Skip to content

මහමැතිවරණයට පෙර ප්‍රාන්ත පහක සටන

ඉන්දියාවේ ලබන වසර මුල් කාලයේ පැවැත්වීමට නියමිත මහමැතිවරණයට පෙර පවත්වනු ලබන අවසන් ප්‍රාන්ත සභා මැතිවරණ පහ සඳහා දින නියම කරනු ලැබ තිබේ.

මෙසේ ප්‍රාන්ත සභා මැතිවරණ පවත්වනු ලබන්නේ හින්දි හදබිම ආශ්‍රිත රාජස්ථාන්, මධ්‍ය ප්‍රදේශ්, චත්තිස්ඝර් යන ප්‍රාන්ත තුනත්, ඊසානදිග ඉන්දියාවේ මිසෝරාම් ප්‍රාන්තයත්, දකුණුදිග ඉන්දියාවේ තෙලන්ගනා ප්‍රාන්තයත් සඳහා යි.

මේ අතරින් 2018 දී රාජස්ථාන්, මධ්‍ය ප්‍රදේශ් සහ චත්තිස්ඝර් ප්‍රාන්තවල මැතිවරණ කොන්ග්‍රස් පක්ෂය ජයගත් නමුත් මාස කිහිපයකට පසුව පැවති මහමැතිවරණයෙන් කොන්ග්‍රස් පක්ෂයට අයත් වූයේ දරුණු පරාජයක්. එහෙයින් මෙම ප්‍රාන්ත මැතිවරණවල ප්‍රතිඵල මගින් ජාතික මට්ටමේ මහමැතිවරණය සඳහා නිවැරදි පුරෝකථනයක් ලබාදීමට හැකිවේ යයි නිශ්චිතව කිව නොහැකි ය. කෙසේ වෙතත් මෙවර පසුගියවරට වඩා වෙනස් තත්ත්වයන් පවතින හෙයින් මෙම ප්‍රාන්ත මැතිවරණ නිරීක්ෂණය වැදගත් වනු ඇත.

නොවැම්බරයේ මැතිවරණ පැවැත්වෙන ප්‍රාන්ත​. රතු - මිසෝරාම්; තැඹිලි - රාජස්ථාන්; නිල් - මධ්‍ය ප්‍රදේශ්; කොළ - චත්තිස්ඝර්; රෝස - තෙලන්ගනා

මිසෝරාම්

වරක් අසාම් ප්‍රාන්තය සමග යම් ගැටුම්කාරී තත්ත්වයක් පැන නැගුණ ද, අභ්‍යන්තර වශයෙන් මිසෝරාම් ප්‍රාන්තය පසුගිය සමයේ ස්ථාවර දේශපාලන තත්ත්වයක් පැවති ප්‍රදේශයක් ලෙස සැලකිය හැකිය. එහි ප්‍රාන්ත සභාවේ ආසන 40 ක් වන අතර මිසෝ ජාතික පෙරමුණ එහි පාලනය ගෙන යයි. එය භාරතීය ජනතා පක්ෂය ප්‍රමුඛ ජාතික ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානයේ සාමාජිකයෙකි. මෙම ප්‍රාන්තය මනිපූර්, ත්‍රිපුර සහ අසාම් ප්‍රාන්තවලට මෙන්ම මියන්මාරයට සහ බංග්ලාදේශයට ද මායිම්ව එම ප්‍රාන්තය පිහිටා තිබේ. විශේෂයෙන්ම මනිපූර් හි පසුගිය සමයෙහි ඇතිවූ තත්ත්වය මිසෝරාමයේ දේශපාලනයට කෙසේ බලපානු ඇතිදැයි මෙවර මැතිවරණයෙන් දිස්වනු ඇත​. මිසෝරාමයේ මිලියනයක පමණ වන ජනගහනයෙන් සියයට 95 ක් පමණ විවිධ ගෝත්‍රවලට අයත් ජනතාව වන අතර සියයට 90 කට ආසන්න ප්‍රමාණයක් ක්‍රිස්තියානි ලබ්ධිකයන් ය​.

මිසෝරාම් හි 2018 ප්‍රාන්ත මැතිවරණයේදී මිසෝ ජාතික පෙරමුණ ආසන 26 ක් දිනාගත් අතර සෝරම් ජනතා ව්‍යාපාරය ආසන 8 ක් දිනාගත්තේ ය​. එතෙක් ප්‍රාන්ත සභාව පාලනය කළ කොන්ග්‍රස් පක්ෂය ආසන 5 ට බැස්සේ ය​. බීජේපීය එක් ආසනයක් දිනාගත්තේ ය​. මෙවර කොන්ග්‍රස් පක්ෂය නැවත බලයට පත්වීමේ බලාපොරොත්තු දල්වාගෙන සිටිනු ඇත​. ප්‍රාන්ත මැතිවරණය නොවැම්බර් 7 වනදා පැවැත්වෙන අතර දෙසැම්බර් 3 වනදා ඡන්ද ගණන් කරනු ලැබේ.

