Skip to content

බීජේපීය, විපක්ෂයේ තවත් කෑල්ලක් කඩයි

ඉන්දියානු විපක්ෂ දේශපාලන පක්ෂවල එකමුතුවක් නිර්මාණය කිරීම සඳහා වැදගත් පුරුකක් විය හැකි වූ ශරද් පවාර් වෙත දරුණු දේශපාලන පහරක් එල්ල කිරීමට භාරතීය ජනතා පක්ෂය ප්‍රමුඛ එදිරිවාදීහු සමත්ව සිටිති. ඒ ඔහුගේ බෑණනුවන් ද මහාරාෂ්ට්‍රයේ හිටපු උප මහ ඇමතිවරයකු ද වන අජිත් පවාර් ඇතුළු ජාතිකවාදී කොන්ග්‍රස් පක්ෂ ප්‍රාන්ත මන්ත්‍රීන් කිහිපදෙනකු මහාරාෂ්ට්‍ර ආණ්ඩුවට එකතු කරගැනීමෙනි. මෙසේ ආණ්ඩුවට එක් වූ පවාර්ට උප මහ ඇමති ධුරයක් ද පිරිනමන ලදී.

මහ ඇමති ඒක්නාත් ශින්ඩේ, ආණ්ඩුකාර රමේෂ් බායිස්, උප මහ ඇමති දේවෙන්ද්‍ර ෆඩ්නාවිස්, උප මහ ඇමති අජිත් පවාර්

මේ අතර වැදගත්ම පිල් මාරු කිරීමක් ලෙස දැකිය හැකි වූයේ ජාතිකවාදී කොන්ග්‍රස් පක්ෂයෙහි රාජ්‍ය සභා මන්ත්‍රීවරයකු වූ ප්‍රෆුල් පටෙල් ද අජිත් පවාර් සමග එකතු වීම ය​. ඉන්දීය මාධ්‍ය සමග අදහස් දක්වමින් ප්‍රෆුල් පටෙල් පවසා සිටියේ පවතින දේශපාලන තත්ත්වයන් සැලකීමේදී මහාරාෂ්ට්‍රයෙහි මහා විකාස් අගාඩි සන්ධානයට දේශපාලන අනාගතයක් ඇතැයි සිතීම අසීරු බවත්, ජාතික මට්ටමේ විපක්ෂ සන්ධානයක් නිර්මාණය කිරීම ද සාර්ථක වේ යයි සිතීමට නොහැකි බවත් ය​.

තවද, ජාතිකවාදී කොන්ග්‍රස් පක්ෂයේ සැබෑ අයිතිය හිමිවිය යුත්තේ තම පාර්ශවයට බවත් එහි නම සහ ඡන්ද ලකුණ උදෙසා තමන් අයිතිය ප්‍රකාශ කරන බවටත් බවටත් අජිත් පවාර් මාධ්‍ය හමුවේ ප්‍රකාශ කළේ ය​. "ජාතිකවාදී කොන්ග්‍රස් පක්ෂය ආණ්ඩුව සමග එක් වුණා. පක්ෂයේ ප්‍රාන්ත මන්ත්‍රීන් බහුතරය සිටින්නේ අප සමගයි" යනුවෙන් ඔහු සඳහන් කළේ ය​.

ශරද් පවාර්

කෙසේ වෙතත්, ජාතිකවාදී කොන්ග්‍රස් පක්ෂය සිටින්නේ තමන් සමග යයි අජිත් පවාර් කළ ප්‍රකාශය ශරද් පවාර්ගේ දැඩි කෝපයට හේතු වූ බව පෙනී යයි. තමන් ජූලි 3 වනදා පක්ෂ නායක හමුවක් කැඳවා ඇති බවත් ඉන් අනතුරුව අජිත් පවාර්ට පැහැදිලිව පිළිතුරු දීමට හැකියාව ඇති බවත් ඔහු කියා සිටියේ ය​. ජාතිකවාදී කොන්ග්‍රස් පක්ෂය කඩා දැමීම බීජේපීයෙහි දේශපාලන ගුග්ලියක් නොව සොරකමක් බව ද ශරද් පවාර් කියා සිටියේ ය​.

