Skip to content

පසුගිය මාස කිහිපයක කාලය තුළ ශ්‍රී ලංකාවේ වඩාත් අවධානයට ලක් වූ මාතෘකාව නම් රිලවුල්ගෙන් සිදුවන වගා හානියත් සහ එම සත්වයින්ගේ යම් ප්‍රමාණයක් චීනයට යැවීම පිළිබඳ කාරණයත් ය, යන්න අප හොඳ හැටි දනිමු. සාමාන්‍යයෙන් ශ්‍රී ලංකාවෙහි සමාජ කතිකාවතන් දෙස හොඳ හැටි නිරීක්ෂණය කරන්නේ නම් සුළු සුළු කාල සීමාවන් තුළ මෙලෙස තලු මැරීමට කුමක් හෝ මාතෘකාවක් පොදු සමාජය තුළට සැපයෙන බව වටහා ගැනීම එතරම් අපහසු කරුණක් නොවේ. නමුත් මෙහි ඇති ගැටළුව වන්නේ  අදාළ මාතෘකාවන් සම්බන්ධයෙන් නොකඩාවා දිවෙන සමාජ කතිකාවතක් නිර්මාණය නොවීමත් සහ ඒ පිළිබඳව පසු විපරම් නොකිරීමත් ය. රිලවුන් චීනයට අපනයනය නොකලත්, රිලවුන්ගෙන් සිදුවන වගා හානිය ප්‍රමුඛ කරගත් සමාජ කතිකාවතක්  සහ මේ හරහා සිදුවන ආර්ථික හානියත් මේ වන විට සමාජය තුළ නොමැති වූවත්   රිලවුන්ගෙන් සිදුවන වගා හානිය තවදු එසේමය.

එබැවින් මේ පිළිබඳව පසු විපරම් සිදුකරමින් සහ අදාළ කතිකාවත නොකඩවා ඉදිරියට රැගෙන යෑමේ ගමනේදී ‍රිලවුන් පාලනයට මෙතෙක් සාර්ථක ප්‍රවේශයන් මොනවාද යන්න සොයා බැලිය යුතු අතර මෙහිදී සඳහන් කළ යුතු විශේෂ කරුණක් වන්නේ රිලවුන් පාලනය කිරීම ඉතා අපහසු බැවින් 100% ක්ම සාර්ථක ක්‍රමවේදයක් මේ වන තුරුද නොමැති බවත් සහ ඉදිරියට සාකච්ඡා කරණු ලබන ක්‍රියාමාර්ග යම් ප්‍රමාණයකට සාර්ථක යැයි ගොවීන්ගේ අත්දැකීම අනුව පවසන ක්‍රියාමාර්ග බවය.

රිලවුන් පාලනය කිරීම සඳහා කාලයක් තිස්සේ නොයෙකුත් ක්‍රියාමාර්ග රාශියක් අනුගමනය කලද ඒ සෑම ක්‍රියාමාර්ගයක් මඟින් ම මෙම සත්වයින් 100% ක්ම පාලනය කිරීමට නොහැකි තත්වයට පත්වීමට බලපා ඇති ප්‍රධාන සාධක කිහිපයක් අපට හඳුනාගත හැකිය. ඉන් ප්‍රධානතම හේතුව වන්නේ ප්‍රිමාටා ගෝත්‍රයේ මිනිසා සේම අනෙක් සත්වයින්ද මිනිසා තරම් නොවුණත් කිසියම් බුද්ධි මට්ටමකින් සමන්විත වීමය. රිලවුන් ද මෙම ගෝත්‍රයේ සත්වයෙක් වන බැවින් රිලවුන් ද බුද්ධිමත් සත්ව කොට්ඨාශයක් වශයෙන් හඳුනාගත හැකි අතර ඔවුන් පාලනය කිරීම සඳහා ගන්නා සෑම ක්‍රියාමාර්ගයක් කෙරෙහිම කලක් යන විට ඔවුන් අනුවර්තනය වීම ඔවුන් පාලනය කරගත නොහැකි තත්වයකට පත් වීමට බලපා ඇති ප්‍රධාන හේතුවයි.

