ඇතීනා
කැරකෙන සුක්කානමේ කුවණ්ණා.......
සූර්‍යයා කඳු පන්තියේ අනෙක් පසින් සැඟවෙන්න උත්සාහ දරමින් සිටී. වැහි අඳුර අතරින්ම අහස තැඹිලි පැහැ ගැන්විලා. කොළ පැහැයෙන් වර්ණ ගැනුණු සුන්දර කඳු මුදුනක තැනින් තැන අඳුරු නමුත් තැඹිලි පැහැ ආලෝකමත් වළාකුළු පටිය! ඒ සුන්දර දසුන කැමරා කාචයක අදින්නට කෙනකු සිටියා නම් මට ඔබ වෙත පෙන්වන්නට තිබුණා. ඒ අවස්ථාවේදී එතැනින් ගිය රතුපැහැ බස්රියේ මගී පිරිස නම් ඒ සොඳුරු දසුන සියැසින්ම දුටුවා.
සිත තුළ රූප මවන්නේ දෑස පමණක් නොවේ. මා ඉහතින් කියූ මගී පිරිස අතර ඇතිනාද සිටියාය. ඈ සිත තුළ ඇඳුණු රූප මගී පිරිස දුටු සොඳුරු දසුනට වඩා සොඳුරු? ඕ නැත, එය සොඳුරු නොවන්නටත් ඉඩ ඇත. ඒ කෙසේ වෙතත් ඇතිනා සිටියේ මහා කල්පනාවක ගිලිලාය. ඈ තම අනෙක් දරුවා ව ද රැගෙන ඒමට ගිය ද ඇය අත සිටියේ රැගෙන ගිය දරුවා පමණි. ඇතිනට දරුවාට වඩා වටින්නේ ඇගෙ නැන්දම්මා ද? ලෝකයා එසේ අසාවි. අප කුමක් අසන්නද? ඈ ඇගේ තීරණය ගෙන අවසන්ය. අපි ඇගේ දිවියට ගලා යන්නට ඉඩ හරිමු .
ඇය ගමන් කළේ ඇගේ වර්තමාන වාසභවන වෙතයි. වංගු සහිත මග දිගේ කන්ද තරණය කළ බස්රිය තැනිතලාවට පැමිණියා පමණි. පුරුදු පරිදිම බස්රියේ නුපුරුදු බව නිසාම ඈට ගත් ආහර මුවෙන් ම පිට කිරීමට සිදුවී තිබිණි. කොන්දොස්තරවරයා 'ටකේ හන්දිය බහින්න' කියන තුරුම ඇය සිදුකර තිබුණේම සිහින දැකීමත්, වමනය දැමීමත් පමණකි.
ඇතිනා හිඳ සිටි ආසනයෙන් නැගිට දරුවාව ද රැගෙන බස්රථයෙන් බැසීමට නැගිට්ටාය. බස්රියේ කෑදර දෑස් කිහිපයක් ඈ වෙත එල්ල වී තිබූ ඇති ආකාරය දුටුවේද ඒ අතරයි. ඒ දෑස් ඇයට නොදැනීමත්, නොපෙනීමත් පුදුමයකි.
ඈ බැස ගත්තේ ටකේ හන්දියෙනි. අඳුර රජැයීමේ ආරම්භක අවධිය බැවින් හිරුගේ එලිය ලබා දුන්නේ කුඩා තීව්‍රතාවයක් පමණි. ඒ එළියෙන් ගුරු පාරත්, මහපාරක් එක්වෙන තැන පසෙකින් තිබුණු මහා නුග ගස දැකගන්නට ලැබිණි. ඉතාමත් විශාල හා වසර සිය ගණනක් පැරණි වෘක්ෂයකි. ගස යට ගලක් තබා එහි සුදු පැහැයෙන් ඉරි තුනක් ඇඳ ඒ යට පහණකුත් තබා එය දීප්ත කර එතැන පූජා භූමියක් කර තිබිණි. ඒ ප්‍රදේශයේ දමිළ ප්‍රජාවයි. මහා ගස මුළු ප්‍රදේශයම අරක්ගෙන පැතිරගොස් ගුප්ත බවක් ඇතිකර තිබිණි. එතැනට ටකේ හන්දිය යැයි කිවේ ද පෙර කළ ඒ මත තිබුණු ටකයක් හේතුවෙනි.
