Skip to content

බළධාරීන්ගේ නොසැළකිල්ලෙන් තරුණයෙක් මරුට

පසුගිය වසරේ ඇදහැලුණු ධාරානිපාත වර්ෂාවත් සමඟ 2021 ඔක්තෝබර් මස 31 වන දින වැලිමඩ - මස්පන්න මාර්ගයේ ඌවපරණගම පොලිස් ස්ථානය ආසන්නයේ මාර්ග කොටසකට පස් කඳු සහ ගල් පෙරළීමෙන් මාර්ගය දින කිහිපයක් වසා දැමීමට සිදු වූ අතර මෙයට ප්‍රධාන වශයෙන්ම බලපාන ලද්දේ මාර්ග සංවර්ධන කටයුතුවලදී අනාරක්ෂිත ලෙස බෑවුම් කැපීම බවට ප්‍රදේශවාසීහූ චෝදනා කර සිටියේය.

ඉන් පසුව මාර්ගය නැවත යතාතත්වයට පත් කිරීම සඳහා මාර්ගයේ ඒකරාශී වූ විශාල ගල් අදාළ කොන්ත්‍රාත් සමාගම සහ බළධාරීන් විසින් වැලිමඩ - උඩුපුස්සැල්ලාව මාර්ගයේ වෑකුඹුර 6 කණුවේ සිට ලූණුවත්ත නගරය ආසන්නය දක්වා මාර්ගය දෙපස ගොඩ ගැසීමට තීරණය කළ අතර කල් යත්ම විවිධ ශාක වර්ග වර්ධනය වීම හේතුවෙන් මාර්ගය දෙපස එක දිගට ගොඩ ගසා ඇති මෙම ගල් නිසි ලෙස දර්ශනය නොවීමත් සමග දැඩි අනාරක්ෂිත තත්වයකට පත්වන්නට විය. එමෙන්ම ප්‍රදේශවාසීන් චෝදනා කර සිටින්නේ අදාළ කොන්ත්‍රාත් සමාගම හෝ බළධාරීන් මේ සම්බන්ධව දිගින් දිගටම කිසිදු තැකීමකින් තොරව කටයුතු කළ බවය.

එහි ප්‍රතිඵලයක් ලෙස ලූණුවත්ත කිරවණාගම ප්‍රදේශයේ පදිංචිව සිටි බස් රථ කොන්දොස්තරවරයකු ලෙස සේවය කරන ලද තරුණයකු යතුරුපැදියකින් ගමන් කිරීමෙන් සිටියදී මෙම ගල් මත හැපී 2023/ 06/ 04 වන දින මරණයට පත්වී ඇති අතර ප්‍රදේශවාසීන් මෙම සිද්ධිය සම්බන්ධයෙන් දැඩි නොසන්සුන්තාවයකට පත් වෙමින් ප්‍රකාශ කර සිටින්නේ මාර්ගය දෙපස ගොඩගසා ඇති මෙම අනාරක්ෂිත ගල් සම්බන්ධයෙන් අදාළ බලධාරීන් දැනුදු හෝ කඩනමින් පියවරක් ගතයුතු බවය.

Latest