදීමට  නියමිත  විවිධ  කකුධ  භණ්ඩ

රාජාභිෂේකයෙන් පසුව පැවත්වෙන පෙරහැරේද ී රජු විසින් පැලඳිමට නියමිත කිරුළ (Imperial State Crown), රාජකීය යෂ්ඨිය (Sovereign's scepter) සහ ක්‍රිස්තියානි ලෝකය සංකේතවත් කිරීම උදෙසා ලෝක ගෝලය මත සවි කර ඇත ි කුරුසය (Sovereign's orb)
රජු වෙත ශුද්ධ වූ තෙල් ආලේප කිරීම සඳහා යොදා ගන්නා රත්තරං කෙණ්ඩිය සහා හැන්ද
රාජකීය කඩු (Swards of State)
රාජාභිෂේක මුද්ද (Coronation Ring)

Latest