Skip to content

අවධානය ඉහළ නංවන්න කෝපි කෝප්පයකින් පුලුවනි ද​?

සුවදායක නින්දක් යනු අප සියල්ලන්ම පාහේ අපේක්‍ෂා කරනු ලබන්නක්. එකී සුවදායී නින්දකින් පසුව ඇතිවන ප්‍රබෝධමත් හැගීම ඔබ සියලු දෙනාම පාහේ අත්විඳ ඇතුවාට සැක නැත​. කාලාන්තරයක් පුරාවට සිදු කරන ලද විවිධ වූ පර්යේෂණයන්ගේ අවසානාත්මක නිගමනයන් වී ඇත්තේ ප්‍රමාණවත් නින්දක් ලබා නොගැනීම මොළයට මෙන්ම පුද්ගලයාගේ ශරීරයටද අහිතකර බලපෑම් ඇති කරලීමට සමත්කම් දක්වන බවය​.

පර්යේෂණයන්ගේ එක් පැතිකඩක් වශයෙන්; ප්‍රමාණවත් නින්ද මතකය සඳහා ප්‍රයෝජනවත් වන ක්‍රම පිළිබඳව අධ්‍යයනය කරනු ලබන මනෝ විද්‍යාඥයින් විසින්, නින්ද අහිමිවීම පුද්ගලයාගේ මතකයට සහ අවධානයට බලපානු ලබන ආකාරය පිළිබඳව පරීක්‍ෂණයන් ගණනාවක් සිදු කොට ඇත​.

Michigan State University හි සංජානන ස්නායු විද්‍යාව පිළිබඳ මහාචාර්‍යවරියක වන Kimberly Fenn මහත්මිය විසින් නින්ද නොයාමෙන් සිදුවන ඝෘණාත්මක බලපෑම් වන අවධානය සහ මතකය නිසියාකාරව​ පවත්වා ගැනීම සිදු කළ හැකිද යන කාරණය සම්බන්ධයෙන් පරීක්‍ෂණ සිදු කර ඇත​.

ප්‍රමාණවත් නින්ද නොමැතිකම නිසිලෙස අවධානය පවත්වාගැනීමේ හැකියාව අවම කරන බව කලක පටන් විද්‍යාඥයින් විසින් දැන සිටි කරුණකි. තිරයක තත්පර කිහිපයකට වරක් රතු තිතක් දිස් වීමට සලස්වා ඒ හා සමගාමීවම බොත්තමක් එබීම මගින් මේ බව තහවුරු කරගත හැකි අතර සම්භාවිතාවය වැඩි වී ඇතැයි සැලකෙන්නේ ප්‍රමාණවත් නින්දකින් තොරව මෙම පරීක්‍ෂණය සඳහා සහභාගී වූවන් අසමත් වීම සඳහාය​. නිරීක්‍ෂණය කරන ලද කාරණා අතර සහභාගී වන්නන් රතු තිත නොදැකීම හෝ ප්‍රතිචාර දැක්වීමේදී තත්පර බාගයක පමණ කාලයක ප්‍රමාදයක් පෙන්නුම් කිරීම සිදුවී තිබේ.

මතකය මනිනු ලබන බවට සැලකෙන්නේ එකක් පසුපස එකක් වශයෙන් සිදුවීම් මාලාවක් ග්‍රහණය කර ගැනීමට සලස්වා, සිය මතකාවර්ජනය තුළින් ඒවා අනුපිළිවෙලට පැවසීමට ඉඩ සැලසීමෙනි. මතකය නිවැරදිව පවත්වා නොගැනීම මගින් සිදුවන වැරදීම් ලෙස අනුපිළිවෙල මාරු වීම​, එකම සිදුවීම දෙවරක් පැවසීම සහ පියවර අමතක වීම වැනි කාරණා සැලකිල්ලට බඳුන් කල හැකිය​.

පර්‍යේෂණය සිදු කර ඇතැයි පැවසෙන්නේ පහත ආකාරයටය​. Kimberly මහත්මිය සහ ඇයගේ කණ්ඩායම විසින් මේ සඳහා සහභාගී කරවා ගත් සිසුන් පිරිසෙන් කොටසක් සිය නිවස්න වල අහඹු ලෙස නිදා ගැනීමටත් තවත් කොටසක් රසායනාගාරයේ රාත්‍රිය පුරාම අවදියෙන් තැබීමටත් සලස්වා ඇත​. පසුදා අවධානය සහ මතකය මනිනු ලබන ක්‍රියාකාරකම් සඳහා මෙම දෙපිරිසම සහභාගී කර ගන්නා ලද අතර නින්ද මෙම අවධානය සහ මතකය යන​ කාරණා සඳහා ඉතා වැදගත් සාධකයක් බව ඔවුහු තහවුරු කර ගන්නා ලදී.

මෙම පරීක්‍ෂණයේ සුවිශේෂීම කරුණ වන, නිදා ගන්නා ලද සහ අවදියෙන් සිටි දෙපිරිසටම CAFFEINE ලබා දී එම ක්‍රියාකාරකම් නැවතත් සිදු කොට ඇත​. Caffeine සරලවම හැඳින්වුවහොත් තේ සහ කෝපි වල අඩංගු වන ස්නායු උත්තේජනය කිරීමේ හැකියාව ඇති රසායනික සංයෝගයකි. කැෆීන් සම්බන්ධයෙන් පර්යේෂකයන්ගේ සුවිශේෂී සොයාගැනීම වී ඇත්තේ මෙම රසායනය නින්ද අහිමි වූවන්ගේ අවධාන හැකියාවද ඉහළ නංවන බවය​. කැෆීන් ලබා දීමෙන් පසු රාත්‍රිය පුරා නින්දේ පසුවූවන්ගේ අවධාන මට්ටම හා අවදිව සිටි පිරිසේ අවධාන මට්ටම සමාන බව පෙනී ගොස් ඇත​.

පුරා රාත්‍රියක් නින්දේ පසුවූ පිරිසගේ ද අවධාන ක්‍රියාකාරීත්වය කැෆීන් හරහා ඉහළ ගොස් ඇත​. එනයින් ඔවුන්ගේ නිගමනය වී ඇත්තේ කැෆීන් සෑම දෙනෙකුගේම අවධානය නිසියාකාරව පවත්වා ගැනීම සඳහා උපකාරී වන බවය​. කෙසේ නමුත් අනාවරණය වූ අනෙක් වැදගත්ම කරුණ වන්නේ මෙම දෙපාර්ශවයේම මතක තබා ගැනීමේ දෝෂ අවම කිරීම සඳහා කැෆීන් සමත්කම් දක්වා නොමැති බවය​.

ඉදින් යම්කිසි ක්‍රියාවක් සඳහා අවධාණය යොමු කිරීම වෙනුවෙන් කැෆීන් හරහා යම් උත්තේජනයක් ලබාදීමට හැකියාවක් පවතින බව Kimberly මහත්මිය ඇතුළු ඇයගේ කණ්ඩායම විසින් සනාථ කොට ගෙන ඇත​.

එලෙසනම් රසබර ලිපියකින් නැවතත් හමුවෙමු!

Latest