Skip to content

මනුෂ්‍යත්වය බෙදා වෙන් කල හැකිද​? මේ බර්ලින් පවුරේ කතාවයි..

දිනය 1961 අගෝස්තු මස 13 වනදා. ස්ථානය වෙන්නේ ජර්මනියේ නැගෙනහිර බර්ලින්. නැගෙනහිර ජර්මානු සෙබලුනුත් පොලිස් නිලධාරීනුත් කම්කරුවන් ද සමගින් පැමිණ බර්ලින් නගරය හරහා ඉදිකිරීමක් ආරම්භ කරනු ලැබූවා. පළමුව බර්ලින් නගරය වෙන් කරමින් කම්බි වැටවල් ගැසූ ඔවුහු දින කිහිපයකින් එය සිමෙන්ති පවුරක් වශයෙන් ඉදි කරනු ලැබුවා. රට තුළ එකට හැදී වැඩුණු ආදරණීය ජනතාවක් මෙම පවුර විසින් වසර 30ක් පුරාවට බෙදා වෙන් කරනු ලැබූ බර්ලින් පවුරේ සංවේදී කතාවේ දිගහැරුමයි මේ..

1945 දී මිත්‍ර හමුදාවන් විසින් නාසීන්ව පරාජය කරලා දෙවන ලෝක යුද්ධය දිනා ගැනීමෙන් පස්සේ ජර්මනිය තාවකාලිකව ඇමෙරිකාව​, බ්‍රිතාන්‍යය, ප්‍රංශය සහ සෝවියට් දේශය අතර බෙදා වෙන් කර ගනු ලැබුවා. සඳහන් වන ආකාරයට යුද්ධයෙන් පසු ජර්මනිය කෙබඳු විය යුතු දැයි වාදයක් මිත්‍ර රටවල් අතර පැන නැගීමට පටන් ගෙන තිබෙනවා. එහි ප්‍රතිඵලය වශයෙන් ඇමෙරිකාව​, බ්‍රිතාන්‍යය සහ ප්‍රංශය විසින් ෆෙඩරල් ජර්මානු ජනරජය නොහොත් බටහිර ජර්මනියත් සෝවියට් දේශය විසින් ජර්මානු ප්‍රජාතාන්ත්‍රික ජනරජය නොහොත් නැගෙනහිර ජර්මනිය ලෙසත් පාලනය සඳහා වෙන් වෙන්ව නිර්මාණය කර ගනු ලැබුවා.

බර්ලින් නගරය නැගෙනහිර ජර්මනියට අයත් වූව ද අගනුවර වූ නිසාවෙන් එය ද කොටස් දෙකකට වෙන් කරනු ලැබූවා. එය අයිති වී තිබ ඇතැයි සැලකෙන්නේ බර්ලින් නගරයේ ද නැගෙනහිර කොටස් සහ බටහිර කොටස් වශයෙන් ඒ ඒ බල කඳවුරු වලට​. නැගෙනහිර ජර්මානුවන්ට බටහිර කලාපයට යාම සඳහා අවසර හිමි නොවුණු නමුත් බර්ලින් නගරය තුල තත්වය තරමක් වෙනස්ව පැවතුණා​. එනම් ඕනෑම අයෙකුට නැගෙනහිර බර්ලිනය හරහා බටහිර බර්ලිනයට ගොස් ඒ හරහා බටහිර ජර්මනිය වෙත යාමට ඉඩකඩ සැලසීම​​. මෙම විවෘත දේශසීමාව නැගෙනහිර ජර්මානු පාලකයන්ට දැවැන්ත ප්‍රශ්ණයක් වී ඇති අතර සෝවියට් සමූහාණ්ඩුවට අයත් නැගෙනහිර යුරෝපය සහ ධනවාදී බටහිර යුරෝපානු කලාපය වෙන් කොට දේශපාලනික බාධකයක් ඇති කරගෙන තිබීම ඊට හේතුව වුණා​.

ඉදින් ඕනෑම අයෙකුට බර්ලින් නගරය හරහා බටහිරට යාමට හැකිවීම පාලකයින්ට ගැටළුකාරී තත්ත්වයක් වුණු බව නොරහසක්​. මේ අතරදී ඇමරිකාව ප්‍රමුඛ ධනවාදී රටවල එකතුවෙන් බටහිර ජර්මනියට ආධාර ලබා දීම වඩාත් පුළුල් කරලා තිබෙනවා. නමුත් නැගෙනහිර ජර්මනියට එහෙම තත්ත්වයක් තිබුණේ නැහැ. ඉතිහාසයේ සඳහන් වෙන විදිහට නම් සෝවියට් දේශය නැගෙනහිර ජර්මනියේ සම්පත් සෑම ආකාරයකින්ම සූරාකාලා තිබෙනවා. තත්වය එහෙම උණහම අමුතුවෙන් සඳහන් කරන්න අවශ්‍යතාවයක් නැහැනේ, නැගෙනහිර ජර්මානුවන්ට සෝවියට් පාලනය නීරස වෙලා තිබෙනවා. ඒකේ ප්‍රතිඵලයක් විදිහට 1961 වෙද්දී මිනිසුන් මිලියන 3.5ක්, වැඩිදුරටත් කියනවනම් එවකට රටේ ජනගහණයෙන් 20% බටහිර බර්ලිනය හරහා බටහිර ජර්මනියට යොමු වනවා.

