Skip to content

එක්ස්ප්‍රස් පර්ල් සහ නිව් ඩයමන්ඩ් හානිය ගැන IMO සහ CBD වාර්තා කැඳවන්න - CENS පාර්ලිමේන්තුවෙන් ඉල්ලයි!

ශ්‍රී ලංකාවේ පරිසර පද්ධතිවල ආරක්‍ෂාව වෙනුවෙන් වසර ගණනාවක් තිස්සේ ක්‍රියා කරන පරිසර සංවිධානයක් ලෙස පරිසර හා සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානය (CENS) පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව වෙත අදහස් යෝජනා කිහිපයක් ඉදිරිපත් කර තිබේ.

පරිසර හා සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානය වෙනුවෙන් ආචාර්ය රවීන්ද්‍ර කාරියවසම් මහතා පෙන්වා දී ඇත්තේ රටේ අනාගත පරිසර සංරක්‍ෂණය වෙනුවෙන් පාර්ලිමේන්තු කාරක සභාවේදී ඔවුන්ගේ  අදහස් හා යෝජනා සලකා බලන ලෙසයි.

ඒ අනුව එක්ස්ප්‍රස් පර්ල් සහ නිව් ඩයමන්ඩ් නැව්වලින් සිදු වූ හානිය සම්බන්ධයෙන් පිළිගත් ජාත්‍යන්තර පර්යේෂණ මධ්‍යස්ථාන, IMO සහ CBD වෙතින් වාර්තා කැඳවිය යුතු අතර එම වාර්තා පදනම් කරගෙන පරිසරයට සිදු වූ හානියට අදාළ මුදල අය කර ගැනීමට ශ්‍රී ලංකා රජය මැදිහත් විය යුතු බව කාරියවසම් මහතා පවසයි.

''අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා පවසා තිබුණේ එක්ස්ප්‍රස් පර්ල් නැවේ වන්දිය කිසියම් තනි පුද්ගලයකු විසින් ලබාගෙන ඇති බවයි. එසේ නම් එම පුද්ගලයා පිළිබඳව මහජනතාවට හෙළි කළ යුතුය. මේ නැව්වලින් කරන විනාශය තවම නිශ්චිතවම නතර වී නොමැති අතර ඒවා මුහුදු වෙරළට විටින් විට බලපෑම් එල්ල කරයි. බැවින් එම හානි සම්බන්ධයෙන් නිසි දිගුකාලීන පර්යේෂණයක් ක්‍රියාත්මක කළ යුතුය. මෙම නැව් වලින් සිදුවූ හා ඉදිරියටත් සිදුවන හානි සඳහා තක්සේරු කළ හැකි උපරිම වන්දිය ලබාගත යුතුයි. පරිසරයට හා සමාජයට සිදුවන හානි වැළැක්වීම සඳහා එම වන්දි මුදල  විනිවිදභාවයෙන් යුතුව භාවිත කිරීමට විධිමත් යාන්ත්‍රණයක් සකස් කළ යුතුයි. වෙරළේ එකතු වන ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීකරණය කළ යුතු අතර, එම ප්ලාස්ටික් නිසා ගැඹුරු මුහුදේ ශාක හෝ සත්ත්ව විශේෂවලට සිදුවන හානිය සම්බන්ධයෙන්  ගැඹුරින් පර්යේක්ෂණයක් සිදු කළ යුතු අතර  එහි ප්‍රතිඵල සහිත නිවැරදි තොරතුරු දේශීය වශයෙන් හා ජ්‍යාත්‍යන්තරව පිළිගත හැකි විද්‍යාත්මක පදනමකින් ඉදිරිපත් කළ යුතුය.'' ආචාර්ය රවීන්ද්‍ර කාරියවසම් මහතා අවධාරණය කරයි.

Latest