Skip to content

ඖෂධ අධි මාත්‍රාවක් ලබා දීමෙන් මිලාන වූ මල් කැකුල

උණ, සෙම්ප්‍රතිශ්‍යා රෝගය වැළඳී සිටි සත් හැවිරිදි කුඩා දැරියකට වැඩිහිටියන් හට ලබා දෙන පැරසිටමෝල් අධි මාත්‍රාවක් ලබා දීම නිසා ඇය මරණයට පත්ව ඇති බව ගම්පොළ රෝහලේ හදිසි මරණ පරීක්ෂක නලීන් මැදිවක මහතා විසින් සිදු කළ මරණ පරීක්ෂණයේ දී වාර්තා වී තිබේ.

පැරසිටමෝල් අධිමාත්‍රාවක් ශරීරගත වීමෙන් මෙසේ මරණයට පත්ව ඇත්තේ ගම්පොල, තාමරවල්ලි ජනපදයේ පදිංචිව සිටි ආර්.ජී. ශාමලී තරුෂි නම් වූ 07 හැවිරිදි දැරියක් වන අතර ඇය උඩුවැල්ල කණිෂ්ඨ විද්‍යාලයේ දෙවන වසරේ අධ්‍යාපනය ලබමින් සිට ඇත.

දැරියගේ දෙමව්පියෝ සඳහන් කරන්නේ ඇයගේ අසනීප තත්ත්වය මත ගම්පොල කුරුඳුවත්ත රෝහලින් ඇයට දෙවරක් බෙහෙත් රැගෙන දුන් බවත් වෛද්‍යවරයා විසින් ලබා දී ඇති අදාළ නියමිත මාත්‍රාව වෙනුවට රෝහලේ ඖෂධ නිකුත් කරන ස්ථානයෙන් වැඩිහිටියන් වෙනුවෙන් නිකුත් කිරීම සඳහා සූදානම් කොට තිබූ පැරසිටමෝල් පෙති මුලක් අදාළ දැරිය වෙනුවෙන් ලබා දීම හේතුවෙන් මෙම අධි මාත්‍රාව දැරියගේ ශරීරගතව ඇති බවය.

රෝහල් ඖෂධ නිකුත් කරන ස්ථානයේ පැරසිටමෝල් වැනි ඖෂධ වර්ග වේලාසනින්ම කොළවල ඔතා සකස් කර තබා රෝගීන්ට ලබා දීම සිදුවන බවත් එම කොළයේම ඖෂධ ලබා ගන්නා ආකාරය සදහන් කොට ඇති බවත් සඳහන් වේ. වැඩිහියන්ට අවශ්‍ය ඖෂධ මාත්‍රා එසේ සඳහන් කොට තිබුණද දරුවන් සදහා ඖෂධ ලබා දීමේදි ඖෂධ ඔතා ඇති කොලයේ පිට පැත්තේ එම මාත්‍රාව සටහන් කරන බවද ප්‍රදේශවාසීහු කියති.

ඒ ආකාරයෙන් ඖෂධ ඔතා තිබූ කොළයේ සඳහන් වූ පරිදි වැඩිහිටි මාත්‍රාවෙන් දැරියටද ඖෂධ ලබාදී ඇති  බව සඳහන් වන අතර ඇයගේ මව්පියන් සිදුකර ඇත්තේ එම කොලේ සටහන් කර තිබූ වැඩිහිටියන් සඳහා වන මාත්‍රාව මෙම දරුවාටද ලබා දීමය.

අධිමාත්‍රාව ලබා ගැනීමෙන් අනතුරුව 22 දා රාත්‍රි දරුණු බඩේ අමාරුවක් සෑදී දරුවා ගම්පොල රෝහලට රැගෙන විත් ඇත්තේ ඉතාමත් අසාධ්‍ය තත්වයෙනි. එහිදී දරුවා රෝහල් දැඩිසත්කාර ඒකකයට ඇතුළත් කළද වැඩිදුර ප්‍රතිකාර සඳහා මහනුවර හෝ පේරාදෙණිය රෝහල් කරා රැගෙන යෑමට උත්සාහ කළද එම දැඩි සත්කාර ඒකකවල ඇඳන් හිස්ව නොතිබූ බව වාර්තා වේ.

එහිදී අසාධ්‍ය තත්ත්වයට පත් වූ දරුවා මරණයට පත්ව ඇති අතර 23 දින පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සඳහා දේහය මහනුවර ජාතික රෝහල කරා යවා ඇත. එම මරණ පරීක්ෂණය සිදුකළ විශේෂඥ අධිකරණ වෛද්‍ය සී.යූ. වික්‍රමසිංහ මහතා දැරියගේ ශරීර කොටස් වැඩිදුර පරීක්ෂණ කටයුතු සඳහා යොමු කිරීමට පියවර ගෙන ඇත.

ගම්පොල රෝහල් හදිසි මරණ පරීක්ෂක නලීන් මැදිවක මහතා එම මරණයට හේතු ලෙස උණ රෝගයට අධි මාත්‍රාවෙන් පැරසිටමෝල් ලබා දීමෙන් අක්මාවට බරපතල හානි වීම වශයෙන් දක්වා ඇති අතර මරණයට පත් වූ දැරියගේ පියා වන සමීර කරුණාරත්න හා මව වන මල්ලිකා රාජපක්ෂ මෙහිදී සාක්ෂි ලබාදී තිබේ.                                                                                                                                          

මේ සම්බන්ධයෙන් සිදු කළ විමසුමකදී මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය නිහාල් වීරසූරිය සඳහන් කළේ මෙම සිදුවීම සම්බන්ධයෙන් මේ දක්වා පැමිණිල්ලක් ලැබී නොමැති බවය.

රෝහලින් ඖෂධ නිකුත් කිරීමේදී දරුවන්ට ලබා දිය යුතු මාත්‍රාව පිළිබඳව පැහැදිලිව සඳහන් වුවද දෙමාපියෝ වැඩිහිටියන්ට ලබාදිය යුතු මාත්‍රාව දරුවාට ලබා දී ඇති බව පෙනී යන බවත් අධිකරණ වෛද්‍ය පරීක්ෂණයෙ වාර්තාව ලද පසු වැඩිදුර යමක් කිව හැකි බවත් කෙසේ වුවද මේ පිළිබඳව විමර්ශනයක් ක්‍රියාත්මක බවත් හෙතෙම වැඩිදුරටත් කීය

Latest