ඇතිනා මෙවන් වෙලාවක මෙතනින් යාමට බිය වූවාය. ඇය වැඩිපුර බිය වූයේ මේ ගුප්ත බවටයි. කුමක් කරන්නද? ඈ පය ඉක්මන් කරමින් ගුරු පාර දිගේ ඇදෙන්නට විය. ලැයිම ද පසුකර හෙළ දිගේ පහළට බැස්සේ තම වර්තමාන වාසස්ථානය වෙත ඉක්මනින් යාමටයි. ටකේ හන්දිය අසල දී ඇති වූ බිය ඈව කල්පනා ලෝකයෙන් මුදවා තිබුණෙන් ඉක්මනින් ඒ නිවෙසට ඇතුළු වීමට ඇයට හැකිවිය.
"මොකෝ ළමයා අඬන්නේ" එය ශක්තිමත් නමුත් විකාරකාරී කටහඩකි. "මං උඹට බත් ඉතුරු කලා" ඇඳ කිරිකිරි ගසා දිගු හුස්මකින් පසු ගොරවනවා ඇසිනි.
ඇතීනා දිගු සුසුමක් හෙළුවාය. අහෝ ! දරුවා හඬයි. අද දිනයේ දී ඇයට දරුවාගේ හැඩීම ශ්‍රවණය වූ ප්‍රථම අවස්ථාව එයයි. 'බඩගින්නෙ වෙන්න ඇති' ඇය සිතුවා ය. අත වූ කුඩයක් හිස බැඳි සළුවත් පසෙකට දැමූ ඇය අසල වූ පුටුවකින් හිඳ ගත්තාය. හැඳ සිටි හැට්ටයෙන් පිටතට ගත් තනපුඩුව දරුවාගේ මුවෙහි එබුවාය. දහදිය ගඳ නාස් පුඩුවල තැවරුණ එවිටයි.
ඇතීනා කල්පනා කළේ දරුවා අද කොපමණ හඬන්නට ඇතිද කියායි, සිහිය නැතිව හිදි විටදී ඔහුගේ සිඟිති කොපුල් දිගේ කඳුලු රූරා ගලන්නට ඇති. කොපුල් රතු වෙන්නට ඇති. ඔහු කුසගින්නේ කෑගසන්නට ඇති.
ඈ ඇගේ ඇඳ වෙත පා නැගුවාය. දරුවාව පසෙකින් තබා ගෙන හාන්සි වී දෑස් පියා ගත්තාය. දරුවා දැන් හඬන්නේ නැත. ඔහු හැඩුවේ කුසගින්නටයි. දෑස් පියවුණද ඇයට නින්ද ගියේ නැත. අද දින ඇගේ ජීවිතයේ අමතක නොවන දිනකි. එය ඇගේ සිත දුරක රැගෙන ගියේය.
සිත නොසන්සුන්ය. එය වේදනා ගෙන දෙයි. හිසද රිදුම් දෙයි. මෙතරම් දුක් වේදනා වින්දද තවම දරා ගැනීම අපහසුය. ඔහු මියගිය දිනයේ සිට වින්දා වූ දුක් කන්ද තවම නිමා වී නැත. එදින සමාජයම ඇයව පිළිකුල් කරමින් එල්ල කළ නින්දා අපහාස, පොලිසිය ඇයව රැගෙන යද්දී ඇයට කියූ සම්මත ආක්‍රෝෂ පරිභව ඈ සිත තවමත් ගිගුරුම් දෙයි.
