Skip to content

ජෙරම්ට මුකුත් වෙන්නේ නැහැ

ශ්‍රී ලංකාව යනු කුඩා කාල පරාසයන් තුළ ජනතාවට තලු මරමින් සිටීමට කුමන හෝ මාතෘකාවක් ලැබෙන අමුතු රටක් යැයි කීවාට කිසිදු වරදක් නැත. රිලවුන්ගෙන් පටන්ගෙන , එක්ස්ප්‍රස් පර්ල්, චාමර ගුණසේකර ඉන් පසු තලු මැරීමට ලැබුණු ප්‍රධාන මාතෘකාව වන්නේ ජෙරම් ප්‍රනාන්දුය. රිලවුන් චීනෙට යැව්වේද නැත, එක්ස්ප්‍රස් පර්ල් නඩුව ද ආන්දෝලාත්මකය. චාමර ගුණසේකර යනු මංජු නිෂ්ශංක මහතා යැයි කීමට අඹමල් රේණුවකදු සාක්ෂියක් නැත. ඒ අනුව ජෙරම් ප්‍රනාන්දුට කිසිදු දෙයක් සිදුවන්නේ  නැතැයි අපට සිතිය හැකිය. මන්ද ශ්‍රී ලංකාවේ වැඩකටයුතු සිදුවන ආකාරය පිළිබඳව ඔබට සුළු හෝ අවබෝධයක් ඇත්නම් එය සිතා ගැනීම අපහසු කරුණක් නොවේ. එය මාගේ පුද්ගලික අදහසයි.

පසුගිය දිනක පාස්ටර් ජෙරම් ප්‍රනාන්දු විසින් සිය දේශණයකදී බුදුරජාණන් වහන්සේ සම්බන්ධ කරගනිමින් පැවසූ අදහසක් පිළිබඳව මේ වන විට සමාජයේ දැඩි කතා බහට ලක්ව ඇති මාතෘකාවක් වී ඇත. රටෙහි ආගමික සංහිඳියාවට මෙමඟින් බලපෑමක් සිදුවන බවට බොහෝ පිරිසකගේ අදහස වන අතර එමෙන්ම බොහෝ පිරිසක් ප්‍රකාශ කර සිටින්නේද ජෙරම් ප්‍රනාන්දු හට ICCPR පණත යටතේ ක්‍රියා කළයුතු බවය.

2007 අංක 56 දරණ සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය ( ICCPR ) යනු ශ්‍රී ලංකාවේ කාලයක් තිස්සෙ ප්‍රබල සංවාදයකට පාත්‍ර වූ පණතකි. මෙම පණතේ පූර්විකාවේ සඳහන් වන්නේ "සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතියේ ව්‍යවස්ථාමය පියවර මගින් පිළිගැනීමක් ලබා දී නැති මානව හිමිකම්වලට අදාළ ඇතැම් ව්‍යවස්ථා බලාත්මක කිරීම සඳහා ද ඊට සම්බන්ධ හෝ අනුෂාංගික කරුණු සඳහා ද විධිවිධාන සැලැස්වීම සඳහා වූ පණතකි" යනුවෙනි. ඒ අනුව මෙමගින් අප අපේක්ෂා කරණුයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙහි අඩංගු නොවුණු ඇතැම් මානව හිමිකම් තහවුරු කිරීමය.

1966 දෙසැම්බර් මස 16 වන දින එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් සම්මත කරණු ලැබ, 1976 මාර්තු මස සිට බලාත්මක වූ සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතියට ශ්‍රී ලංකාව ද පාර්ශවයක් ලෙස එක් වූ අතර මෙය පණතක් ලෙස ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන්නේ 2007  වසරේ සිටය. ජාත්‍යන්තර සම්මුති අනුව පිළිගැණුනු ඇතැම් අයිතිවාසිකම් ශ්‍රී ලංකාවේ පුරවැසියන්ට ලබාදීම මෙන්ම එකී අයිතිවාසිකම් තහවුරු කිරීම මෙම පණතෙන් වැඩි දුරටත් අපේක්ෂා කරන ලදී.

පණතේ 3 (1) උප වගන්තිය අනුව " කිසිම තැනැත්තෙකු විසින් යුද්ධය පැතිර වීම හෝ වෙනස් ලෙස සැලකීමට එදිරිවාදිකම්වලට හෝ ප්‍රචණ්ඩ ක්‍රියාවලට යොමු කිරීම සංයුක්ත වන ජාතික , ආගමික හෝ වාර්ගික වෛරය සඳහා පෙළඹවීම නොකළ යුතුය "

එමෙන්ම 3 (4) උප වගන්තියට අනුව "මේ වගන්තිය යටතේ වූ වරදක් සංඥය සහ ඇප දිය නොහැකි වරදක් විය යුතු අතර එවැනි වරදක් සිදුකර ඇති බවට සැක කරනු ලබන හෝ චෝදනා ලැබ සිටින කිසිම තැනැත්තෙකු විශේෂ අවස්ථානුගත කරුණුවලදී මහාධිකරණය විසින් හැර ඇප මත මුදා හරිනු නොලැබිය යුතුය" පණතේ සඳහන් මේ ආදී වගන්ති අනුව ජෙරම් ප්‍රනාන්දු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් නීත්‍යානුකූලව ක්‍රියා කළ හැකි බව බොහෝ දෙනාගේ මතයයි.

