Skip to content

ඔබ දැනගතම යුතු පෞරුෂ මෝස්තර පිළිබඳ කාර්ල් යුංග් ගේ පැහැදිලි කිරීම

සිග්මන්ඩ් ෆ්‍රොයිඩ්ගේ නම හැරුණුවිට මනෝවිශ්ලේෂණවාදයේදී නිතරම කියැවෙන නාමයක් වන්නේ කා‍ර්ල් යුංග් වන අතර එයට ප්‍රධාන හේතුව වන්නේ සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් සේම ඔහු මනෝවිශ්ලේෂණවාදයට දායාද කළ අපමණ දැනුමය. ඊට අමතරව කා‍ර්ල් යුංග් සළකන්නේ සිග්මන්ඩ් ෆ්‍රොයිඩ්ගේ ප්‍රධාන ශිෂ්‍යයා ද වශයෙන් ය.

යුංග් උපත ලබන්නේ 1875 ජූලි මස 26 වන දින ස්විස්ටර්ලන්තයේ ය. බාසෙල් සහ සූරිච් විශ්වවිද්‍යාලවල ඉගෙනුම ලැබූ යුංග් වෛද්‍යවරයෙකු වශයෙන් සිය වෘත්තීය දිවිය අරඹන අතර අනතුරුව මනෝ චිකිත්සාව පිළිබඳව විශේෂඥයකු බවට පත්ව ඇත. 1906 දී සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් සමග සම්බන්ධ වන යුංග් 1911 වියානා නුවර පැවති ප්‍රථම ජාත්‍යන්තර මනෝවිද්‍යා සම්මේලනයේ සභාපති දූරයට ද පත් වී ඇත.

සිග්මන්ඩ් ෆ්‍රොයිඩ්ගේ මනෝවිශ්ලේෂණවාදයේ ඔටුන්න හිමි කුමාරයා බවට පත්ව සිටි කා‍ර්ල් යුංග් කෙසේ නමුත් 1912 දී ප්‍රොයිඩ්ගේ මත ඉතාමත් උග්‍ර ලෙස විචාරයට ලක් කරමින් මනෝවිශ්ලේෂණවාදයෙන් ඉවත් වූ බව ද මූලාශ්‍ර කියයි. අනතුරුව ඔහු ස්වාධීන මනෝවිද්‍යාඥයකු ලෙස පර්යේෂණ පවත්වමින් ස්වකීය මතිමතාන්තර ඉදිරිපත් කරන්නට විය.

මනුෂ්‍ය පෞරුෂය පිළිබඳ අන්තර්ගතික සහ බහිර්ගතික මතය, මනෝවිශ්ලේෂණය පිළිබඳ වදන් සංඝටක ප්‍රතිකාර ක්‍රමය, මනසේ ව්‍යුහය පිළිබඳව පුද්ලික සහ සාමූහික අවිඥාණය, අනිමා අනිමුස් වැනි මූලාකෘති, ලුබ්ධි ශක්තිය යනාදිය කා‍ර්ල් යුංග් ගේ ඉදිරිපත් කිරීම් අතර වඩාත් ජනප්‍රිය වන අතර මනෝප්‍රතිකාරය සහ පුද්ගල පෞරුෂය පිළිබඳ නව සිද්ධාන්ත පහළ කල ඔහු මනෝවිද්‍යාවේ සාම්ප්‍රදායික භෞතික සීමාවෙන් පිටපැන මානුෂික සහ ආගමික දෙසට හැරීමට උත්සාහ කළ බව විද්වතුන්ගේ අදහසයි.

කෙසේ නමුත් තමන් අධ්‍යාපනය ලැබූ විශ්වවිද්‍යාල දෙකෙහිම මනෝවෛද්‍ය විද්‍යාව පිළිබඳව මහාචාර්ය දූරය දැරූ කා‍ර්ල් යුංග් මනෝවිද්‍යාවට ඉමහත් සේවයක් ඉටු කරමින් වසර 87 ක් ආයු විඳ 1961 ජුනි මස 06 වන දින මිය යන අතර අප මින් ඉදිරියට සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන්නේ ඔහුගේ ඉතා ජනප්‍රිය ඉදිරිපත් කිරීමක් වන " පොරුෂ මෝස්තර " පිළිබඳව ය. එය සාකච්ඡා කිරීමට ප්‍රථම කා‍ර්ල් යුංග් යනු කවරෙක්දැයි හඳුනාගත යුතු බැවින් ඉහත කරුණු දැක්වීමට තීරණ කළෙමි.

