Skip to content

ඔබ, ඔබේ හිතමිතුරන්, බල්ලන්, පූසන්, දේශපාලඥයින් ආදී සෑම අධෝමුඛ හිමියෙක්ම පාහේ අධෝවාත පිටකරයි. මේ අතරින් සමහරක්ට අධෝවාතය යනු ප්‍රයෝජනවත් දෙයකි. හුරුල්ලන් විසින් සන්නිවේදනයටත්, බටහිර ඉන්දියානු මැනටියන් (Manatee) විසින් සැහැල්ලු බව පවත්වා ගැනීමටත් අධෝවාත පිටකරයි. මේ අතර තුඹස් බදින වේයාගේ පැඩීම (අධෝවාත පිටකිරීම), කාලගුණ විපර්යාස ඇති කිරීමටද දායක වන බව විමතියට කරුණකි. වේයා ප්‍රමාණයෙන් කුඩා වුවද පැඩීමෙන් කුඩා නැත. පෘථිවියේ සිටින සත්වයින් අතරින් විශාල ප්‍රමාණවලින් අධෝවාත පිටකරන සත්වයෙක් වන වේයා, වර්ෂයක් තුළ ගෝලීයව මුදාහැරෙන මෙතේන් වායුවෙන් 11% ක නිෂ්පාදකයා වෙයි. මෙතේන් යනු හරිතාගාර වායුවක් වන නිසාවෙන් කාලගුණ විපර්යාස සදහා වේයාගෙන්ද සැලකියයුතු බලපෑමක් ඇතිවේ.

කෙසේවෙතත් සමාජය විසින් අධෝවාතය දකින්නේ විහිලුසහගතවය. නමුත් ඒ පසුපස සැගවුණු ඉතා රසවත් විද්‍යාවක් ඇත. විද්‍යාව නොදැන වුවද එය කලාත්මක අයුරින් ඉදිරිපත් කරන්නට බෙන්ජමින් ෆ්‍රෑන්ක්ලින් වැනි කතුවරුන් කටයුතු කොට තිබෙනවා. ඔහු විසින් රචිත "Fart Proudly" (අභිමානයෙන් පඩින්න) ඊට හොද උදාහරණයකි.

අධෝවාත නිෂ්පාදනය

ඔබ විසින් ආහාර, කෙළ ආදිය ගිලින විට ඒ සමග වාතයද ගිලෙයි. මෙසේ ගිලෙන ඇතැම් වාත කොටස් "ගුඩුස්" ආකාරයෙන් පිටතට පැමිණෙද්දී ඉතිරිය ආහාර ජීර්ණ පද්ධතිය වෙත ගමන් කරයි. එසේ ජීර්ණ පද්ධතිය තුළට ඇතුල්වන බාහිර වාතය, අධෝවාතය ඇති කිරීමට හේතුවන එක් කාරකයකි.

දුර්ගන්ධය යනු අධෝවාතයේ අනිවාර්ය ලක්ෂණයකි. දුර්ගන්ධය ඇති කිරීමෙහි ලා ක්‍රියාකරන්නේ ආහාර මාර්ගයේ සිටින ක්ෂුද්‍රජීවීන්ය. අපගේ ශරීරයට ජීර්ණය කළ නොහැකි ආහාර කොටස් ජීර්ණය කිරීමට දායක වීම ඔවුන්ගේ කාර්යභාරයයි. ප්‍රමාණයෙන් ඉතා කුඩා මෙම ක්ෂුද්‍රජීවීන් ට්‍රිලියන 100 ක් පමණ අපගේ ජීර්ණ පද්ධතියේ වාසය කරන බවට ගණන් බලා ඇත. ඔවුන් විසින් ශරීරයට ජීර්ණය කළ නොහැකි ආහාර ජීරණය කිරීමේදී, විටමින් K වැනි ශරීරයට හිතකර ද්‍රව්‍ය සෑදෙන අතරම අධෝවාතයේ දුර්ගන්ධයට හේතුවන රසායනික වායූන්ද පිටවෙයි.

ඉහත කී ඒවායේ සමස්තයක් ලෙස පිටවන ගුදවාතයේ ගන්ධය, පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස්ය. සරවම කිවහොත් එය තමන්ට ආවේණික ගන්ධයකි.

සාමාන්‍ය පුද්ගලයෙක් දිනක් තුළ ලීටරයක පමණ පරිමාවක් දරන අධෝවාත ප්‍රමාණයක් පිට කරයි. මම කිසිම අධෝවාතයක් නොඇර දවසම ගෙවනවා යැයි ඔබට සිතුණත් වැසිකිළි පෝච්චියේදි හෝ නින්දේදී ඒවා පිටවයයි. මෙසේ ලොව වටා සෑම පුද්ගලයෙක්ම පිටකරන අධෝවාතය දිනකට ලීටර බිලියන 7 ක් පමණ වනවා. ඒ අතරින් දුර්ගන්ධයට හේතුවන රසායනික ඇත්තේ 1% ක් පමණය. ඔක්සිජන්, නයිට්‍රජන්, කාබන්ඩයොක්සයිඩ්, හයිඩ්‍රජන් සහ මෙතේන් අනෙක් වායූන් වන අතර ඒවායෙන් හයිඩ්‍රජන් සහ මෙතේන් යනු දැවෙන සුළු වායූන්ය. පහත වීඩියෝව ඊට සාක්ෂි දරයි.

