මහනුවර ත්‍රිත්ව විදුහලත් කොළඹ රාජකීය විදුහලත් අතර පවත්වන වාර්ශික Bradby පළිහ සඳහා වූ රගර් තරඟයේ පළමු වටය ලකුණු 13 – 10 ක් ලෙස ජය ගන්නට මහනුවර ත්‍රිත්ව විදුහල සමත්විය.
මහනුවර පල්ලකැලේ පිහිටි ත්‍රිත්ව විද්‍යාලීය රගර් ක්‍රීඩාංගනයේදී පසුගියදා (ජූලි 22) පැවැත්වූ 77ත් වන Bradby පළිහ තරඟය සුපුරුදු පරිදිම ප්‍රේක්ෂකයින් සඳහා උද්වේගකර තරඟ අත්දැකීමක් ලබාදුන් තරඟයක්ම විය.
තරඟයේ ප්‍රථම භාගයේදී රාජකීය විදුහල ක්‍රීඩකයින් විසින් උත්සාහක දිණුම් දෙකක් වාර්ථා කරමින් ලකුණු ලබා ගැනීම ආරම්භ කල අතරම ඒවායේ ගෝල පරිවර්තනයන් සාර්ථක කරගැනීමට ඔවුනට නොහැකි විය. ඒ හෙතුවෙන් ප්‍රථම භාගය අවසන් වනවිට ලකුණු තත්ත්වය රාජකීයයන් 10 - 00 ක් ලෙස පෙරමුණ ගත්තේය.
එහෙත් තරඟයේ දෙවන භාගය පටන් ගැනීමෙන් අනතුරුව සිය ක්‍රීඩා පිටියේ ක්‍රීඩා කිරීමේ හුරුවද තම වාසියට ගත් ත්‍රිත්ව විදුහල් කණ්ඩායම අනර්ග උත්සාහක දිනුමක් වාර්ථා කලේය. එහෙත් අවාසනාවකට එම උත්සාහක දිනුම නිවැරදි ලෙස සටහන් නොවීම හේතුවෙන් එය අවලංගු කෙරිණ. එහෙයින් තව දුරටත් ලකුණු 10 – 00ක් ලෙසටම පෙරමුණේ සිටින්නට රාජකීය විදුහල් කණ්ඩායමට හැකිවිය.
නැවතත් තරඟයට අවතීරණය වූ ත්‍රිත්ව විදුහල් ක්‍රීඩකයින් විසින් ලබා ගත් ගෝල දිනුමක් මගින් සිය ලකුණු ලබා ගැනීම ආරම්භ කලේය. එයින් ලත් පන්නරය සහ උද්‍යෝගය සමඟින් තරඟය තුලට පිවිසි ත්‍රිත්ව විදුහල් ක්‍රීඩකයින් නැවතත් සාර්ථක උත්සාහක දිනුමක් ලබා ගත් අතර එහි ගෝල පරිවර්තනය ද සාර්ථක කර ගැනීමට ඔවුන් සමත්විය.
ඒ අනුව කණ්ඩායම් දෙකම ලකුණු 10 බැගින් සම තත්ත්වයට පත්වූ අතර තරඟයේ අවසන් මිනිත්තු කිහිපයේදී රාජකීය ක්‍රීඩකයින් විසින් සිදු කරන ලද වැරැද්දක් හේතුවෙන් ත්‍රිත්ව විදුහල් ක්‍රීඩකයින්ට දඬුවම් පහරක් හිමිවිය. එයද සාර්ථක ගෝල දිනුමක් බවට පත්කර ගන්නට අල්තාෆ් සමත්වූ අතර ඒ හේතුවෙන් ත්‍රිත්ව විදුහල් ක්‍රීඩකයින් පෙරමුණ ගත්තේ ලකුණු 13 – 00ක් ලෙසිනි.
කෙසේ වෙතත් තරඟයේ අවසාන මිනිත්තු 2 ½ ක කාලය තුල රාජකීය විදුහල් කණ්ඩායමට තරඟය තුල සිය ජයග්‍රහණය වෙනුවෙන් කිසිදු වෙනසක් සිදු කිරීමට අවකාෂ නොලැබූයෙන් 77ත් වන Bradby පළිහ සඳහා වූ ත්‍රිත්ව - රාජකීය රගර් තරඟයේ පළමු වටය ලකුණු 13 – 10 ක් ලෙස පෙරමුණ ගෙන අවසන් කරන්නට මහනුවර ත්‍රිත්ව විදුහල සමත්විය.
මේ දක්වා පාසැල් දෙක අතර පවත්වා ඇති තරඟ 76කින් මහනුවර ත්‍රිත්ව විදුහල් කණ්ඩායම වැඩි ගෞරවය දිනා ගනිමින් තරඟ 39ක් ජය ගෙන ඇති අතර කොළඹ රාජකීය විදුහල් කණ්ඩායම තරඟ 35ක් ජය ගෙන ඇත.
තරඟයේ දෙවන වටය අගෝස්තු 05දා කොළඹදී පැවැත්වීමට නියමිත අතර සමස්ත තරඟ දෙකෙහිදීම වැඩිම මුලු ලකුණු සංඛ්‍යාවක් ලබා ගන්නා කණ්ඩායමට ශූරතාවය පිරිනමනු ලබයි.


