Skip to content

කැරිබියන් යෝධයෝ නැවතත් සැමී යටතට

විශේෂයෙන් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් රසිකයන්ගේ නොමද ආදරයට පත් ක්‍රිකට් කණ්ඩායමක් වශයෙන් ක්‍රිකට් රසික භාෂාවෙන් හඳුන්වන කැරිබියන් යෝධයෝ නැතිනම් බටහිර ඉන්දීය ක්‍රිකට් කණ්ඩායෙමේ නව සීමිත පන්දුවාර පුහුණුකරු ලෙස ඩැරන් සැමී පත්කර ඇති බවට වාර්තා වේ. ඩැරන් සැමී යනු බටහිර ඉන්දීය ක්‍රිකට් ඉතිහාසයේ පුරාවෘත්තයක් ලෙස සලකන හිටපු නායකයකු වන අතර එයට හේතුව වන්නේ 2012 ශ්‍රී ලංකාවට එරෙහිව සහ 2016 එංගලන්තයට එරෙහිව T 20 ලෝක කුසලාන ද්විත්වයක් සිය රටට උරුම කර දුන් නායකයා බැවිනි.

ජාතික පුහුණුකරුවකු වශයෙන් ඩැරන් සැමීගේ ප්‍රථම පත්වීම මෙයවන අතර නමුත් කැරිබියන් ප්‍රිමියලීග් සහ පාකිස්තාන් සුපර්ලීග් යන ලීග් තරඟවලදී ඔහු පුහුණුකරුවකු ලෙස කටයුතු කර ඇත. ඩැරන් සැමීගේ පළවන වගකීම වන්නේ එළඹෙන ජූනි මාසයේ එක්සත් අරාබි එමීර් රාජ්‍ය සමඟ පැවත්වීමට නියමිත එක් දින තරඟ තුනයි. ක්‍රීඩකයකු වශයෙන් සැමීගේ එතරම් කැපී පෙනෙන දක්ෂතා නොමැති අතර ඔහු T20 ජාත්‍යන්තර තරඟ 68 ක් ක්‍රීඩා කර ලකුණු 587 ක් සහ කඩුළු 44 ක් ලබාගෙන ඇත. ක්‍රීඩකයකු වශයෙන් කැපී පෙනෙන දක්ෂතා නොමැති වූවත් ඔහු අමතක නොවන ලෝක කුසලාන ද්විත්වයක් සිය රටට ලබා දීමට නායකත්වය දුන් බැවින් ඔහුගේ කළමණාකරණ හැකියාව පිළිබඳව මෙහිදී වඩාත් සැලකිලිමත් වී ඇති බව පෙනෙන්නට තිබේ. .

පසුගිය දශකය තුළ ලෝකයේ වඩාත් ප්‍රබල කණ්ඩායමක් වූ බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායම මේ වනවිට යම් පසුබෑමකට ලක්ව ඇති අතර ඔවුන්ට ශ්‍රී ලංකාවට මෙන් 2023 ලෝක කුසලානය සඳහා සුදුසුකම් ලැබීමේ තරඟවලට ද සහභාගී වීමට සිදුව ඇත. නමුත් විචාරකයින් පවසන්නේ ඩැරන් සැමීගේ නව පත්වීමත් සමග පෙර සිටි බටහිර ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම අපට යලි දැක බලාගත හැකි බවය. ඩැරන් සැමීද පවසනුයේ සාර්ථකත්වය සඳහා ඇති ආශාව, බටහිර ඉන්දීය ක්‍රිකට්වලට ඇති ආදරය සහ උපායශීලීත්වය, කළමණාකරණ හැකියාව, සන්නිවේදන හැකියා මගින් සිය රටේ ක්‍රිකට් ක්‍රීඩාව ඉහළට ඔසවා තැබීමට ඔහුට හැකිවනු ඇති බවය.

Latest