එමෙන්ම බලපා ඇති අනෙකුත් සාධක වන්නේ රිලවුන් පාලනය කිරීම සඳහා ගන්නා සෑම ක්‍රියාමාර්ගයක් ම සෑම ස්ථානයකටම එක සේ යොදාගත නොහැකි වීමය. එම ක්‍රියාමාර්ග භාවිත කරන ප්‍රදේශයයේ ස්වාභාවය, එම ප්‍රදේශයේ සිටින රිලා වර්ගය, ( මැකකා සිනිකා, මැකකා ඔරිෆෝන්ස් සහ මැකකා ඔපසිතෝම්ලස් වශයෙන් ශ්‍රී ලංකාවේ රිලා වර්ග තුනකි ) සහ වගා කරන භෝගය ආදී සාධක කිහිපයක් මත එක් එක් ප්‍රදේශයට භාවිත කළ හැකි ක්‍රියාමාර්ග සාපෙක්ෂ වේ. මෙය ශ්‍රී ලංකාවට පමණක් නොව රිලවුන් සහ වඳුරන් සිටින සෑම රටකටම බලපා ඇති ගැටළුවක් වන අතර ඔවුන් යම්තාක් දුරකට හෝ පාලනය කිරීමට නම් මින් ඉදිරියට සාකච්ඡා කරනු ලබන මෙතෙක් සාර්ථක වූ ක්‍රියාමාර්ග කිහිපයක් හෝ එකවිට එක ළඟ යොදාගත යුතුය.

මේ සම්බන්ධව පර්යේෂකයකු වශයෙන් ක්ෂේත්‍රයේ පවතින අත්දැකීම් අනුව සහ ඌවපරණගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගොවීන් සමඟ සිදුකරන ලද සහභාගීත්ව ග්‍රාමීය ප්‍රවේශ වැඩසටහන් වලදී හඳුනාගත් පරිදි රිලවුන් පලවා හැරීම සඳහා කිසි විටෙකත් කාන්තා පාර්ශවය සම්බන්ධ නොවිය යුතුය. මන්ද රිලවුන් යනු කාන්තාවන් හට කිසිදු බියක් දක්වන සත්ව කොට්ඨාසයක් නොවන බැවිනි. රිලවුන්ගේ පහරදීම් පිළිබඳව සළකා බලනවිටදි වූවද එම සත්වයින් පිරිමි පාර්ශවය හට පහරදුන් බවක් ගොවීන් අසා නොමැති බවත් කාන්තාවන්ට පහරදීම පිළිබඳව පුවත් සුලභ බවත් ගොවීන්ගේ අදහසයි. එම නිසා රිලවුන් පලවා හැරීමේදී කාන්තාවන් එ සඳහා සහභාගී වීම තුළ සිදුවන්නේ තව දුරටත් රිලවුන් තුළ මිනිසුන් කෙරෙහි පවතින බිය පහව යෑම බව ගොවීන්ගේ අදහසයි. නමුත් සෑම විටම වගා භූමි තුළ හිඳ රිලවුන් පලවා හැරීම සඳහා පිරිමි පාර්ශවයට පමණක් සම්බන්ධ වීම ප්‍රායෝගිකව ගැටළු සහගත දෙයක් වූව ද පවතින තත්වයනම් එයය.

