Skip to content

බලාපොරොත්තු නොවු වාසනාව හිමිවු පිරිසිදුකරන්නියන්ගේ කථාව.

දකුණු ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ කාන්තා සනීපාරක්ෂක සේවිකාවන් 11 දෙනෙක් එකතු වෙලා ලොතරැයියක් මිලදීගැනීමට මුදල් එකතු කරනවා. එහෙම මුදල් එකතු කරමින් මිලට ගන්න ලොතරැයියට නොසිතූ ලෙස දිනුමක් ඇදෙනවා.

ඒක පොඩි ගාණක් එහෙම නෙවෙයි, ඉන්දීය රුපියල් මිලියන 100ක මුදලක් ($1.2m; £946,685)

මේ කාන්තාවන් කණ්ඩායම කේරළයේ මලප්පුරම් දිස්ත්‍රික්කයේ පරප්පනංගඩි නගරයේ නිවෙස්වලින් අපද්‍රව්‍ය එකතු කරන කණ්ඩායමක කොටසක් බවයි සඳහන්.

වාර්තා වන විදියට ඔවුන්ට දිනකට ලැබෙන වැටුප ඉන්දීය රුපියල් 250ක් පමණ වෙනවා.ඔවුන් කියන්නෙ සිය දෛනික ජීවිතය ගැටගහගන්නවත් ඒ මුදල කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බව.

එවන් වටපිටාවක දිළිඳු බව, ණය බර ,අඩු අධ්‍යාපනය එක්ක හැප්පෙමින් ඉස්සරහට යන ඔවුන් ඉඳහිටක ලොතරැයියක් ගන්න එකතු වෙනවා කියලයි විදෙස් මාධ්‍ය හමුවේ සඳහන් කර තිබුණෙ.

වාර්තා වන විදියට බොහෝ ඉන්දියානු ප්‍රාන්තවල ලොතරැයිය බොහෝ දුරට නීති විරෝධී කටයුත්තක් ද වෙනවා.

“වරක් අපි රුපියල් 1000ක ත්‍යාගයක් දිනාගෙන එය බෙදා ගත්තෙමු” ලොතරැයි මිලට ගන්න කණ්ඩායමේ සාමාජිකාවක් වන රාධා කියනවා.

ඒ අනුව කණ්ඩායම ගෙවුණු මාසයේ තීරණය කරන්නේ monsoon bumper prize lottery එකක් ඉන්දීය රුපියල් 250ක මුදලට මිලට ගන්න.

කණ්ඩායමේ තවත් එක් සාමාජිකාවක් වන 72 හැවිරිදි කුට්ටිමාලු කියන විදියට රාධා මුදල් එකතු කරන්න ගන්නකොට ඇයට ඊට ප්‍රමාණවත් මුදලක් තිබී නෑ.

ඉතින් ඇය තීරණය කරනවා චෙරුමන්නිල් බේබි නම් කණ්ඩායමේ තවත් අයෙක්ගෙන් ණයට අරන් ලොතරැයිය මිලට ගන්න දායක වෙන්න.

ඒ අනුව ඔවුන් දෙදෙනා ඉන්දීය රුපියල් 12.5 බැගිනුත් අනිත් නවදෙනා ඉන්දීය රුපියල් 25 බැගිනුත් එකතු කරමිනුයි ලොතරැයිය මිලට ගන්නෙ.

"අපි යමක් දිනා ගත්තොත් සමාන කොටසක් බෙදාගන්න බවට අපි එකඟ වුණා..... මෙතරම් විශාල මුදලක් දිනා ගැනීමට අපි බලාපොරොත්තු වුණේ නෑ" යන්නෙන් ඔවුන් ලොතරැයිය මිලට ගැනීමට පෙර වූ එකඟතාවය ගැනත් සඳහන් කර තිබුණා.

ඔය විදියට මිලට ගත් ලොතරැයියට දිනුමක් ඇති බව ඔවුන් දැනගන්නේ දිනුම් ඇදීමෙන් දිනකට පසුව. ඒ කණ්ඩායමේ එක් සාමාජිකාවක් තම සැමියාගෙන් ප්‍රතිඵල පරීක්ෂා කරන ලෙස ඉල්ලා සිටි විට.

"අපි බම්පර් ත්‍යාගය සඳහා ටිකට් පතක් මිලදී ගත් හතරවන අවස්ථාව මෙයයි" ලොතරැයිය දිනූ රාධා කියනවා.

මේ විදියට දිනූ ලොතරැයි ජය සාමාජිකාවන් තම තමන්ට ආවේණික වුණු අවශ්‍යතා වෙනුවෙන් යෙදවීමටයි තීරණය කර ඇත්තේ.

62 හැවිරිදි බේබි ඒ ගැන කියන්නෙ මෙහෙම කතාවක්,

"වාසනාව කවදාවත් මගේ පැත්තේ තිබුණේ නැහැ" 2018 වසරේ කේරළයට බලපෑ විනාශකාරී ගංවතුරෙන් ඇයගේ නිවස සේදී ගොස් ඇති අතර ,ඇය දැන් මෙම මුදලින් නිවසක් තනා ඇගේ ණය ගෙවීමට සැලසුම් කරයි.

50 හැවිරිදි කේ බින්දුට පසුගිය වසරේ වකුගඩු අකර්මණ්‍ය වීම හේතුවෙන් සැමියා අහිමිව ගොස් ඇති අතර ඇයට අවශ්‍ය වන්නේ ඇයගේ 15 හැවිරිදි දියණියට හොඳ රැකියාවක් ලබා ගැනීම සඳහා එම මුදල් යෙදවීමටයි.

49 හැවිරිදි ලක්ෂ්මි කියන්නේ ලොතරැයිය දිනීමට පෙර දින රාත්‍රියේ තම පවුල ඔවුන්ගේ අනාගතය ගැන කනස්සල්ලෙන් සිටි බවක්. ඉදිකිරීම් කම්කරුවෙකු වූ ඇගේ සැමියා ප්‍රාන්තයට ඇදහැලෙන අධික වර්ෂාව නිසා රැකියාවක් කිරීමට අපහසුවෙන් පසුවන බැවින් ඇය දියණියගේ අධ්‍යාපන කටයුතු සඳහා මුදල් වියදම් කිරීමටයි තීරණය කර ඇත්තේ.

ඒ වගේම 56 හැවිරිදි ලීලා තම දියණියගේ සැත්කම සඳහා මුදල් ගෙවන්නේ කෙසේදැයි කනස්සල්ලට පත්ව සිට ඇති අතර ඇය තමාගේ කොටසෙන් ඒ වෙනුවෙන් වියදම් කිරීමට සූදානම් බවයි සඳහන් කරන්නේ.

රජයේ බදු ගෙවීමෙන් පසු කණ්ඩායමට රුපියල් මිලියන 63ක මුදලක් ලැබීමට නියමිත බවයි සඳහන්.

වැදගත්ම කතාව නම් කෙතරම් විශාල මුදලක් දිනූවද ඔවුන් ඔවුන්ගේ ජීවිත වෙනස් කළ ජයග්‍රහණයෙන් පසුවත් පුරුදු පරිදිම සිය රැකියාවන් බලා පිටත්ව යාමයි.

Latest