සාමාන්‍ය මනෝවිද්‍යා ක්ෂේත්‍රය ඉක්මවා යමින් අධ්‍යාපනික ක්ෂේත්‍රයටත්, උපදේශන සේවයටත් කා‍ර්ල් යුංග් ගේ ඉදිරිපත් කිරීම් වඩාත් වැදගත් වූයේ ඔහුගේ මෙම පෞරුෂ මෝස්තර සිද්ධාන්තය නිසා යැයි කිව හැකිය. පුද්ගලයකු තුළින් පෙනී යන පෞරුෂ ස්වාභාවය අනුව යුංග් පෞරුෂ මෝස්තර දෙකක් ඉදිරිපත් කළේය. එනම් අන්වර්තික ( Introvert ) සහ බහිර්වර්තික ( Extrovent ) වශයෙනි.

කෙසේ නමුත් මේ පිළිබඳව සාකච්ඡා කිරීමට මත්තෙන් මනෝවිශ්ලේෂණවාදයේ එන ලුබ්ධි ශක්තිය යනු කුමක්දැයි පිළිබඳව දැනගතයුතු හෙයින් ඒ පිළිබඳව ද කරුණු දැක්වීමට සිදුවන අතර සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් සහ කා‍ර්ල් යුංග් යන දෙදෙනාම මේ පිළිබඳව අදහස් දක්වා ඇත. යුංග් ගේ පැහැදිලි කිරීම් අනුව ඕනෑම පුද්ගලයකු එක්තරා ශක්ති සමූහයකින් යුක්ත වූවෙකි. ඒ ශක්තිය විවිධ මාර්ගවලට, විවිධ ප්‍රයෝජන ගතහැකි අංශවලට යොමුකළ හැකි අතර මෙම මානසික ශක්තිය ලුබ්ධි ශක්තිය වශයෙන් හැඳින් වේ.

කා‍ර්ල් යුංග් ට අනුව ලුබ්ධිය පොදු ජීවන ශක්තියක්  වන අතර යම් මොහොතක කුමක් කළ යුතු ද යන්න තේරුම්ගෙන පුද්ගලයා හැසිරෙන්නේ මෙම ලුබ්ධි ශක්තිය ඇසුරිනි. එමෙන්ම පුද්ගල වර්ධනයටත්, වර්ගයා බෝ කිරීම වැනි වෙනත් එදිනෙදා කටයුතු වලදී ද ලුබ්ධි ශක්තිය පුද්ගලයකුට දායක වනු ඇත.

යුංග් ලුබ්ධි ශක්තිය ලිංගිකත්වයට සීමා නොකළ නිසා ආගම, විද්‍යාව, කලාව, සාහිත්‍ය, දර්ශනය ආදී වශයෙන් නොයෙකුත් විෂයන් සඳහා මෙය යොමුකළ හැකි අතර පුද්ගලයා තම ලුබ්ධිය විවෘත කරන අංශයට එහි ශක්ති ප්‍රවාහය ගලා යන බව විචාරකයෝ දක්වති.

එලෙස හඳුනාගත හැකි ලුබ්ධි ශක්තියෙන් අනතුරුව නැවතත් යුංග් ගේ පෞරුෂ මෝස්තර පිළිබඳ සාකච්ඡාවට යන්නේ නම් යම් අවස්ථාවක පුද්ගලයකු ක්‍රියා කරන ආකාරය අනුව ඔහු කුමන ස්වාභාවයේ පුද්ගලයකුදැයි හඳුනාගත හැකිය. ලුබ්ධි ශක්තිය තමන් වෙත හරවා ජීවත්වන පුද්ගලයා අන්තර්වර්තික ජීවියෙකු වන අතර ලුබ්ධි ශක්තිය තම මනසේ අභ්‍යන්තරයට යොමුකරගෙන ජීවත්වන මෙවැනි පුද්ගලයෝ තමා වෙතට ම නැමුණු ආත්මීය ස්වාභාවයක් දරති.

