Skip to content

ශ්‍රී ලංකාවේ බොක්සිං ක්‍රීඩාවට රුසියාවේ සහාය ලැබෙයි

රුසියානු බොක්සිං සම්මේලනය ශ්‍රී ලංකාවේ බොක්සිං ක්‍රීඩාව ප්‍රවර්ධනය කිරීමට සිය සහය ලබා දෙන බව ජාත්‍යන්තර බොක්සිං සංගමයේ (International Boxing Association) සභාපති Umar Kremlev මහතා සඳහන් කලේය.

අරලියගහ මන්දිරයේදී ඊයේ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හා IBA සභාපතිවරයා අතර පැවති හමුවේදී සභාපතිවරයා මේ බව සඳහන් කර ඇත.

ශ්‍රී ලංකාව බොක්සිං සහ අනෙකුත් ක්‍රීඩා දියුණු කිරීමට අඛණ්ඩව ගන්නා උත්සාහයන් පිළිබඳව ජාත්‍යන්තර බොක්සිං සංගමයේ (IBA) සභාපතිවරයා අග්‍රාමාත්‍යවරයාට සහ ක්‍රීඩා අමාත්‍යාංශයට මෙහිදී ස්තූතියද පුද කර සිටියේය.

රුසියානු  බොක්සිං සංගමය ශ්‍රී ලංකාවේ පාසල් සඳහා බොක්සිං අත්වැසුම් විශාල තොගයක් පරිත්‍යාග කර ඇති අතර, ඒවා ශ්‍රී ලංකා බොක්සිං සම්මේලනය හරහා බෙදා හැරීමට නියමිතව තිබේ.

මීට අමතරව ශ්‍රී ලංකාවේ බොක්සිං ක්‍රීඩකයින්ට ජාත්‍යන්තර ඉසව්වලට සහභාගී වීමට පුහුණුව සහ මූල්‍ය ආධාර ලබා දීම සඳහා රුසියානු බොක්සිං සංගමය  සහාය වනු ඇත. ශ්‍රී ලංකාවේ කාන්තා බොක්සිං ක්‍රීඩිකාවන්ට ඉන්දියාවේ කාන්තා බොක්සිං ශූරතාවලියට සහභාගී වීමට අරමුදල් සැපයීමත්,  මීළඟ ජාත්‍යන්තර ශූරතාවලිය සඳහා කාන්තා බොක්සිං ක්‍රීඩිකාවන් උස්බෙකිස්තානයේ පුහුණු කිරීමටත් පහසුකම් සපයනු ඇත.

ශ්‍රී ලංකාවේ බොක්සිං ක්‍රීඩාව දියුණු කිරීමට ලබාදුන් සහය පිළිබඳව, අග්‍රාමාත්‍යවරයා Umar Kremlev මහතා ඇතුළු නියෝජිත පිරිසට මෙහිදී ස්තුතිය පුද කළේය.

අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක, ක්‍රීඩා රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක, පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණි ගුණවර්ධන, ඇමරිකා එක්සත් ජනපදයේ IBA නිලධාරීහු, හිටපු ලෝක හෙවිවේට් බොක්සිං ශූර Roy Jones JR සහ Barna Zsolt, RBA නිලධාරීහු වන Krishanov Alexander සහ Alisa Shcherbachenya මෙන්ම ශ්‍රී ලංකා බොක්සිං සම්මේලනයේ සභාපති ඩයන් ගෝමස් මහතාද මෙම අවස්ථාවට සහභාගි වූහ.

Latest