චත්තිස්ඝර්

කලින් මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්තයේ කොටසක්ව පැවති චත්තිස්ඝර් වෙනම ප්‍රාන්තයක් බවට පත්වූයේ 2000 දී ය​. මිලියන 30 කට ආසන්න ජනගහනයක් එහි වාසය කරති. ඉන් තුනෙන් එකක් ගෝත්‍රික ජනවර්ග වන අතර සියයට 12 ක් දලිත්වරුන් ය​. ඉතිරි කොටසින් සාතිශය බහුතරය "අනෙකුත් පසුගාමී යයි සම්මත කුල​" (OBC) ප්‍රජාවන් ය​. චත්තිස්ඝර් ප්‍රාන්තයේ විශේෂයෙන්ම දකුණුදිග ප්‍රදේශ ඉන්දියාවේ මාවෝවාදී හෙවත් නැක්සලයිට් කැරලිකරුවන්ගේ බලකොටු පිහිටි ප්‍රදේශයන් ය​. විශේෂයෙන්ම ගෝත්‍රික ජන ප්‍රජාවන් අතර ඔව්හු ක්‍රියාත්මක වෙති

චත්තිස්ඝර් හි ප්‍රාන්ත සභාවේ ආසන 90 කි. එහි ප්‍රධාන දේශපාලන පක්ෂ වන්නේ භාරතීය ජනතා පක්ෂය සහ කොන්ග්‍රස් පක්ෂයයි. ඊට අමතරව කොන්ග්‍රස් පක්ෂයෙන් නෙරපන ලද හිටපු මහ ඇමතිවරයකු විසින් මෙහෙයවනු ලබන ජනතා කොන්ග්‍රසය ද තවත් පක්ෂ කිහිපයක් ද එහි යම් පමණකට ක්‍රියාත්මක ය​. 2018 ප්‍රාන්ත මැතිවරණය ජයගත්තේ කොන්ග්‍රස් පක්ෂයයි. මහ ඇමති බුපේෂ් බාගෙල් මෙවර ද මැතිවරණය ජයග්‍රහණය කිරීමට අපේක්ෂා කරයි. නොවැම්බර් 7 සහ 17 දිනයන් හි අදියර දෙකකින් පැවැත්වෙන මැතිවරණයේ ඡන්ද ගණන් කිරීම දෙසැම්බර් 3 වනදා සිදුකෙරේ.

මධ්‍ය ප්‍රදේශ්

ඉන්දියාවේ මැතිවරණ පිළිබඳ සාකච්ඡා කිරීමේදී වැදගත් ප්‍රාන්තයක් වන මධ්‍ය ප්‍රදේශ් හි ප්‍රාන්ත මැතිවරණය පැවැත්වීමට නියමිතව ඇත්තේ නොවැම්බර් 17 වනදා ය​. 2018 දී මෙම ප්‍රාන්තයේ මැතිවරණය කරට කර සටනක් වූ අතර කොන්ග්‍රස් පක්ෂය ආසන 114 ක් ද බීජේපීය ආසන 109 ක් ද දිනාගත් හ​. කොන්ග්‍රස් පක්ෂය ආණ්ඩුවක් පිහිටවූව ද කෙටි කලකින් බීජේපීය කොන්ග්‍රස් මන්ත්‍රීන් පිරිසක් බිලීබාගෙන ආණ්ඩු බලය අල්ලාගත්තේ ය​.

මෙවර විපක්ෂ සන්ධානය බිහිවීමේ බලාපොරොත්තු සහගත තත්ත්වයත් සමග තමන්ට බලය අල්ලාගත හැකි යයි කොන්ග්‍රස් පක්ෂය විශ්වාස කරයි. මහ ඇමති ශිව්රාජ් සිං චෞහාන් සහ බීජේපී ඉහළපෙළේ නායකත්වය අතර යම් යම් වෙනස්කම් ඇති බවට ද වාර්තා වීම චෞහාන්ට අවාසිදායක විය හැක​.

රාජස්ථාන්

2018 රාජස්ථාන් ප්‍රාන්ත මැතිවරණයේදී කොන්ග්‍රස් පක්ෂය ප්‍රාන්ත ආසන 200 න් 100 ක් දිනාගත්තේ ය​. ඒ අනුව එම පක්ෂයට ආණ්ඩු බලය හිමි වූයේ ය​. කෙසේ වෙතත් කොන්ග්‍රස් පක්ෂය තුළ මහ ඇමති අශෝක් ගෙහ්ලොට් සහ සචින් පයිලට් කඳවුරු දෙක අතර වන බල අරගලය හේතුවෙන් එම පක්ෂයට අවාසියක් සිදුවීමේ ඉඩක් තිබේ. දැනට සති කිහිපයකට පෙර සිදුකරන ලද සමීක්ෂණයකදී පෙනීගියේ භාරතීය ජනතා පක්ෂය මීළඟ ප්‍රාන්ත මැතිවරණය ජයගැනීමේ වැඩි ඉඩක් ඇති බව ය​. එහෙත් තවමත් නිගමනවලට පැමිණීමට කල් වැඩි ය​. තවද ගෙහ්ලොට්ගේ ආණ්ඩුව සාමාන්‍යයෙන් සාර්ථක ලෙස පාලන කටයුතු සිදු කළ හෙයින් කොන්ග්‍රස් පක්ෂය එළඹෙන මැතිවරණයේදී හොඳ සටනක් දෙනු ඇතැයි සිතිය හැක​.