හරිහැටි සාක්ෂි නැති වූවද ඇප ගන්නට කෙනෙක් නැති වූ නිසාවෙන් සිර මැදුර තුල ගෙවූ පස් මාසය? ඈ වන් සියුමැලියක් දරදඬු ගැහැනුන් අතර ගෙවූ කාලය? අහෝ ඔවුන් ඇය වෙත කරුණාවක් නම් දැක්වූයේ නැත. සැමියන් වෙනුවෙන් හිරේ ගිය අය අතර ඇය සැමියා මැරූ කතකි. ඔව්හු ඇය වෙනුවෙන් හැකි සෑම විටම වදහිංසා සාගරයක් එකතු කර තිබිණි. ඔවුන් බහුතරයක් සැමියන් වෙනුවෙන් පෙළ ගැසී සිටියහ. කිමද යත් ඒ සිර මැදුර ජනප්‍රිය මතයයි. ඔවුන් අතර ඇති විරසකය සැමියන්ට ඇති ආදරය බවට පරිවර්තනය වී තිබිණි. ඔවුන් තම පීඩනය පිට කළේ අන් අය අත වෙත පීඩා කරමිණි; පීඩා කිරීම සඳහා ක්‍රම නිපැයීමෙනි. ඔවුන් ඒ සඳහා වඩා ජනප්‍රිය මතය යොදාගෙන පීඩාව ආහාර සේ සැමියන්ගෙන් ලබා හුරු පුරුදු වූ කතුන් සිරකරුවන්ව පීඩාවට පත්කළහ. ඇතිනාද එහි ගොදුරක් විය.
ඇතිනා නිදාගත්තේ නැත. ඇයට මෙවන් රාත්‍රීන් හුරුපුරුදුය. අතීතයේ සිහිකරමින් පැය ගණන් සිහින දැකීමට සිදුවූ රාත්‍රී බොහෝමයක් ඇයට මතකය. ඇයට නොදැනීම කාලය ගත විණි. යාබද කාමරයේ විදුලි එළිය දල්වනු ඇසිණි. ඔහුව අවදි වී ඇත. වේලාව හතරක් පහුවෙලා ද?
'තව ටිකක් වෙලා ඉඳල තේ ටිකක් වක්කරලා දෙනවා' ඈ සිතුවාය. හිත අතීතය නම් වූ කෘතියේ පරිච්ඡේද තවමත් කියවයි. අධික පීඩා මධ්‍යයේ වූ සිර ගෙදර මාස පහක පමණ දීර්ඝ කාලය නිමා වූයේ අනෙක් කාමරයේ දැන් පිබිදුණු ඔහු නිසයි. මාස හත අටක ගැබිනියක්ව සිටි ඇයවත් එකල කුස තුළ හුන් බිලින්දා වත් ඇප මුදල් තැන්පත් කර බේර ගත්තේ ඔහුයි; නීතිඥයකු ලෙස ඇය වෙනුවෙන් කතා කළේ ඔහුයි.........
වෙහෙස නම් වූ කරුණාවන්ත සෙබලා තම දිවි පරදුවට තබා අතීතය නම් වූ කුරිරි සෙන්පතියාව පරදා නින්දට රජැයීමට ඉඩකඩ සකසා තිබිණි. ඔබ තවමත් ඔහු කවුරුන්දැයි සොයනවා ඇති.
ඔහු නමින් උපුල් බස්නායක; ඇතීනාගේ මහප්පා. ඇතීන දැන් හිඳින්නේ ඔහුගේ නිවස තුළ. ඔහු අවිවාහක බේබද්දෙක්. පෙරදින රාත්‍රියේ ඇතීනා නිවසට පැමිණෙන විටත් ඔහු සිටීමත් මත් වෙලා. ඇත්තෙන්ම ඔහු මත් නොවුණු වෙලාවක් හොයාගන්න නැති තරම්. මේ අප කියන හෝරාවේ නම් ඔහු සිටියේ තම අලුත්ම නවකතාව ලියමින්. ඔහු සම්මානලාභි ලේඛකයෙක්. ඇතීනා කියන්න ඔහුගේ බාල සොහොයුරා ගේ වැඩිමහල් දියණිය. ඔහු නම්.... ඕ ඇතීනා අවදිවෙලා.