ඉන්පසුව ගොවීන් පවසන්නේ රිලවුන් දුර තියා දුටු විට කිසි විටෙකත් ඔවුන් පලවා හැරීමට උත්සාහ නොගතයුතු බවය.  ඔවුන් වගා භූමි තුළට නොපැමිණිය ද වගා භූමි ආසන්නේ අවස්ථාවක් හිමිවන තුරු රැඳී සිටින බව ගොවීන්ගේ නිරීක්ෂණය වන අතර එවිට සිදුවන්නේ දිනය පුරාම ඔවුන් පලවා හැරීමේ කටයුත්තෙහි නිරත වීමට ගොවීන්ට සිදු වීමය. එමෙන්ම ප්‍රහාරයක් පිළිබඳව අවදානම ඔවුන් කල් තියා දන්නා බැවින් ඒ සඳහා සූදානම් ශරීරයෙන් සිටීමට රිලවුන් වග බලා ගැනීමට ද පසුබට වන්නේ නැත. මන්ද ඔවුන් බුද්ධිමත් සත්ව කොට්ඨාසයක් වන බැවිනි. එම නිසා සැබවින්ම රිලා පාලනයේදී සිදු කල යුත්තේ ඔවුන්ට අනපේක්ෂිත ප්‍රහාරයක් දියත් කිරීමය. උදාහරණයක් ලෙස ගොවීන් පවසන පරිදි සත්වයින් ගස් තුළ එකට එක් රැස්වන තෙක් බලා සිටිය යුතු අතර ඔවුන්ගේ අවධානය මිනිසුන් කෙරෙහි නැති වී ගිය විගසම ගල් ගසා පලවා හරින්නේ නම් එකවිට එක ළඟ නොකඩවා ගල් ප්‍රහාරයන් දියත් කළ යුතු බවය. මෙසේ අනපේක්ෂිත ප්‍රහාර නිතර නිතර රිලවුන්ට එල්ල කර විට මිනිසුන් කෙරෙහි ඔවුන් තුළින් පහව ගිය බිය නැවත වර්ධනය කළ හැකි බව ගොවීන්ගේ අදහසයි.

රිලවුන්ට අනපේක්ෂිත ප්‍රාහාරයන් දියත් කිරීමට නිවාස අසල ගල් කැට රැස්කර තබා ඇති අයුරු

ආරම්භයේ, එනම් මෙම ගැටුම ගැටුමක් ලෙස වර්ධනය වීමට පටන් ගත් 2015-2016 කාල සීමාව තුළ රිලවුන් බිය වැද්දීම සඳහා භාවිත කළ හනුමාන් වෙස් මුහුණ ආරම්භක කාල වකවානුව තුළදී ඉතා සාර්ථක ක්‍රමවේදයක් වූ බව ගොවීන් පවසන අතර නමුත් මේ වන විට රිලවුන් එයට අනුවර්තනය වී ඇත. එයට ප්‍රධාන හේතුව වශයෙන් ගොවීන් දක්වන්නේ කුඩා ළමුන් මෙම වෙස් මුහුණ සිය විනෝදය සඳහා නිතර නිතර භාවිතයට ගැනීමත් සමඟ රිලවුන් හට එය සාමාන්‍යකරණය වූ බවය. නමුත් අනෙකුත් ක්‍රියාමාර්ග සමඟ මෙම හනුමාන් වෙස්මුහුණ ද රිලවුන් පලවා හැරීම සඳහා යොදන්නේ නම් එමගින් ඉතා සුළු බලපෑමක් හෝ රිලවුන්ට එල්ල කළ හැකි බවද ගොවීන් වැඩි දුරටත් අදහස් දක්වමින් කියා සිටියේය.

ඌවපරණගම ගොවි ප්‍රජාව රිලවුන් පලවා හැරීම සඳහා භාවිතයට ගන්නා තවත් සාපේක්ෂ වශයෙන් සාර්ථක ක්‍රමවේදයක් වන්නේ මියගිය සත්වයින්ගේ සම් කැබලි වගා භූමි තුළ එල්ලා තැබීමය. එමෙන්ම කිතුල් කර්මාන්තයේදී කිතුල් මල් තුළද මෙම සම් කැබලි එල්ලා තබන බව ගොවීන් පවසන අතර සාමාන්‍යයෙන් අනෙකුත් ප්‍රදේශවලට සාපේක්ෂව මෙම සම් කැබලි එල්ලා ඇති ප්‍රදේශවලට රිලවුන්ගේ පැමිණීම ඉතාමත් අවම බව ගොවීන්ගේ නිරීක්ෂණයයි. කිතුල් කර්මාන්තයේදී නම් මෙම ක්‍රියාමාර්ගය සැළකිය යුතු මට්ටමින් සාර්ථක බව ගොවීන්ගේ නිරීක්ෂණයයි. මෙහිදී රිලවුන්ගේම සම් කැබලි එල්ලා තිබීම වඩාත් සුදුසු බව සහ නමුත් එසේ සම් කැබලි ලබා ගැනීමට නම් එම සත්වයින් මරා දැමිය යුතු බවත් ඔවුන් කුමන හානියක් කළ ද එම සත්වයින්  මරා දැමිය නොහැකි බවද ගොවීහූ වැඩි දුරටත් අදහස් දක්වමින් කියා සිටියහ.