වසුන්දරා රාජේ

භාරතීය ජනතා පක්ෂය තුළ ද වෙනස් ආකාරයේ බල අරගලයක් වෙයි. හිටපු මහ ඇමති වසුන්දරා රාජේ සහ පක්ෂ නායකත්වය අතර කිසියම් නොගැලපීමක් පවතින අතර විශේෂයෙන්ම අභ්‍යන්තර කටයුතු ඇමති අමිත් ෂා බලාපොරොත්තු වන්නේ වඩා තරුණ නායකත්වයකට ප්‍රාන්තයේ කටයුතු භාරදීම බව පෙනෙන්නට තිබේ. කෙසේ වෙතත් ප්‍රාන්තයේ භාරතීය ජනතා පක්ෂ ප්‍රබලයින් අතර වසුන්දරා රාජේ තරම් ජනප්‍රිය අන් අයකු නොමැත​. එහෙයින් ඇයව සම්පූර්ණයෙන් නොසලකා හැරීමට නනොහැකි තත්ත්වයක් මතුව තිබේ.

තෙලන්ගනා

දකුණුදිග ඉන්දියාවේ තෙලන්ගනා ප්‍රාන්තය මෙවර තීරණාත්මක මැතිවරණ සටනක් පෙන්නුම් කරයි. කලකට පෙර​, විශේෂයෙන්ම 2020 හයිදරාබාද් මහනගර සභා මැතිවරණය සමයේදී පෙනීගොස් තිබුණේ භාරතීය ජනතා පක්ෂය ප්‍රාන්තය තුළ ශක්තිමත් වන බවකි. කෙසේ වෙතත් මෑතකදී කළ සමීක්ෂණයක් අනුව භාරතීය ජනතා පක්ෂය එළඹෙන ප්‍රාන්ත මැතිවරණයේදී පැහැදිලිවම තුන්වන ස්ථානයට තල්ලුවන ස්වභාවයක් පෙන්නුම් කරයි. ඒ වෙනුවට කලක් ප්‍රාන්තයේ පසුබැස සිටි කොන්ග්‍රස් පක්ෂය යළිත් අලු ගසා දමා නැගිටින සෙයක් පෙන්නුම් කරයි. කොතෙක් ද යත්, මෑතකදී කළ CVoter සමීක්ෂණයකින් පෙන්නුම් කළේ එම පක්ෂය එළඹෙන ප්‍රාන්ත මැතිවරණය ජයග්‍රහණය කිරීමේ ඉඩක් ඇති බව ය​.

KCR

කිසියම් ලෙසකින් කොන්ග්‍රස් පක්ෂය එළඹෙන ප්‍රාන්ත මැතිවරණය ජයග්‍රහණය කළහොත් එය එම පක්ෂයට විශේෂිත ජයග්‍රහණයක් වනු ඇති අතරම ප්‍රාන්ත මහ ඇමති කේ. චන්ද්‍රසේකර් රාඕ හෙවත් KCR ලබන දැවැන්ත පරාජයක් වනු ඇත​. මීට දශකයකට පෙර තෙලන්ගනා ප්‍රාන්තය බිහිවූ දා පටන් එහි දේශපාලනය මෙහෙයවන්නේ KCR ය​. ඔහුගේ තෙලන්ගනා රාෂ්ට්‍ර සමිති (TRS) පක්ෂය පසුගිය වසරේ භාරතීය රාෂ්ට්‍ර සමිති (BRS) ලෙස නම පවා වෙනස් කරගත්තේ ඔහු තුළ වන ජාතික මට්ටමෙහි දේශපාලන බලාපොරොත්තු හේතුවෙනි. විශේෂයෙන්ම විපක්ෂය දුර්වලව තිබුණ සමයේ ඔහු තමන් වටා පොදු විපක්ෂයක් ගොඩනගාගැනීමේ උත්සාහයක යෙදුණේ ය​. එහෙයින් විපක්ෂ දේශපාලන පක්ෂ ගණනාවක් "ඉන්ඩියා" සන්ධානය ලෙස ඒකරාශී වන අවස්ථාවේ KCR ඊට එක් වූයේ නැත​. එවන් තත්ත්වයක් යටතේ ඔහු මෙවර ප්‍රාන්ත මැතිවරණය පරාජය වුවහොත් එය ඔහුට තදබල පහරක් වනු ඇත​. එමෙන්ම භාරතීය ජනතා පක්ෂය ආසන කිහිපයකට වඩා දිනාගන්නට සමත් නොවුණහොත්, දකුණුදිග ඉන්දියාවේ එම පක්ෂයේ ව්‍යාප්තිය පිළිබඳ බලාපොරොත්තු තවත් පසුබසිනු ඇත​.

Latest