Skip to content

වියපත් දේශපාලකයන් ඉවත දමා තරුණ​ වන BJPය​

ඉන්දියාවේ පාලක භාරතීය ජනතා පක්ෂය මීට මාස කිහිපයකට පෙර සාර්ථක ලෙස ගුජරාටයේ දී අත්හදා බලන ලද මැතිවරණ උපක්‍රමයක් එළඹෙන කර්ණාටක මැතිවරණයේදී ද යොදාගන්නා බවක් පෙනී යයි.

එනම්, පැරණි මන්ත්‍රීන් සහ ප්‍රබලයින් විවේක ගන්වා නව අපේක්ෂකයින්ට අවස්ථාව සැලසීම ය​.

කර්ණාටක ප්‍රාන්තයෙහි ආසන 224 න් 189 ක් සඳහා බීජේපී අපේක්ෂකයන්ගේ නම් 2023 අප්‍රේල් 11 වනදා නිකුත් කරන ලදී. මෙහිදී පක්ෂයේ දැවැන්තයින් කිහිප දෙනකුටම තරග කිරීමේ අවස්ථාව නොලැබී ඇති අතර නැවුම් මුහුණු 52 ක් ඉදිරිපත් කර තිබේ. හිටපු මහ ඇමතිවරයකු වන ජග්දීශ් ශෙට්ටර් ද මෙසේ අපේක්ෂකත්වය නොලද අය අතර වෙයි.

බීජේපී ප්‍රබලයකු මෙන්ම හිටපු මහ ඇමතිවරයකු ද වන බී. එස්. යෙදියුරප්පාගේ පුත්‍ර බී. වයි. යෙදියුරප්පාට සිය පියාගේ ආසනයේ අපේක්ෂකත්වය ලැබී ඇත​. බී. එස්. යෙදියුරප්පා අගමැති නරේන්ද්‍ර මෝදි සමග එතරම් හොඳහිතින් පසු නොවන බව කලක් තිස්සේ ප්‍රකටව පැවති කරුණකි. කෙසේ වෙතත් යෙදියුරප්පා ප්‍රාන්තයේ ජනප්‍රිය දේශපාලකයකු වන හෙයින් ඔහුව ඉවත දැමීමට බීජේපී නායකත්වයට හැකියාවක් නොවී ය​.

ශෙට්ටර් සිය පක්ෂයේ තීරණය කෙරේ නොසතුටින් පසුවන අතර වෙනමම තරග කරන බවට තර්ජනය කර තිබුණි. තවත් කොන් කරන ලද ප්‍රබලයින් කිහිප දෙනෙක්ම සිය අප්‍රසාදය පක්ෂය කෙරේ පළ කර තිබුණහ​.

කෙසේ වෙතත්, බීජේපීය මෙවන් අවදානම් සහගත උපක්‍රමයක් ගන්නේ කර්ණාටකයේ පවත්නා තත්ත්වය හේතුවෙනි. දකුණුදිග ඉන්දියාවේ බීජේපීයට සැලකියයුතු ජන පදනමක් ඇති එකම ප්‍රාන්තය කර්ණාටකය ය​. තෙලන්ගනාහි ද මේ වනවිට බීජේපීය සැලකියයුතු පදනමක් ගොඩනගාගෙන සිටින අතර 2023 අවසාන භාගයේ එම ප්‍රාන්ත මැතිවරණය ජයගැනීම බීජේපී ඉලක්කයකි. ඒ සඳහා කර්ණාටකය නැවත ජයගැනීම ඉතා වැදගත් වනු ඇත​. පොදුවේ, බීජේපීයේ දකුණුදිග ව්‍යාප්තිය සඳහා කර්ණාටකය තීරණාත්මක ය​.

යෙදියුරප්පා

කෙසේ වෙතත් කර්ණාටකයේ බීජේපීය සටන් වදින්නේ අවාසි බිමක ය​. ප්‍රාන්ත ආණ්ඩුව ජනතාව අතර එතරම් ජනප්‍රිය නැත​. හිටපු මහ ඇමති යෙදියුරප්පා ඉවත් කර එතැනට පත්කළ බාසවරාජ් බොම්මයි අසාර්ථක මහ ඇමතිවරයෙකි. මේ අතර ඇතැම් දේශපාලකයන් වෙත එල්ල වන දූෂණ චෝදනා ය​.

මෙවන් තත්ත්වයකදී හිටපු ආණ්ඩුව කෙරෙහි වන අප්‍රසාදය යම් තරමකට හෝ යටපත් කළ හැකි ක්‍රමයක් වන්නේ නැවුම් මුහුණු ගොන්නක් හඳුන්වාදීම ය​. බීජේපීය සිදුකරන්නේ එයයි.

2021 දෙසැම්බරයේදී පැවති ගුජරාට් මැතිවරණයේදී ද බීජේපීය මෙම උපක්‍රමය භාවිතා කළේ ය​. මැතිවරණයට මාස කිහිපයකට පෙර ප්‍රාන්තයේ මහ ඇමති ඇතුළු ඇමති මණ්ඩලයම පාහේ වෙනස් කරන ලදී. අපේක්ෂකයන් තෝරාගැනීමේදී ද වාද විවාද ඇතිවූ අතර බීජේපීය කියා සිටියේ තමන් දිනන අපේක්ෂකයන් තෝරාගන්නට වෙර දරන බවයි. ආසන 182 කින් සමන්විත ප්‍රාන්ත සභාවේ ආසන 45 කට​ නැවුම් අපේක්ෂකයන් ඉදිරිපත් කිරීමට බීජේපීය ක්‍රියා කළේ ය​. ආසන 156 ක් දිනාගනිමින් බීජේපීය ගුජරාටයේ ඓතිහාසික ජයග්‍රහණයක් ලැබීය​.

ගුජරාටයේදී බීජේපීයට වාසිදායක තත්ත්වයක් නිර්මාණය වූයේ එය අගමැති මෝදිගේ ප්‍රාන්තය වන බැවිනි. එහෙයින් එම මැතිවරණයේ දී බීජේපී අපේක්ෂකයන් කවරකු වුවද​, වඩා වැදගත් වූයේ මෝදිගේ ප්‍රතිරූපයයි. තවද​, එම ප්‍රාන්තයේ බීජේපී සාමාජික ජාලය ඉතා පුළුල් ය​. නමුත් කර්ණාටකයේ බීජේපීය සිටින්නේ ඊට වඩා අවදානම් තැනක ය​. එහෙයින් ගුජරාට් උපක්‍රමය කර්ණාටකයේදී සාර්ථක වේදැයි දැන්ම අනාවැකි පළ කිරීම අපහසු ය​. කෙසේ වෙතත්, කර්ණාටකයෙහි බීජේපීය ජයග්‍රහණයක් වාර්තා කළහොත් එය එම පක්ෂය තරුණ​ වීමේ උපක්‍රමය සාර්ථක වූ බවට සාක්ෂියක් වනු ඇත​.

Latest