රිලවුන් පාලනය කිරීම සඳහා යොදා ගන්නා තවත් අනෙකුත් ක්‍රියාමාර්ගයන්ට සාපෙක්ෂව දියුණු ක්‍රියාමාර්ගයක් ලෙස හඳුනාගත හැකි තාක්ෂණික මෙවලමක් වන්නේ " භූතයා " නමින් ගොවීන් හඳුන්වන උපකරණයයි. මෙම උපකරණයෙන් සිදුකරණුයේ අලින් පලවා හැරීම සඳහා යොදා ගන්නා විදුලි වැටකට සේම වගා භූමි වටා ආවරණය කර ඇති විදුලි වැටකට අවශ්‍ය විදුලිය ලබා දීමය. සාමාන්‍යයෙන් රුපියල් 20000 සිට 30000 දක්වා විවිධ ධාරිතාවයෙන් යුත් සූර්ය බලයෙන් මෙන්ම විදුලියෙන් ද ආරෝපණය කල හැකි මෙම උපකරණ රැහැන් රහිතව හෝ සහිතව වෙළඳපොළෙහි ලබාගත හැකි අතර සාමාන්‍යයෙන් මෙම උපකරණයේ තනි කේබලයක් මඟින් කිලෝමීටර් 15 ක පමණ දුරක් ආවරණය කරගත හැකිය. භූතයා උපකරණ මඟින් වගා භූමි ආවරණයට සකස් කර ගන්නා විදුලි වැටෙන් සත්වයින්‍ට මෙන්ම ගොවීන්ට ද කිසිදු හානියක් නොමැති අතර මෙම ක්‍රියාමාර්ගය වඩාත් සාර්ථක බව ගොවීන්ගේ අදහසයි. මෙහි ගැටළුවකට ඇත්තේ උපකරණයෙහි මිළ සහ කේබල් ශාක වර්ග තුළ ස්පර්ශ වීමේදී විදුලි ධාරිතාව ක්‍රම ක්‍රමයෙන් අවම වී යෑමය.

භූතයා නමින් හඳුන්වන උපකරණය

එමෙන්ම අතීතයේ පැරණි හේන් ගොවීන් වඳුරන් සහ රිලවුන් පලවා හැරීම සඳහා භාවිත කළ සාම්ප්‍රදායික උපකරණයක් ද ගොවීන් මෙහිදී භාවිත කරන අතර මෙම උපකරණය සකස්කර ගැනීම සඳහා තරමක කට ලොකු මැටි මුට්ටියක් හෝ මැටි හට්ටියක්, කොළපතක්, මී ඉටි ස්වල්පයක්, අඟල් හතරක් පමණ දිග සහ අඟල් භාගයක් පමණ මහත ශක්තිමත් ලී කැබැල්ලක්, අඩි දෙකක් පමණ දිහ පුස් කොළයක් ( තම්බා පදම්කරගත් තල් කොළයක් ) හෝ පුස්කොළ සොයා ගැනීමට අපහසුනම් තම්බා පදමකරගත් වැටකෙයියා කොළයක් යන ද්‍රව්‍ය අවශ්‍ය වේ.