එනිසා ඒවා ශක්ති ප්‍රභවයන් ලෙස යොදාගැනීමේ හැකියාවක් පවතී. ඒ පිළිබදව අධ්‍යනයට මේ වන විටත් පර්යේෂණ සිදුවේ. ඒවායෙන් අනාවරණය වී ඇත්තේ අධෝවාතයෙන් පිටවන හයිඩ්‍රජන් ලීටරයකින් වොට්-පැය 2.8 ක්ද, මෙතේන් ලීටරයකින් වොට්-පැය 10.5 ක්ද නිපදවිය හැකි බවයි. ළගදීම පැඩීමෙන් විදුලි පහන් දැල්වෙන දවසක් උදාවීමට නියමිතය..

අධෝවාතයෙන් හුස්ම ගමු

ඔබ විසින් අධෝවාතයක් පිට නොකර රදවාගෙන සිටියහොත් එහි ඇති වායූන් නැවත රුධිර වාහිනී තුළට අවශෙෘ්ෂණය විය හැකියි. දුර්ගන්ධය සම්බන්ධ රසායනික මේ අයුරින් අවශෝෂණය නොවුවත් ඔක්සිජන් වැනි වායූන් අවශෝෂණයට ලක්වේ. එසේ අවශෝෂණය වූ වායූන් රුධිරය හරහා නැවත ශ්වසනයට දායක වන පෙනහළු වෙත ගමන් කරයි. ඒ අනුව අධෝවාතය පිට නොකර රදවා තබාගතහොත් ඔබ එක්තරා ආකාරයකින් ශ්වසනය කර ඇත්තේ අධෝවාතයයි. එකී අයුරින් ඔබ විසින් ජීවිතයේ එක් වතාවක් හෝ අධෝවාතයෙන් හුස්ම ගෙන ඇතැයි මා සිතමි.

අධෝවාත ශබ්දය හාස්‍යජනක ඇයි?

මේ සදහා පිළිතුරු දීමට "අයෝග්‍ය සිද්ධාන්තය" (Incongruity Theory) යොදාගත හැකියි. එය සංකීර්ණ සිද්ධාන්තයක් වන අතර සරල අදහස නම් අනපේක්ෂිත සිදුවීම්, මිනිසුන් හට හාස්‍ය දනවන්නට හේතුවන බවයි. අධෝවාතයක් පිටවීමද අනපේක්ෂිතව සිදුවන්නකි. එනිසා එහි ශබ්දයට සිනායෑම අරුමයට කරුණක් නොවේ.

කලාවක් වූ ගුදවාතය

අධෝවාතය නොහොත් ගුදවාතය පාලනය කිරීමට හැකිවීමද කුසලතාවයකි. එය ප්‍රගුණ කළ අයවලුන් හදුන්වන්නේ flatulists නමිනි. එයට සිංහල නමක් යෙදීම තරමක් අපහසු වුවත් "අධෝවාතඥයින්" ලෙස හැදින්වීමට සිතුවෙමි.  අධෝවාතඥයින් අතරෙන් ප්‍රසිද්ධ අය කිහිපදෙනෙකි. Mr. Methane යනු ඉන් අයෙකි. ඔහු සතුව ගුදවාතය මෙහෙයවීමට ඇති හැකියාව පහත වීඩියෝවෙන් නැරඹිය හැකියි.

Mr. Methane ගේ වෙබ් අඩවිය : mrmethane.com

අධෝවාත මත

පුරාණ දාර්ශනිකයෙකු වූ පයිතගරස් විශ්වාස කළේ පුද්ගලයෙකුගේ ආත්මය රදා පවතින්නේ ඔහුගේ හුස්ම මත බවයි. අධික ලෙස අධෝවාත පිටකිරීමෙන් එම ආත්මය ශරීරයෙන් පිටව යන බව ඔහුගේ මතය විය. එය එසේනම් ඔබගේ බඩජාරි තරබාරු යාළුවාට ආත්මයක් නැතිවිය යුතුය. නමුත් එහි සත්‍යතාවක් තිබේදැයි සිතෙන අවස්ථාද නැතුවාම නොවේ.

තමන් විසින් අධෝවාත පිටකිරීමෙන් යක්ෂයා සහ අකුසල් පලවා හරින බවට මාටින් ලූතර් පවසා සිටියේ මේ අයුරින්.. "I resist the devil, and often it is with a fart that I chase him away.”


අධෝවාතය, මුදල් බවට හරවාගත් අයද වෙයි. Stephanie Matto යනු එවැනි කාන්තාවකි. ඇය සමාජ මාධ්‍යයන්හි ප්‍රසිද්ධ චරිතයක් (Influencer) වන අතර ඇය විසින් ඇයගේ අධෝවාතය බෝතල් කර විකිණීමට තීරණය කොට ඇත. මේවා ගන්නේ කවුද? එයට ඇය පිළිතුරු දී ඇත්තේ ආදායමෙනි. දැනටමත් ඇයගේ ආදායම ඩොලර් ලක්ෂය ඉක්මවා ගොස් ඇත. ඇය විසින් බෝතලය ලබාදෙන්නේ එතුළට මල් පෙත්තක් දමා, කුඩා ලිපියක්ද සමගින්ය. (insta : @stepankamatto)

විවිධාකාර වූ ගන්ධයන් රැසකින් යුත් අධෝවාත පිටකිරීමට හැකියාව ලැබෙන පෙති අලෙවිකරන වෙබ් අඩවියක්ද  හමුවුණේ අහම්බයකිනි :  http://pilulepet.com

අවසාන වශයෙන්,  දියුණු වීමට අවශ්‍ය වන්නේ රාමුවෙන් පිටතට ගොස් සිතීමයි. එවිට පශ්චාත් ප්‍රදේශයෙන් පිට වන අධෝවාතය පවා මුදල් කිරීමට හැකිවනු ඇති..

Latest