සාමාන්‍යයෙන් තනිවම කටයුතු කරන ඔවුහූ සබකෝලයයෙන් යුතුවන අතර බාහිර මිනිස් සමාජය හෝ පිටස්තර ලෝකයා සමග සබඳතා අඩු හෝ විශ්වාසය නොතබති. සමාජ ඇසුරට ලැජ්ජාශීලී වෙති. ඇතැම් විට ගුප්ත බවක් ද පෙන්වන අතර බාහිර ලෝකය දෙස නොබලන අන්තර්වර්තිකයා තමන්ගේම අභ්‍යන්තර සිතුවිලි සහ වේදයිතාව සමග හුදෙකලාව ජීවත් වේ.

අන්තර්වර්තිකයා නිරන්තරයෙන් ම සිය ලුබ්ධි ශක්තිය ඇතුලට හරවන සුලු නිසා ඔහු නිරන්තරයෙන්ම ආදි කල්පිත මනෝමූල ස්වාභාවයන් අනුව ජීවත් වීමට පෙළඹෙන අතර මේ අනුව ඔහුගේ චින්තනය ක්‍රියාත්මක වන්නේ අරමුණු සහගත එල්ලයකින් තොරවය. බොහෝවිට සංකේතානුසාරී චින්තනයේ නිමග්න වේ. යම් ප්‍රස්තුතයක විෂයබද්ධතා නොසලකා හරින ඔවුහූ පුද්ගල නිශ්‍රිත අත්දැකීම්වල වටිනාකම වුවමනාවට වැඩියෙන් තක්සේරු කිරීමට පෙළඹේ.

කෙසේ නමුත් ලුබ්ධි ශක්තිය පිටතට හරවන පුද්ගලයා බහිර්වර්තික නම් වන අතර හෙතෙම ලුබ්ධි ශක්තිය බාහිර ලෝකයට යොමු කරයි. එම නිසා ඔවුහූ සමාජශීලී වෙති. භාහිර ලෝකය සහ අන්‍යයන් ගැන සිතයි. සමාජය විසින් පිළිගනු ලබයි. බාහිර ලෝකය සමග අනුබද්ධ වන අතර පෞද්ගලිකත්වයට වඩා පොදු බව අගයති. බොහෝ විට සමාජයේ සියල්ලන්ම ඇසුරු කරති. ඇතැම්විට දැඩි ආත්ම ශක්තියෙන් යුතුව ක්‍රියා කරන අතර බහිර්වර්තිකයා තම මානසික ක්‍රියාකාරීත්වය උදෙසා අරමුණු පිහිටුවා ගනු ලබන්නේ බොහෝවිට විෂය බද්ධ සාධක මතය.

එමෙන්ම ස්වකීය ජීවිතය උදෙසා අභ්‍යන්තර මනසින් නියත සාධක අපේක්ෂා නොකරන බහිර්වර්තිකයා හැමවිටම බාහිර ලෝකයා සමග බද්ධ වී පවතින තත්වය තුළ විෂයානුබද්ධ ආකල්පයකින් යුතුව කටයුතු කරයි. මේ අනුව ඉතා වැදගත් සහ තීරණාත්මක අධිෂ්ඨාන සහ මතවාද ඔහු වෙත ගලා එන්නේ විෂයානුබද්ධව මිස මනෝමූලික වශයෙන් නොවේ. යුංග් ට අනුව අන්තර්වර්තික සහ බහිර්වර්තික ලක්ෂණ පහත ආකාරයට සම්පිණ්ඩනය කළ හැකිය.

අන්තර්වර්තික සහ බහිර්වර්තික ලක්ෂණ මෙලෙස වර්ගීකරණය කළ හැකි වූව ද එය පුද්ගලයා විෂයෙහි බද්ධ කරන විට කිසි කෙනෙකු සම්පූර්ණයෙන්ම අන්තර්වර්තික හෝ බහිර්වර්තික යැයි විභේදනය කළ නොහැකිය. ඕනෑම අන්තර්වර්තිකයකු වූව ද කිසියම් අවස්ථාවකට අනුව ප්‍රතිචාර දැක්වීමේ දී අවම මට්ටමින් වූව ද බහිර්වර්තික ලෙස ක්‍රියා කිරීමට ඉඩකඩ තිබේ.

එසේම ප්‍රබල බහිර්වර්තිකයෙකුට වූව ද යම සුවිශේෂී අවස්ථාවකට මුහුණ දීමේදී අන්තර්වර්තික බව ඉස්මතු විය හැකිය. මේ නිසා පුද්ගලයන් අතර සමහරුන් වැඩියෙන් අන්තර්වර්තික විය හැකි අතර සමහරුන් වැඩියෙන් බහිර්වර්තික විය හැකි වශයෙන් තක්සේරු කිරීම සාධාරණ වේ.

