Skip to content

විසිපස් වසරකට පසු පාපැදියෙන් බැස යෑමට බ්‍රිතාන්‍ය පාපැදි ශූරයා සූදානමින්


ලෝක පාපැදි ක්‍රීඩා ඉතිහාසයේ පුරාවෘත්තයක් ලෙස සැලකෙන බ්‍රිතාන්‍ය ජාතික ධාවක මාර්ක් කැවෙන්ඩිෂ් 2023 කාර්තුවෙන් පසු ක්‍රීඩාවෙන් විශ්‍රාම ගන්නා බව නිවේදනය කර සිටියි.

ලෝක පාපැදි කැලැන්ඩරයේ මහා සවාරි තුන ලෙස සැලකෙන ඉතාලි, ප්‍රංශ සහ ස්පාඤ්ඤ තරගාවලි ත්‍රිත්වයේදිම අදියරයන්ගේ ජයග්‍රහණ ලබාගැනීමට සමත් වන කැවෙන්ඩිෂ් සවාරි තුනේදි අදියර 53ක් ජය ගැනීමට සමත්වන්නේ ඉතිහාසයේ තුන්වැනි සාර්ථකම අදියරයන් ජයග්‍රාහකයා ලෙසය. එසේම වඩාත් ජනප්‍රියම පාපැදි සවාරිය වන ප්‍රංශ සවාරියේ අදියර 34ක් ජයගැනීමට සමත් වන කැවෙන්ඩිෂ් බෙල්ජියානු පාපැදි ශූරබඑඩී මර්ක්ස් සමග ප්‍රංශ සවාරියේ වැඩිම අදියර ජයග්‍රහණයන්ගේ වාර්තාවට ද හිමිකම් කියයි.

ඉතාලි පාපැදි සවාරියට සහභාගිවෙමින් සිටින අතරතුරදි තම සමුගැනීම නිවේදනය කළ 38 හැවිරිදි කැවෙන්ඩිෂ් පවසා සිටියේ:

"පාපැදිය අවුරුදු 25ක් පුරා මගේ ජීවිතය වෙලා තිබුණා. එය මට ජීවිතය, කැපවීම, හිතෛෂිවන්තකම, පරිත්‍යාගය සහ උත්සාහය ගැන සෑහෙන්න කියළා දුන්නා. තාත්තා කෙනෙක් විදිහට ඉස්සරහට ගෙනියන්න අවශ්‍ය වැදගත් දේ සියල්ලම."

කෙටිදුර වේගවත් ධාවකයෙක් ලෙස (sprinter) කීර්තියක් දරන කැවෙන්ඩිෂ් මහා සවාරිවල වේගවත් අදියරයන් ජයගැනීමේ ප්‍රසිද්ධියක් ඉසිලුවේය.

ජයග්‍රහණයන්

2005 වසරේ සිට අදියර 161ක් ජය ගැනීමට සමත්ව ඇති අතර තැනිතලා බිම්වල තරගවල හොඳම ධාවකයා ට හිමිවන කොළ ජර්සිය ප්‍රංශ සවාරියේදි දෙවරක් හිමි කරගැනීමට සමත් විය.

2016 රියෝ ඔලිම්පික් උලෙළේ පාපැදි සයප්‍රයාම රිදී පදක්කම.

ප්‍රංශ සවාරියේ අදියර 34ක ජය.

ඉතාලි සවාරියේ අදියර 16ක ජයග්‍රහකයා.

ස්පාඤ්ඤ සවාරියේ අදියර තුනක ජය.

සමුගැනීමේ සලකුණු

2017 වසරේදි රෝගාතුරවීම සහ ආබාධවලට ලක්වීම සමග කැවෙන්ඩිෂ් ක්‍රීඩාවෙන් සමුගනු ඇතැයි මත පළවූවද යලිත් ක්‍රීඩාවට පිවිස ප්‍රංශ සවාරියේ අදියර හතරක් ජයගැනීම සමත් විය.

වේගවත් තරග රටාව හේතුවෙන්ම ක්‍රීඩා දිවිය පුරා 'මැන්ක්ස් මිසයිල්' යන අන්වර්ථ නාමයෙන් හැඳින් වූ කැවෙන්ඩිෂ් තරුණ ක්‍රීඩකයින්ට පාපැදි ධාවනය උද්වේගකර ඉසව්වක් ලෙස හඳුනාගැනීමට විශාල බලපෑමක් කළේය.

Latest