දිගින් දිගටම සිදුවන බුද්ධි ගලනය නවතා දැමීම සඳහා මේ විවෘත දේශසීමාව වසා දැමීමට නැගෙනහිර ජර්මනිය තීරණය කරනවා. ඔබ විශ්වාස කරනවාද​? ඔවුන් මුළු බටහිර බර්ලින් නගරයම වටකොට කිලෝමීටර් 155ක තාප්පයක් ඉදි කරනු ලබනවා. මිනිසුන් තාප්පයට උඩින් පැනීම වැළැක්වීමට කටු කම්බි, මුර බල්ලන් සහ බිම් බෝම්බද මෙම සීමාවට එකතු කර තිබෙනවා. ප්‍රාකාරයේ සිට මීටර සියයක සීමාවට ඇතුළු වන ඕනෑම අයෙකුට වෙඩි තැබීමටත් සෙබලුන්ට නියෝග ලැබෙනවා.

කෙසේ නමුත් මිනිසුන් පන්දහසකට ආසන්න ප්‍රමාණයක් මේ බාධක පසු කරලා බටහිර ජර්මනියට පැන​ යාමට සමත් වෙලා තිබෙනවා. වාර්තා වල තිබෙන විදිහට නම් මිනිසුන් 138 දෙනෙකු පමණ පැන යාමට උත්සාහ කිරීමේදී ඝාතනයට ලක්වීත් තිබෙනවා. කාලයත් සමග බර්ලින් පවුර නැගෙනහිර ජර්මනියේ බුද්ධි ගලනය නවතා දැමීමට සමත් වුවත්, එය ලෝකයා හමුවේ පීඩිත කොමියුනිස්ට් පාලනයේ සංකේතය බවට පත් වනවා.

කාලයාගේ ඇවෑමෙන් සෝවියට් සංගමය දුර්වල වූ බව ඔබ අප සැම දෙනාම දන්නා කරුණක්. 1985දී සෝවියට් පාලකයා වූ Mikhail Sergeyevich Gorbachev සෝවියට් සංගමයේ නීති ලිහිල් කිරීමටත් පාලනය ප්‍රතිසංස්කරණය කිරීමටත් කටයුතු කරනු ලබනවා. ඔහු යටතේ නැගෙනහිර යුරෝපයට නිදහස් මැතිවරණ පැවැත්වීමට ඉඩකඩ ලැබෙන අතරම එහි ප්‍රතිඵලයක් වශයෙන් හන්ගේරියාව සහ පෝලන්තය නිදහස් මැතිවරණයන් තුලින් ප්‍රජාතන්ත්‍රවාදී පාලනයන් ආරම්භ කරනු ලබනවා. අවසනදී නැගෙනහිර ජර්මානු පාලකයා සේම බර්ලින් ප්‍රාකාරය ඉදි කල පුද්ගලයා වූ Erich Ernst Paul Honecker කුමන්ත්‍රණයක් හරහා බලයෙන් පහ කරනු ලබනවා.

Erich Ernst Paul Honecker

නව රජය විසින් ජනතාවට බටහිර බර්ලිනය වෙතට ගමන් කිරීමට ඉඩ සලසා දීමට තීරණය කරනු ලබන අතරම, 1989 නොවැම්බර් 09 වනදා සජීවී මාධ්‍ය රැස්වීමකදී නැගෙනහිර ජර්මානු දේශපාලකයෙකු වූ ගන්ටර් ශබවුස්කි විසින් නව ආගමන විගමන නීති පිළිබඳව ද​ දැනුම් දෙනු ලබනවා. ඒ අනුව නැගෙනහිර ජර්මානුවන්ට දේශසීමා අසල මුරපොළකට අයදුම් කොට බටහිර ජර්මනිය වෙත යාම සඳහා අවසර ලැබෙනවා.