කාර්ල් යුංග් විසින් මනෝවිද්‍යා ක්ෂේත්‍රයට දායාද කළ ඉතා වැදගත් එමෙන්ම බොහෝ සෙයින් ජනප්‍රිය වූ මෙම පෞරුෂ මෝස්තර ද්විත්වය මතු දැක්වෙන පරිදි කොටස් හතරකට ද බෙදා දක්වා ඇත. එනම් චින්තනය ( thinking ), වින්දනය ( feeling ), සංවේදනය ( sensation ) සහ ප්‍රතිභානය ( intution ) වශයෙනි.

මෙන සතර, අන්තර්වර්තික සහ බහිර්වර්තික යන ප්‍රධාන මෝස්තර දෙකෙන් ගුණ කළ විට පුද්ගල පෞරුෂ මෝස්තර 08 ක් අපට ගොඩනගා ගත හැකි අතර ඔබත් මාත් ඇතුළුව මේ ලෝකයේ ඕනෑම මිනිසෙකුට මෙම මෝස්තර අට දෙස බලා තම තමන්ගේ මෝස්තරය තීරණය කරගත හැකිය. එම පෞරුෂ මෝස්තර අට පහත පරිදි වේ.

මෙලෙස පුද්ගල විවිධත්වය අනුව පෞරුෂ විධි හඳුනා ගැනීම පිළිබඳව පළමුවරට සාර්ථක ප්‍රයත්නයක් දරන ලද කාර්ල් යුංග් විසින් හඳුන්වා දෙන ලද අන්තර්වර්තික සහ බහිර්වර්තික පෞරුෂ වර්ගීකරණය ඇසුරින් පෞරුෂ මෝස්තර කිහිපයක් අර්ථකතනය කළ හැකිය.

මේ අතර යුංග් ගේ මතය තව දුරටත් දියුණු කළ අයිසෙන්ක් ( Eysenck H.S. ) 1975 දී EPQ ( Eysenck personality Questionaiar ) නමින් පුද්ගල පොරුෂ පැතිකඩ මාන 3 ක් මැනීමේ පර්යේෂණයක් සිදුකළ අතර මෙහිදී කාර්ල් යුංග් විසින් හඳුන්වා දුන් අන්තර්වර්තික සහ බහිර්වර්තික මානයට අමතරව නියුරෝෂීය මානය සහ සයිකෝෂීය මානය අයිසෙන්ක් විසින් එකතුකරන ලදී.

මෙහිදී නියුරෝෂීය ගණයට අයත් වන පුද්ගලයින් වඩාත් අන්තර්වර්තික පෞරුෂ ලක්ෂණ දරන අතර ප්‍රබෝධකයන්ට විගසින් සංවේදී වේ. ආරෝපිත ප්‍රතිචාර ඉක්මනින් හඳුනා ගනී. ඉතා ඉහළ මට්ටමින් කාංසාජනක ප්‍රතිචාර දැරීමට හැකි කම ආදිය නිසා එම අර්ථයෙන් ගත් විට ඔවුහූ අධි සමාජශීලීහූ වශයෙන් සැලකිය හැක්කේ ය.

අයිසෙන්ක් විසින් හඳුන්වා දෙන ලද සයිකෝෂීය මානය හඳුන්වා දී ඇත්තේ අක්‍රමතා සහිත පෞරුෂයක දක්නට ලැබෙන අතිරේක මානයන් වශයෙනි. සයිකෝෂීය මානයේ ඉතා ඉහළ ලකුණු ලබන්නෝ අන් අය සමග ඇසුරින් තොර වන අතර ඔවුහූ අන්‍යයන්ට එළි පිටම එදිරිවාදීකම් කරති. එමෙන්ම අන්‍යයන් වහල්බාවයට පත්කරගෙන සතුටුවන ඔවුහූ දරුණු කෲරත්වය දක්වා එම සම්බන්ධතා වර්ධනය කරති. එසේම ඉහළ අගයක් දරන සයිකෝෂීය මාන දරන්නන් අසාමාන්‍ය දේ වලින් වින්දනය ලබන බව ද අයිසෙන්ක් විසින් පෙන්වා දී ඇත.

Latest