ප්‍රථමයෙන්ම පුස්කොළයේ හෝ තම්බා පදම්කරගත් වැටකෙයියා කොළයේ එක් කොණක් ලී කැබැල්ලෙහි ඔතා ( එතීමේදී කෝටුවෙහි දෙකොණ එළියට තිබිය යුතුය ) හොඳින් බැඳගත යුතුය. ඉන් අනතුරුව කට ලොකු මුට්ටියේ හෝ හට්ටියේ කටට වැස්මක් යොදන ආකාරයට බැඳගත යුතු අතර එසේ කිරීමේදී  මුට්ටියේ කට මැදට එන තැන පුස්කොළය රිංගවිය හැකි ආකාරයට කපා ගත යුතුය. ඒ කපාගත් සිදුර තුළින් කෝටුව පැත්ත මුට්ටියේ කට ඇතුළට සිටින සේ පුස්කොළය රිංගවා ගත යුතුය. මේ වන විට කෝටුවේ එක් පැත්‍තක් කෝටුවට හිර වී කොළපතට සවි වී ඇත. ඉන් පසුව කොළයේ දිග පැත්ත එළියට සිටින සේ කොළපතෙන් මුට්ටියට කඩ වැස්මක් බැඳගත යුතුය.

ඉන් පසු කළ යුත්තේ පුස්කොළයේ එළියේ තියන කොටසේ දෙපැත්තට මී ඉටි ගුලිය හොඳින් ඇතිල්ලීම වන අතර කොළයේ මී ඉටි හොඳින් අතුල්ලා ගත් පසු උපකරණයේ සියළු වැඩ නිමා වී අවසන් ය. මෙය ක්‍රියාත්මක කරන ආකාරය පිළිබඳව සාකච්ඡා කරන්නේ නම් බිම හෝ මිටි බංකුවක් මත වාඩි වී කකුල් දෙකෙහි යටි පතුල්වලින් මුට්ටිය හිරවන සේ දෙපැත්තෙන් තද කොට අතෙහි මාපට ඇඟිල්ල සහ දබර ඇඟිල්ල පුස්කොළයේ දෙපැත්තෙන් තබා ( මාපට ඇඟිල්ල පුස්කොළයේ උඩටත්, දබර ඇඟිල්ල යටටත් සිටින සේ ) පහත සිට හිර කරගනිමින් හෙමිහිට දෙදරන පරිදි පුස්කොළය දිගේ අත් දෙක මාරුවෙන් මාරුවට ඇදීමය.

අදාළ උපකරණය

මී ඉටි ගෑ බැවින් ඇඟිලි උඩට ලිස්සා එන විට හඬ නගන පුස්කොළය සහ කොළපත මුට්ටියේ ඇති වායුව කම්පනය කරමින් ග් ර් ර් ර් ර් ර් යන හඬ නඟන අතර ඒ තුළින් පිටවන්නේ කොටියකු ගොරවන සද්දයයි. මෙහි ඇති සිද්ධානන්තය වන්නේ කොටියා යනු රිලවුන්ගේ ප්‍රධාන විලෝපිකයකු බැවින් රිලවුන් එම හඬට බිය වීමය. නමුත් මෙය සිදුකිරීමේදී රිලවුන් හට නිරීක්ෂණය නොවන ආකාරයෙන් සිදු කිරීමට ද අප වග බලාගත යුතුය.

මේ ආදී වශයෙන් රිලවුන් පාලන කිරීම සඳහා යම්තාක් දුරකට හෝ ගොවීන් භාවිතයට ගන්නා ක්‍රියාමාර්ග කිහිපයක් පවතින අතර නමුත් ගැටුම දිගුකාලීනව තිරසාර අයුරින් කළමණාකරණය කිරීම සඳහා මෙම ක්‍රියාමාර්ග ප්‍රමාණවත් නොවන බව ද මෙහිදී අවධාරණය කළ යුතුය. විශේෂයෙන් රිලවුන් පිළිබඳ ප්‍රශ්නය අප ඉතා ප්‍රවේශමෙන් විසඳා ගත යුතුය යනුවෙන් මා මීට පෙර ගෙනහැර දක්වන ලද ලිපිය තුළින් ද සඳහන් කර සිටියේ රිලවුන් පාලනය කිරීමටනම් ගැටුමේ මූල් බීජයන් වෙත අප ආමන්ත්‍රණය කළ යුතු බවය. කෙසේ නමුත් මෙම ගැටළුව සඳහා තිරසාර විසඳුමක් ලැබෙන තෙක් මෙවැනි ක්‍රමවේදයන් ද අපට අනුගමනය කළ හැකිය.

Latest