මෙහිදී අප වඩාත් අවධානය යොමුකළ යුත්තේ ICCPR පණත යටතේ මේ දක්වා අත්අඩංගුවට ගත් පිරිස් සම්බන්ධයෙනි. මුහුණුපොතේ සිය ගිණුමේ පළකර තිබූ කෙටිකාතවක සඳහන් කරුණු මහජන කැළඹීමකට හේතුවිය හැකි බවට භික්ෂූන් වහන්සේ පිරිසක් විසින් සිදුකරන ලද පැමිණිල්ලකට අනුව ශක්තික සත්කුමාර පොලීසිය විසින් අත්අඩංගුවට ගත් සිද්ධිය ඔබට මතක ඇතැයි සිතමි.

එමෙන්ම රහීම් මසාහිනා නම් කාන්තාව සිය ඇඟලා සිටි වස්ත්‍රයේ පිටිපස ධර්ම චක්‍රයක හැඩයේ සළකුණක් තිබීම හේතුවෙන් වරක් හසලක පොලීසිය විසින් අත්අඩංගුවට ගන්නා ලදී. 2018 මාර්තු මස දිගන සිදු වූ කලහකාරී සිදුවීම වලින් පසු මහසෝන් බලකායේ අමිත් වීරසිංහ සහ තවත් පුද්ගලයන් කිහිපදෙනෙකු බන්ධනාගාර ගත වීමද මෙම පණත ක්‍රියාත්මක වීමෙන් සිදු විය. නෙළුම් මලක වැඩ සිටින බුදු රුවක් අතෙහි පච්චා නිර්මාණයක් කර සිටි නයෝමි කෝල්මන් නැමැති කාන්තාව 2014 වර්ෂයේදී බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේදී පණත යටතේ අත්අඩංගුවට ගන්නා ලදී.

එපමණක් නොව ආසන්තම සිදිධිය වන සේපාල් අමරසිංහ ද එක් වචනයක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගන්නා ලද්දේ මෙම පණත යටතේය. හදිසි නීති මෙන්ම මෙම පණත ක්‍රියාත්මක කිරීමෙන් සිංහල, දෙමළ සහ මුස්ලිම් යන සියලු ජන කොටස්වලට අයත් සාමාන්‍ය මහජනයා මෙලෙස අවස්ථා කිහිපයකදී අත්අඩංගුවට පත් වී ඇත.

මෙම පණත යටතේ මෙසේ අත්අඩංගුවට පත් වූ පිරිස දෙස බලනවිට ඔබට කිසියම් විශේෂිත කරුණක් පැහැදිලි වනු ඇත. එනම් ඒ සියලුදෙනාම සාමන්‍ය මහජනතාවය. මොහොතක් සිතන්න. පණත යටතේ ප්‍රභූ යැයි සැලකෙන හෝ සමාජයේ ඉතා ප්‍රසිද්ධ පුද්ගලයකු අත්අඩංගුවට ගෙන ඇති බව ඔබගේ මතකයට නැගෙන්නේ ද ? සැබවින්ම නොයෙක් අවස්ථාවලදී පාලක පිරිස මෙම පණත පාවිච්චි කර ඇත්තේ ඒ ඒ අවස්ථාවලදී බහුතර ආගමික ප්‍රජාවකගේ අවධානය ඔවුන් වෙත ලබා ගැනීමට යැයි ඔබට වැටහෙනු ඇත. එම නිසා ජෙරම් ප්‍රනාන්දු හට කිසිවක් සිදුවේදැයි ඔබ සිතන්නේද ?

සැබවින්ම ජෙරම් ප්‍රානාන්දු පිළිබඳව සාකච්ඡා කරන්නේ නම් ඔබ අවධානය යොමුකළ යුත්තේ ඔහු පිටුපස ඇති මුදල් පොම්පය සම්බන්ධයෙනි. නමුත් එවැනි පරීක්ෂණයක් කිසිදා සිදුනොවන බව ද ශ්‍රී ලංකාවේ වැඩ කටයුතු සිදුවන ආකාරයට සැකයකින් තොරව ප්‍රකාශ කළ හැකිය. විශේෂයෙන් ජෙරම් ප්‍රනාන්දු යූබට් ඒන්ජල් නම් සිම්බාබ්වේ ජාතිකයා සමග පවතින සම්බන්ධය පිළිබඳව ද සොයා බැලිය යුතුය යන්න මාගේ පුද්ගලික අදහස වන අතර මන්ද යූබට් ඒන්ජල් යනු තමා දිවැසිවරයකු යැයි පවසමින් රත්‍රං ජාවාරම් කළ පුද්ගලයෙකි. ඔහු වරෙක ශ්‍රී ලංකාවට පැමිණ මහින්ද රාජපක්ෂ මහතාද මුණගැසුණු අතර එසේ මුණගැසුනේද ජෙරම් ප්‍රනාන්දු සමගය.

කෙසේ නමුත් ගරු සිරිල් ගාමිණී පියතුමා පවසන්නේ ජෙරම් ප්‍රනාන්දු කිසිලෙසකත් කතෝලික සභාවේ සාමජිකයකු නොවන බවය. එසේම බෞද්ධයින් යනු සියළු සත්වයින් හට මෛත්‍රී කරන පිරිසක් බැවින් අප ඔහුට අනුකම්පා කර සිටිමු. අවසාන වශයෙන් එක් දෙයක් ප්‍රකාශ කරන්නේ නම්

ආගම යනු ඇවිදීම පහසුකරන කිහිලි කරුවකි. අප එය ඇවිදීමේ පහසුව සඳහා භාවිත කලට කිසිදු වරදක් නැත. නමුත් මඟටතොට යනෙන විටදී එය එහෙ මෙහෙ වැනීමට ගියහොත් අනෙකුත් පුද්ගලයන්ට සිදුවන්නේ හිරි හැරයකි.

ජෙරම් ප්‍රනාන්දුගේ ප්‍රකාශය පහතින් ඔබට නැරඹිය හැකිය.

0:00
/

Latest