ඇය ඇඟමැලි කඩමින් ඇඳෙන් බැස්සාය. නොසන්සුන් භාවය විසින් ඈ තුළ ඇති කළ අඩ හෝරා කුකුළු නින්ද තවමත් රුධිර පීඩනය අධික දිනවල දී මතුවේ. එබැවින් ඇඟමැලි කැඩුවද නැගී සිටීමට අපහසු තරමේ වේදනාවක් ඇට සිරුර පුරාවට දැනෙන්නට විය.
අපහසුවෙන් වුව නැගිට ගත් ඈ කුස්සියට ගොස් කුඩා ඉපල් දමමින් ලිප පත්තු කරන්නට විය. වසරේ අවසානය ළං වන බැව් කියා පාන අධික සීතල හා කඩින් කඩ වැටෙන වැහිපොද ය උණුසුමට වැට බඳියි. එබැවින් සූර්යයාගේ යාන්තම් ස්පර්ශයක් පමණක් ලබන මෙවන් හෝරාවක ලිපේ ගින්නත් ඇය වෙනුවෙන් ඉපදීම ප්‍රතික්ෂේප කරයි. 'ගින්නත් මාව ගනන් ගන්නෑ' ඈ මිමිණුවේ සත්‍ය තත්වය දන්නා මුත් ඒ මිනිසා තුළ සැඟවුණු සමාජය වෛරයෙනි; ක්‍රෝධයෙනි; දුකෙනි;
කෝපි කෝප්පය්ස් ඔහුගේ මේසේට යනවිට සූර්යයා අවදි වී තිබිණි. ඔහු තම සිතිවිලි සටහන් පොතක පෙළගස්වමින් සිටියේය. මේසය ඉදිරියේ වූ ජනෙල් පලුදෙක ඈ පිටතට තල්ලු කර දැම්මා ය. සිසිලස සමඟින් කාමරයට ඇතුළු වූ සූර්ය තීරණයක් ගෙන ආවේ නැවුම් ප්‍රබෝධයකි. ඔහුගේ මුහුණ පුරා වැඩුණු රැවුල පුරා සුදු පැහැ වූ තැන් බොහෝය. කොණ්ඩයේ නමි ඉදී තිබුණේ තැනින් තැනයි. ප්ලාස්ටික් පුටුවක් මත හිඳ ලී මේසය මත ඇති CR පොතේ පිටු අතර ඔහු ඔහුගේ චින්තාවන් ගබඩා කරයි.
තවමත් නොපිපුණු මල් ගෙන ආ සුවඳ නාහෙට ඇතුළු වුණා විතරයි. ඒත් වෙනදට දැනෙන සුවඳ මාව හැරදා ගිහින්. දවස් හයකට ම නින්ද හෝරා දහයකට වැඩි නොවුනට මං දොරෙන් එළියට අඩිය තිබ්බේ හරිම ප්‍රබෝධයෙන්. ඒ දෑස් වල කෝල බැලුම මං දිහාට නාභි ගත වෙනවා දැනෙනවා මැවෙනකොට නොසන්සුන් බවේ මදුරුවා කෑගන්න ගත්තා. ඒ අස්සෙන් දැනුණු වේදනාව යටපත් වෙලා තිබුණත් ලෝදිය හැලිය වගේ නටනවා තාමත්.
