Skip to content

ChatGPT හා තරග වැදීමට Microsoft වෙතින් ඉදිරිපත් කළ Bing Chat, මේ වසර මුලදී GPT-4 සමග ඒකාබද්ධ වුණා. ඒත් සමග එහි ශක්‍යතාව ඉහළ නැංවීමට හැකියාව ලැබුණා. ඒ අනුව Bing Chat වෙත තවත් අලුත් යාවත්කාලීන කිරීම් කිහිපයක්ම එක් කරන්නට Microsoft ආයතනය සූදානම්ව සිටිනවා.

වඩා දෘශ්‍ය ආකාරයෙන් යුත් පිළිතුරු

මෙතෙක් කල් Bing chat පිළිතුරු ලබාදුන්නේ text පමණක් යොදාගනිමිනි. මෙම නව යාවත්කාලීන කිරීමත් සමග ඡායාරූප, වීඩියෝපට, ප්‍රස්තාර ආදිය යොදාගනිමින් වඩා දෘශ්‍ය ආකාරයෙන් යුත් පිළිතුරු ලබාදීමට Bing Chat වෙත හැකියාව ලැබෙනවා. එමෙන්ම OpenAI හි DALL-E 2 මත ගොඩනැගුණු Bing Image Creator යෙදුම, භාෂා 100 කට වැඩි ප්‍රමාණයක් සදහා පුහුණු කිරීමටද Microsoft ආයතනය කටයුතු කොට තිබෙනවා.

Bing Actions

Bing Actions, ඔබගේ එදිනෙදා කටයුතු තවත් සරල කරගැනීමට යොදාගතහැකි පහසුකමකි. එය උදාහරණ මගින් පැහැදිලි කරගනිමු. ඔබට අවන්හලක් කල් තියා වෙන්කරවා ගැනීමට අවශ්‍යනම් ඒ සදහා සුදුසු කාලයක් සොයාගෙන එය වෙන්කිරීමට අවශ්‍ය සහය Bing Actions විසින් ලබාදෙනවා. එමෙන්ම ඔබට චිත්‍රපටියක් නැරඹීමට අවශ්‍යනම් ඒ හා සම්බන්ධ සේවාව (Netflix වැනි) විවෘත කර චිත්‍රපටය ධාවනය කිරීමටද මෙයට හැකියාව තිබෙනවා. එනිසා තවදුරටත් ඔබට වෙබ් අඩවි අතර හුවමාරු වෙමින් කල් ගෙවීමට අවශ්‍ය වන්නේ නැහැ.

සංවාද ඉතිහාසය ගබඩා කරගනී

ඔබ විසින් ChatGPT භාවිතා කර ඇත්නම් පැරණි සංවාදවලට පිවිසීමට වම් පස ඇති Chat History තීරුව යොදාගන්නට ඇති. Bing Chat සදහාද එවැනි පහසුකමක් මෙම නවීකරණයත් සමග ගෙන ඒමට සූදානම්ව සිටිනවා. ඔබගේ පැරණි සංවාද නැවැත්වූ තැන සිට පවත්වාගෙන යාමට මේ සමග හැකියාව ලැබෙනවා.

Plugins සදහා විවෘතයි

Bing Chat සදහා plugins නිර්මාණයට third-party developer වරුන්ට දැන් අවස්ථාව ලැබී තිබෙනවා. මා පෙර සදහන් කළ අවන්හල් වෙන් කරවාගැනීමේ bing action පහසුකම සදහා ඔවුන් OpenTable සමාගම සමගද වඩා දෘශ්‍ය ආකාරයේ පිළිතුරු ලබාගැනීමට Wolfram Alpha සමාගම සමගද සම්බන්ධ වී තිබෙනවා. ChatGPT විසින්ද මේ හා සමාන ක්‍රියාපිළිවෙතක් අනුගමනය කරනු ලැබුවා.

තවදුරටත් waitlist නැහැ

මේ වන විට Bing Chat සෑම කෙනෙක් සදහාම විවෘත යෙදුමකි. පෙර පරිදී ඒ සදහා ප්‍රවේශ වීමට අවසර ලැබෙන තෙක් ඉවසා සිටිය යුතු නැහැ. ඔබගේ Microsoft ගිනුමෙන් sign in වී Microsoft Edge හරහා හෝ Bing app එක හරහා පහසුවෙන් Bing Chat සමග සම්බන්ධ වීමට හැකියාව තිබෙනවා.

මේවාට අමතරව Microsoft සමාගම විසින් අප Bing Chat සමග කරන සංවාදයන්, සමාජ මාධ්‍ය තුළ පහසුවෙන් පළකිරීමට සහ Microsoft Word document එකක් ලෙස ගබඩා කරගැනීමට හැකිවන පරිදි නව අංගයන් එක් කිරීමටද කටයුතු කරමින් සිටිනවා. තවද Bing chat සතු සාරාංශගත කිරීමේ හැකියාවද මේ සමග වැඩි දියුණු වීමට නියමිතයි.

Latest