Skip to content

රජයේ ආයතන හතරක් ප්‍රතිව්‍යුහගත කිරීමට කැබිනට් අනුමැතිය - උපදේශකයන් තෝරා ගැනීමත් අවසන්!

ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව, කැන්විල් හෝල්ඩින්ග්ස් පුද්ගලික සමාගම, හොටෙල් ඩිවලපර්ස් ලංකා සමාගම සහ ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

ඒ අනුව එම ආයතන  ගනුදෙනු උපදේශකයන් තෝරාගැනීම සඳහා වන ගිවිසුම්වලට එළඹීම සිදුවනු ඇති.

මුදල්, ආර්ථික ස්ථායී කරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එම යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබුණි.

එම ආයතන සතු රජයට හිමි කොටස් බැහැර කිරීම සදහාවිශේෂඥ උපදෙස් ලබා ගැනීම පිණිස තරගකාරී ක්‍රමවේදයක් යටතේ ඉල්ලුම්පත් කැඳවීම සිදුකර ඇති අතර  ඒ මත ඉල්ලුම් පත් ඉදිරිපත් කරන ලද දේශීය සහ විදේශීය විශේෂඥ උපදේශ සමාගම් අතරින් වඩාත් සුදුසු විශේෂඥ උපදේශකවරුන් තෝරාපත්කර ගැනීම සදහා කැබිනට් මණ්ලය විසින් විශේෂ ප්‍රසම්පාදන කමිටුවක් පත් කර තිබේ.

සීමාසහිත ශ්‍රි ලංකා ගුවන් සමාගම, ශ්‍රී ලංකා ටෙලිකොම් පීඑල්සී, ලංකා හොස්පිටල් කෝපරේෂන් පීඑල්සී, ලිට්‍රෝ ගෑස් පුද්ගලික සමාගම සහ ලිට්‍රෝ ටර්මිනල් පුද්ගලික සමාගම, කැන්විල් හෝල්ඩින්ග්ස් පුද්ගලික සමාගම, හොටෙල් ඩිවලපර්ස් ලංකා ලිමිටඩ් සහ ශ්‍රි ලංකා රක්ෂණ සංස්ථාව යන ආයතනයන් හි රජය සතු හිමිකාරීත්වය බැහැර කිරීමේ ක්‍රියාවලිය වඩාත් කාර්‍යක්ෂමව සහ විනිවිදභාවයකින් යුතුව ඉටු කිරීම පිණිස රජය වෙත නිර්දේශ ඉදිරිපත් කිරීමේ කාර්යය  සදහායි එම විශේෂඥ ගණුදෙනුකාර උපදේශකයන් තෝරා ගෙන ඇත්තේ.

එම තෝරාපත්කර ගැනීම් තරගකාරී යෝජනා කැදවීම යටතේ සිදු කරන ලද අතර කැබිනට් මණ්ඩලය විසින් පත් කරන ලද විශේෂ ප්‍රසම්පාදන කමිටුව විසින් ඉදිරිපත් කරන ලද ව්‍යාපෘති යෝජනා ප්‍රසම්පාදන ක්‍රමවේදය මත ඇගයීම සිදු කර ඇත. එම කමිටුවෙහි නිර්දේශයන් සදහා ජනාධිපති ප්‍රමුඛ අමාත්‍ය මණ්ඩලයෙහි අනුමැතිය අද දින හිමි වුණු බවයි කැබිනට් තීරණ දැනුම් දීමේදී ප්‍රකාශ කෙරුණේ.

ඒ අනුව සීමාසහිත ශ්‍රි ලංකා ගුවන් සමාගම, ශ්‍රී ලංකා ටෙලිකොම් පීඑල්සී සහ ලංකා හොස්පිටල් කෝපරේෂන් පීඑල්සී යන ආයතන වෙනුවෙන් අන්තර්ජාතික මූල්‍ය සංස්ථාව (International Finance Corporation) ද, ලිට්‍රෝ ගෑස් පුද්ගලික සමාගම සහ ලිට්‍රෝ ටර්මිනල් පුද්ගලික සමාගම සහ කැන්විල් හෝල්ඩින්ග්ස් පුද්ගලික සමාගම වෙනුවෙන් ඩිලොයිට් ඉන්ඩියා ( Deloitte India)ද, හොටෙල් ඩිවලපර්ස් ලංකා ලිමිටඩ් යන ආයතනය වෙනුවෙන් කොලියර්ස් (Colliers) ද, ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව වෙනුවෙන් අල්වරේස් ඇන්ඩ් මාර්සල් ( Alvarez and Marsel) යන ඉහළ අන්තර්ජාතික පිළිගැනීමක් සහිත ගණුදෙනුකාර උපදේශකයන් තෝරාපත් කරගෙන ඇත.

Latest