රබර් සෙරෙප්පු දෙක සනීපයි බූට් සපත්තු දෙකට වඩා. කකුල් සුදුමැලි වෙලා තැන් තැන් වල රුධිරය පිරී තිබුණත් හිතේ සහනය වුණු ඔයා මට ගෙන ආවේ ගතේද සහනයක්. ඒ ඉරිද මං බලන් හිටියේ එයා එනකන්. ඒ කෝල බැල්ම හැමදාම දෑසෙ ගැටුනත් මෙහෙම ඇවිදින්නේ මාසෙකට පාරක්. සරසවියේ එදා නිවාඩු දවසක්. ඉරිදා නිසා මටත් ලැබුණා නිවාඩුවක්.
හෝරා ගත වුනේ දින ගණන් වගේ. ඇය අවසානයේ මාව හොයාගත්තා. කාර්යබහුල බව අස්සෙ අපි දෙන්නා හිටියේ තනිවෙලා. පාක් ගානේ ගිහින් ටිකට් වලට ආලේ විකුණන්න අපි සූදානම් වුණේ නැහැ. මද්දහනේ ඉර අපිට විහිළු කරනකම්ම අපි නගරයේ හැමතැනකම ඇවිද්දා. අපි කතා කෙරුවා; සිනහා වුණා; තරහ වුණා ඒත් කඳුළු සැලුවේ නෑ, මොකද අපි දෙන්නම දැනගෙන හිටියා කඳුල උත්තරයක් වෙච්චි තැන් ගැන.
අපිට හැමදාමත් උරුම වුණේ දුක වුණාට අපි කතා කළේ සතුට ගැන. අපි කතා කරේ අපි වෙනුවෙන් සිහින දකින අයගේ සිහින සැබෑ කරන්න, එහෙම නෙවෙයි අපි ඔවුන් වෙනුවෙන් දකින සිහින සැබෑ කරන්න අපි කරපු දේවල් ගැන. ඔබ හිතනවා ඇති මේ ෆැන්ටසිමය ප්‍රේම වෘත්තාන්තයක් කියලා, ඔබ වැරදියි. අපි වාසනාවන්ත ප්‍රේමවන්තයෝ; අභව්‍ය ප්‍රේමවන්තයෝ.
අපි දෙන්නා හමුවුණේ අභව්‍යව. ඈ කොහෙන් කඩන් වැටුණාද දන්නේ නෑ. අපි දෙන්නගේ අදහස් ගොඩක් තැන්වල ගැලපුණා. ඒක නිසා විරසකභාවයනුත් ඉක්මනින් සමනය වුණා. ඈ මගේ හිත කියෙව්වේ පොතක් වගේ. ඒ තරම් අවබෝධයක් අපි අතර තිබුණා. අභව්‍ය බව හා වාසනාව අපිට පිහිට වුණේ එහෙමයි.
පහුගිය මාසෙම පවුල වෙනුවෙන් වියදම් වෙච්චි මොණර කොල තොගය අස්සෙන් මා ඈ වෙනුවෙන් එකක් දෙකක් ඉතිරි කර ගත්තා. ඒ එදා මද්දහනේ කුසටත් හැගීම් දැනීම් ඇතිවෙන නිසා. අපි දෙන්නා ගොඩ වුණේ සුපුරුදු අවන්හලට. කොත්තුවක මිහිරේ ගිලී ඉන්න ගමන් අපි දිගටම කතා කළා.
ඔය මොකක් කොහොම වුණත් මං තවම දන්නේ නෑ අපි දෙන්නට දෙන්නා ආලය කළාද කියලා. මං හිතන්නේ අපි අපේ අදහස් හුවමාරු කර කර ළගින් දැවටුණා විතරයි. ඒත් අපි ප්‍රේමවන්තයෝ,
දුක්බර ජීවිතයක සතුට විදපු ඒ දවස ගෙවුණේ උඹට සතුට අයිති දෙයක් නෙවෙයි කියන්නාක් වගේ. මං උදේ පහුකරද්දි පිපිලවත් නොතිබුණු මල් පරවෙන සුයාමයක ගේ අස්සට ඇතුළු වුණා. හී ගඩු පිපෙන හීතල නොතකා මං පීල්ලට ඇල්ලුණා. ඒත් දුකයි එයාලාගේ ආදරේ ඇග පුරාම තැවරිලා. වෙනදට කුණු අතුල්ලලා යවනවා වගේ යවන්න ලෝභයි. මං නාගත්තට ඒවා කොහේවත් ගියේ නෑ හිත අස්සේ අලුත උපන් බිළිදෙක් වගේ පිළිසිද ගත්තා.
