Skip to content

බංග්ලාදේශය වසර නවයකට පසු ශ්‍රී ලංකාව අබිබවයි!

වසර නවයකට පසු ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව ජයග්‍රහණයක් ලබා ගැනීමට බංග්ලාදේශ කාන්තා කණ්ඩායම අද සමත් විය. ඒ කොළඹ එස්.එස්.සී.පිටියේ පැවැති තරග තුනකින් සමන්විත විස්සයි විස්ස තරගාවලියේ පළමු තරගයෙන් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම කඩුළු 6 කින් පරාජය කරමිනි. මේ සමග ශ්‍රී ලංකාව හමුවේ විස්සයි විස්ස තරග 7ක් අඛණ්ඩව පරාජය වීමේ ලැජ්ජාවෙන් ගැලවීමටද බංග්ලාදේශ ක්‍රීඩිකාවන් සමත් වන්නෝය.

ඉතා විශිෂ්ඨ නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ නායිකා නිගාර් සුල්තානා බංග්ලාදේශ ජයග්‍රහණයේ නියමුවා විය.

ශ්‍රී ලංකා කණ්ඩායම ලබාදුන් ලකුණු 146 ක ඉලක්කය හඹායන බංග්ලාදේශ ආරම්භය සුවදායි එකක් නොවූ අතර ආරම්භක පිතිකාරිනියන් දෙදෙනාම මුල් පන්දු වාර පහ ඇතුලත දැවී යාම සමග පිටියට පැමිණි සුල්තානා පීඩනය නැවතත් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් වෙත ලබාදීමට සමත් වූවාය. තුන්වැනි කඩුල්ල සඳහා ෂොභානා මොස්ට්‍රේ සමග ලකුණු 51ක සබඳතාවක්ද, සිව්වැනි කඩුල්ලට රිටු මෝනි සමග ලකුණු 76ක සබඳතාවක්ද ගොඩ නැඟීමට සුල්තානා සමත් විය.

ශ්‍රී ලංකා පන්දු රකින්නියන්ගෙ ඇතැම් දුර්වල පන්දු රැකීම්වලින් ප්‍රයෝජනය ගත් සුල්තානා සහ මෝනිට අවසන් පන්දු වාර තුනේදි ලකුණු 35ක ඉලක්කයක් ඉතිරිව තිබිණි. කෙසේ නමුත් 19වැනි පන්දුවාරය යැවූ ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තුගෙන් ලකුණු 17ක් උදුරා ගැනීමට ඔවුන් දෙදෙනා සමත් විය. ජයග්‍රහණය පෙනි පෙනී රිටු දුවද්දි දැවී ගිය අතර එක පන්දුවක් ඉතිරිව තිබියදි ජයග්‍රහණය තමා සතු කරගැනීමට සුල්තානා සමත් විය.

තරගයේ කාසිය වාසිය දිනූ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් මුලින්ම පන්දුවට පහර දීමට තීරණය කළ අතර සුපුරුදු පරිදි නායිකා චමරි අතපත්තු සිය ප්‍රවේගකාරි පිතිහරඹය දියත් කළ නමුත් පන්දු 28කදි ලකුණු 38ක් ලබා සිටි ඇයගේ දැවී යාමෙන් පසු ශ්‍රී ලංකා ඉනිමේ ලකුණු ලබාගැනීමේ වේගය ක්‍රම ක්‍රමයෙන් අඩාල කරවීමට බංග්ලාදේශ පන්දුයවන්නියන් සමත් විය. මේ දිනවල හොඳ පිතිකරණ රිද්මයක පසුවන හර්ෂිතා සමරවික්‍රම යලිත් ක්‍රියාත්මක වෙමින් ලකුණු 45ක් ලබා ගැනීමට සමත් වූවාය. කෙසේ නමුත් ශ්‍රී ලංකා කණ්ඩායමේ කඩුළු අතර දිව යෑම ප්‍රශංසනීය තත්ත්වයක තිබූ අතර ලකුණු 145ක් දක්වා ලකුණු පුවරුව ඉහළ දමාගැනීමට එය තීරණාත්මක සාධකයක් විය.

දෙපිළ අතර දෙවැනි තරගය එස්.එස්.සී.පිටියේදි අනිද්දා පැවැත්වීමට නියමිතය.

ලකුණු පුවරුව

ශ්‍රී ලංකාව : 145/6(20)
හර්ෂිතා සමරවික්‍රම 45(44) චමරි අතපත්තු 38(28), නිලක්ෂි ද සිල්වා 29*(26)

පන්දු යැවීම
ෆහීමා කෞටුන් 2/20(4), රබේයා කෞටුන් 1/23(4), සුල්තානා කෞටුන් 1/30(4)

බංග්ලාදේශය : 146/4(19.5)
නිගාර් සුල්ටානා 75*(51), රිටු මෝනි 33(23), සොභානා මෝස්ට්‍රේ 17(24)

පන්දු යැවීම
උදේශිකා ප්‍රබෝධිනි 1/7(3), කාව්‍යා කවින්දි 2/14(2), ඕෂධී රණසිංහ 1/39(4)

තරගයේ හොඳම ක්‍රීඩිකාව - නිගාර් සුල්ටානා

Latest