ජාතිකවාදී කොන්ග්‍රස් පක්ෂයෙහි බෙදීම පවාර් පවුලෙහි අවුලක් ලෙස ද පෙනී යයි. අජිත් පවාර් පක්ෂ නායකත්වය අපේක්ෂාවෙන් සිටි නමුත් ඒ වෙනුවට ශරද් පවාර්ගේ දියණිය සුප්‍රියා සුලේ ඒ සඳහා පත් කෙරෙනු ඇතැයි රාවයන් පැවතියේ ය​. එය අජිත් පවාර්ගේ ක්‍රියාකලාපයට හේතුවක් වූයේ යයි අනුමානයක් ද පවතී.

ඉන්දියාවේ පිල් මාරුකිරීමට එරෙහිව ඇති නීතිය අනුව යම් කිසි පක්ෂයක ප්‍රාන්ත මන්ත්‍රීන් අතුරින් බහුතරයක් පිල් මාරු කළ ද ඔවුන්ගේ මන්ත්‍රී ධූර අහෝසි වීමේ ඉඩක් ඇත​. එය වළක්වා ගැනීමට නම් එම පාර්ශවය තම දේශපාලන පක්ෂයෙහි නියම අයිතිය ඇත්තේ තමන්ට බව පෙන්වා දියයුතු ය​. නමුත් පක්ෂයේ අයිතිය උදෙසා දෙපිරිසක් තරග කරන මෙවන් අවස්ථාවක එය විසඳෙනු ඇත්තේ අධිකරණය ඉදිරියේ ය​.

මේ අනුව​, මහමැතිවරණයක් තවත් මාස කිහිපයක් තුළ පැවැත්වීමට නියමිතව තිබියදී ජාතිකවාදී කොන්ග්‍රස් පක්ෂයේ නායක ශරද් පවාර් දේශපාලන කුණාටුවකට මුහුණ දී සිටියි. එය ජාතිකවාදී කොන්ග්‍රස් පක්ෂයටත්, මහා විකාස් අගාඩි සන්ධානයටත්, ජාතික මට්ටමේ විපක්ෂ සන්ධානයක් නිර්මාණය කිරීමේ උත්සාහයටත් වැදෙන දරුණු පහරකි.

සටහන​:

මහා විකාස් අගාඩි යනු කොන්ග්‍රස් පක්ෂයත්, ජාතිකවාදී කොන්ග්‍රස් පක්ෂයත්, ශිව් සේනා පක්ෂයත් එක්ව මහාරාෂ්ට්‍රයේදී පිහිටුවාගත් සන්ධානය ය​. මෙයින් ශිව් සේනා පක්ෂයෙහි මීට පෙර බෙදීමක් ඇතිවූ අතර ඒක්නාත් ශින්ඩේ ප්‍රමුඛ පිරිසක් පක්ෂය අතැර ගිය හ​. ඒක්නාත් ශින්ඩේ මහාරාෂ්ට්‍ර මහ ඇමති ලෙස පත් කරන ලද්දේ ය​. පසුව ඔව්හු පක්ෂයෙහි නම සහ ඡන්ද සලකුණ සඳහා අයිතිය ඉල්ලා එය ලබාගන්නට ද සමත් වූහ​. ශිව් සේනා පක්ෂයේ හිටපු නායකයා වූ උද්දව් ටාකරේ පාර්ශවය දැන් ශිව් සේනා (උද්දව් බාල් ටාකරේ) යන නම භාවිතා කරයි.

ජාතිකවාදී කොන්ග්‍රස් පක්ෂය දෙකඩ වීමත් සමග මහා විකාස් අගාඩි සන්ධානයෙහි පක්ෂ දෙකක්ම දෙකඩ වී තිබේ.

Latest