අම්මා බෙදා දුන්නු බත් පත උගුරෙන් අමාරුවෙන් වුණත් පහලට යවාගත්තු මම කුකුළු නින්දට සැරසුනේ මධ්‍යම රාත්‍රී මුර වරුවට යන්නට හිතාගෙන. පාඩම් කරන්න කියලා මං උන්ට මැටි ගහලා හදා දුන්නු කාමරේ නංගි මල්ලි එක්කලා පාඩම් වැඩ. උංවත් ගොඩ යාවි මං නිසා කියලා හිතාගෙන සොදුරු මතක ගොන්නක් අස්සෙන් නිදි කුමරිය මට සමීප වුණා.
අම්මාගේ අඩ ගැසීමෙන් ඇහැරිලා රාත්‍රී මුරේට ගිය මම උදේට කොන්ක්‍රීට් අණන්නත් ගියේ පවුල පිටින් කොන්ක්‍රීට්වත් නැති පස් ගොඩක් යට ළගදිම යට වෙන්න වෙයි කියලා. දවස් හයක්ම ගෙවී ගියේ මේ හෝරා දෙකේ අඩ නින්දත් එක්ක. ඉරිදට ඇතිවෙන්න මං නිදාගත්තා. මාසේ එක සතියක් හැර.
මාංසපේශි බෑ කියලා අඩද්දි මං උන්ට තරවටු කළා. හැමදාම උන් ඇඩුවා. තරවටුව ගණන් නොගෙන. මං දැනගෙන හිටියේ තරවටුව මදි වෙලා අකාරුණික විදියට මට සලකන දවසකුත් ඒවි කියලා. මං පැතුවේ ඒ දවස මල්ලි රස්සාවක පිහිට ලබාගත් දවසක ලැබෙන්න කියලා. මං ඌ වෙනුවෙන් කරපු දේවල් ඌට අමතක නොවේවි කියල මං බලාපොරොත්තු වුණා. නිදහස කියන සුන්දර හැගීම මගේ හිතයට කරණම් හැමදාම ගැහුවා. කරනම වලක්වන්න වගකීම් රොත්තකින් මාව බැදලා තිබ්බේ.
දවසකට හරි නිදහස් වුණේ මාසේ අන්තිම ඉරිදට. හැමදාම මුණ ගැහුණු ප්‍රේමවන්තයින්ට තිබුණු ප්‍රශ්ණ අපිට තිබුණේ නෑ. අපි ගියේ ආදරේ හොයාගෙන. මොකද මං මුලින් කිව්වා වගේ අපි ප්‍රේමවන්තයෝ, අපි හෙව්වේ ආදරේ.
අපි විශ්වාස කළේ පිවිතුරු ආදරයක් ගැන නෙවෙයි. වින්දනීය ආදරයක් ගැන. අපිට ඕනි වුණේ අපි ගැන බලාකියාගන්න. හිතේ තියෙන සොදුරු හැගීම් පිටකරගන්න. මං හිතන්නේ අපි හැමෝම එහෙමයි, අපි හොයන්නේ විශ්වාස කරන්න කෙනෙක්, අපි ගැන හොයාබලන කෙනෙක්.
අපි ළංවුණේ ඒ තුලින් ගැඹුරට. ඒ ගැඹුරේ අපි කිමිදුණා. අපි දෙන්නගේ ආස්‍රයෙන් අපි සතුට හොයාගත්තා. ඒත් අපි ආලය කළේ නෑ හිත සනසගත්තා, මොකද අපි දෙන්නම ආලය කළේ එක්කෙනෙක්ට!!!!!