Günter Schabowski 1989 නොවැම්බර් 09 වනදා පැවත්වූ මාධ්‍ය රැස්වීම

නව නීති බලාත්මක වන්නේ කවදා සිට දැයි මාධ්‍යවේදියෙකු ශබවුස්කිගෙන් අසනු ලැබූ පැනයකට 'කිසිම ප්‍රමාදයකින් තොරව​, වහාම' යනුවෙන් ඔහු ප්‍රකාශ කර තිබෙනවා. නමුත් සඳහන් වන ආකාරයට මෙම නීතිය ක්‍රියාත්මක වීමට නියමිතව තිබී ඇත්තේ මාධ්‍ය සාකච්ඡාව පැවැත්වූ දිනට පසුදින, එනම් 1989 නොවැම්බර් 10 වනදා ය​. මාධ්‍ය සාකච්ඡාව නරඹමින් සිට ඇති නැගෙනහිර ජර්මානුවන් දසදහස් ගණනක් බර්ලින් පවුර වෙත ඇදී ගොස් ඇත​. ඒ වන විටත් ප්‍රාකාරයට ළගා වන ඕනෑම අයෙකුට වෙඩි තැබීමට ආරක්‍ෂක භටයින්ට නියෝග ලැබී තිබුණත් පැමිණ සිටි දහස් සංඛ්‍යාත ජන ගග හමුවේ ආරක්‍ෂකයින් විසින් දේශ සීමාව විවෘත කරනවා.

නැගෙනහිර ජර්මානු ගංගාව බටහිර බර්ලිනය වෙතට ඇදී ගිය අතර තම නෑදෑයින්, හිත මිතුරන් මෙන්ම ආදරවන්තයන් සහ ආදරවන්තියන් පිළිගැනීමට බටහිර ජර්මානුවන් සැදී පැහැදී සිටියා. එකිනෙකා වැළඳ ගනිමින් සතුටු කඳුළු වැගුරූ බොහොමයක් අතර පිරිසක් විසින් අතට හසුවූ දේවල් රැගෙන බර්ලින් පවුර කඩා බිඳ දමන්නට වුණා. එනයින්ම බර්ලින් ප්‍රාකාරයෙන් බෙදා වෙන් කොට තිබූ කෲරත්වය ද අවසන් වූවා. සටහන තැබීම සඳහා උත්තේජනය සපයනු ලැබූ ගීතය ද පහළින් අමුණා තබන්නම්. පද පේළි අතරින් එවක බර්ලින් තාප්පය නිසා වෙන්වූ වෙන්කල සුවහසක් ආදරණීයයන්ගේ හදවත් වල මතකාවර්ජනයක යෙදෙනු ඇතැයි සිතමින් සටහන නිමා කරනවා.

Artist : Piyath Rajapakse
Lyrics : Wasantha Duggannarala

පවුරකින් නොබිඳෙනා...
ප්‍රේමයම බර්ලින් වුනා
මීදුමෙන් හැඩ දමා ආදරෙන් ආලය දිවුරා...
සිනහාවෙලා ලංවෙන්නී සියල්ලක්ම  පාහේ දන් දුන්නී ......හඩාලා
ලංවෙන්න දීලා සිප ගන්න කියලා.. ආදරය වින්දා මා හා...

ඇගේ නම කෝද්රේ.. කෝද්රේ..
මට නුඹව නිතරම හීනෙක පෙනුනා...
කෝද්රේ.. කෝද්රේ..
යලි නුබෙ සුවද විදගන්නට සිතුනා...
ආයේ.. නුබගේ ලයතරේ තනිවෙන්නට ඇත් නම්..
කෝද්රේ.. බර්ලිනේ හැරදා නුබ ඒ නම්..

නිල්නුවන් දිලිසුණා  ප්‍රේමයට රාගය කියා....
නුබෙ වතින් දිස් වෙනා උනුසුමට මා මත් වුනා..
කෙහෙරැල් පවා දෑතේ දැවටි දැවවි සුව වින්දා.
දැහැනින් මා මුදා යලි එන්න සිතුනා...
හමුවන්න මතු දා.. සිතුවෙ මං සැමදා...

ඇගේ නම කෝද්රේ.. කෝද්රේ..
මට නුඹව නිතරම හීනෙක පෙනුනා...
කෝද්රේ.. කෝද්රේ..
යලි නුබෙ සුවද විදගන්නට සිතුනා...
ආයේ.. නුබගේ ලයතරේ තනිවෙන්නට ඇත් නම්..
කෝද්රේ.. බර්ලිනේ හැරදා නුබ ඒ නම්..

ඇගෙ බසින් කියු වදන් මතකයෙ රැදුනා..
දුර ඉදන් මෙ තරම් වෙදනා වින්දා

කෝද්රේ.. කෝද්රේ..
මට නුබව නිතරම හීනෙක පෙනුනා..
කෝද්රේ.. කෝද්රේ..
තවත් මතක සිරවී කදුලක තියෙනා..

කෝද්රේ.. කෝද්රේ..
මට නුඹව නිතරම හීනෙක පෙනුනා...
කෝද්රේ.. කෝද්රේ..
යලි නුබෙ සුවද විදගන්නට සිතුනා...
ආයේ.. නුබගේ ලයතරේ තනිවෙන්නට ඇත් නම්..
කෝද්රේ.. බර්ලිනේ හැරදා නුබ ඒ නම්..

Latest