Skip to content

ටෙනිස් ක්‍රීඩකයින් සමාජමාධ්‍ය හිංසනයෙන් බේරන්න ඉදිරියට එන බොඩිගාර්ඩ්

එළැඹෙන 28වැනි ඉරිදා ආරම්භවීමට නියමිත ප්‍රංශ විවෘත ටෙනිස් තරගාවලියට සහභාගිවන ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමාජමාධ්‍ය හරහා හිංසනයට ලක්වීම වැලැක්වීම සඳහා තරග සංවිධායකයින් කෘතිම බුද්ධියේ සහාය ලබා ගැනීමට තීරණය කර ඇති බව වාර්තා වෙයි.

බොහෝ විට තරග පරාජයන්ගෙන් අනතුරුව ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සමාජමාධ්‍ය ගිණුම්වලට සහ අනෙකුත් ක්‍රීඩා ෆෝරමවලට දරුණු ලෙස පෞද්ගලික මට්ටමින් කෙරෙන අපහාසාත්මක පණිවිඩවල ඉහළ යාමක් පසුගිය කාලය පුරාම නිරීක්ෂණය විය. තරග වෙනුවෙන් ඔට්ටු තබන්නන් සහ ක්‍රීඩාව සමග දැඩිව බැඳුනු ප්‍රේක්ෂකයින් පරාජයේ පීඩනය මෙසේ සමාජමාධ්‍ය හරහා පිට කිරීමට පෙ⁣ළඹීම සමාන්‍යකරණය වෙමින් පවතී.

ටෙනිස් තරගාවලියක් වෙනුවෙන් ප්‍රථම වතාවට හඳුන්වාදෙන මෙම කෘතිම බුද්ධිය මගින් පාලනය වන මෘදුකාංගය ප්‍රංශ නිෂ්පාදනයක් වන බොඩිගාර්ඩ් ය. මෙමගින් ඉන්ස්ටග්‍රෑම්, ට්විටර්, ටික්ටොක්, ෆේස්බුක් ආදි සමාජමාධ්‍යවලට එක් කෙරෙන අපහාසාත්මක පණිවිඩ මිලිතත්පර 200ක් ඇතුලත හඳුනාගෙන වාරණය කිරීමට කටයුතු කෙ⁣රෙයි.

අදාළ හඳුන්වාදීම පිළිබඳව නිවේදනයක් නිකුත් කරන ප්‍රංශ ටෙනිස් ෆෙඩ⁣රේෂනය:

"තරගකරුවන්ගේ මානසික සෞඛ්‍ය පිළිබඳ සැලකිලිමත් වීමේ උපායමාර්ගයක් ලෙස අපි සයිබර්හිංසනයට විරුද්ධව බොඩිගාර්ඩ් සමග අත්වැල් බැඳගත්තා."

ප්‍රංශ ටෙනිස් ෆෙඩරේෂනයේ අධ්‍යක්ෂිකා කැරොලයින්. ෆ්ලෙයිස්සියර් පවසා සිටියේ: "තරගකරුවන්ගේ මානසික සෞඛ්‍යය රෝලන්ඩ් ගර්රොස් (ප්‍රංශ විවෘත ටෙනිස් තරගාවලිය) තරගාවලියේ ප්‍රමුඛම කාරණයක්. අපි කිසිම ආකාරයක ප්‍රචන්ඩත්වයක් පිළිගන්නේ නෑ. තරගකරුවන් සයිබර්හිංසනයෙන් ආරක්ෂා කිරීමේ විසඳුමක් ලබා දෙන පළමු ග්‍රෑන්ඩ් ස්ලෑම් තරගාවලිය වීම ගැන අපිට ආඩම්බරයි. අපිට මේ විනාශකාරි හැසිරීම්වලින් ක්‍රීඩකයින් ආරක්ෂා කරගන්න වුවමනායි. ඔවුන්ට තරගාවලියේදි හොඳම මානසිකත්වයකින් තරග කිරීමට ඒක උපකාරි වේවි."

ජ'නල් ඔෆ් ස්පෝර්ට්ස් සයන්ස් සගරාවට අනුව ක්‍රීඩකයින් 68%ක් තරගයකට පෙර තමන්ගේ සමාජමාධ්‍ය ගිණුම් පරිහරනය කරන බව කියැවෙන අතර ක්‍රීඩකයින් අතරින් 50%ක්ම සයිබර්හිංසනයේ සහ සමාජමාධ්‍ය අපහාසවලට ලක්වන බව 2002 වසරේ ෆිෆා විසින් කෙරන ලද පරීක්ෂණවකදි හෙලි වී ඇත. සයිබර් හිංසනය, ක්‍රීඩකයින්ගේ මානසික ඒකාග්‍රතාව කෙරෙහි ඝෘජු බලපෑමක් එල්ල කරන බවත් තරග අතරතුරදි මානසික වියවුලට හේතු වන බවත් පැවසේ.

Latest