Skip to content

ඇතීනා - පරිච්ඡේදය 01

ඇතීනා - A image generated via dall-e
මේ මා විසින් ලියනු ලැබූ ප්‍රථම නවකතාව කොටස් වශයෙන් මෙම කතාව Getpeakonline හරහා පල වේවි. වෙබ් අඩවියේ කාර්‍ය මණ්ඩලයට බෙහෙවින් ස්තූතිවන්ත වෙනවා මේක පල කරන්නට මට ඉඩක් ලබා දීම වෙනුවෙන්. මම හිතනවා ඔබ මේ කතාව රස විදීවි කියලා. මම බලාපොරොත්තු වෙන්නේ සතියකට කොටස බැගින් මේ කතාව ලබාදෙන්න. ඇතීනාගේ කුහුල දනවන විකාරකාරී ලෝකයට අපි ඇතුළු වෙමු: ඇගේ දිවියට  එන කරදර හදුනගමු. ලූපීය ජීවිතයකට හිමිකම් කියන ඈගේ අමුතු දිවිය හා බැදෙමු.
ඇතීනා
කැරකෙන සුක්කානමේ කුවණ්ණා.......

ඒ සූර්‍යයා තම සියලු ශක්තීන් පිට කරන්නා වූ මධ්‍යහ්න හෝරාවයි. සීත සුළං රැලි වැහි බිදු හා එක්ව උණුසුම පලවා හැර තිබිණි. වළා තීරු මුළු අහසම සුදු පිරුවටයකින් ආවරණය කර ඇත. වෙනදාට නැගෙන නාදයන් අභිවබවමින් දැන් කිරුලු දරන්නේ මූසල වූ නිහැඩියාවකි.

උදේ සිට කඩාහැලුණා වූ ජල කද මැටි පාර දිගේ පහලට ගලා එයි. කුඩා පින්නක් හැරුණ විට මැටි පාර දිගේ එන දිය පාර පෝෂණය කරන්නට වෙන කිසිවක් ඉතිරි නැත. දියපාර මග හරිමින් කුඩා දරුවෙකුද කඩමාල්ලක ඔතාගෙන මැටිපාර දිගේ ඉහලට නැග්ගේ ගැහැණියකි.

මැටිපාර සර්පිලාකරය. එය කන්ද වටේ යමින් ඉහළට ගමන් කරයි. පාර හැරුණ විට කන්ද පෙනෙන්නේ කොළ පැහැයෙනි. ඒ තේ දළුවල ආනුභාවයෙනි. තේ අතු පැමිණ මාර්ගය දෙපැත්තෙන් අවහිර කිරීමට තැත් කරයි. පාර දිගේ දිය පහරක් ගලා එයි. පින්න හා සුළග ගෙන ආ සීතලද අපමණය.

මැටි පාර දිගේ යන විට ඇයට සිහි වූයේ මීට අව්රුද්දකට පමණ ඉහතදී තේ ගස්වලට තම දහදිය පොහොර ලෙස සපයන්නා වූ ප්‍රදේශවාසීන්ගේ යටහත් පහත් ආචාරයයි ; කරුණාවන්ත සුභ පැතීමයි ; ආදරණීය බැල්මයි. අද වර්ෂාව ඔවුන්ව ගෘහාශ්‍රිත කර ඇත. දැන් ඔවුන් ඇය දෙස බලන්නේ කෙසේද? ඔවුන් විශ්වාස කරන්නේද සමාජයම ඇය වෙනුවෙන් කර පින්නාගත් දෝශාරෝපන මාලාව වෙන්න ඇති. ඔවුන් අහිංසක සේම ඔවුන්ගේ ක්‍රෝධය ඇය දැක ඇත. ඔවුන් ඇයව දුටු විට ඇයට කුමක් කරන්නට ඔවුන් උත්සාහ කරාවිද? ඒ ඈ සිත ඇති වූ පැනයකි. ඔවුන් ඇයව පිළිගත්තේද ඇයට ගෞරව කලේද ඔහු නිසායි. ඇගේ සිත කියයි.

ඇය නමින් ඇතීනායි. ඈ අත කඩමාලු රෙද්දක ඔතාගෙන ලැමට තුරුලු කරගත් දරුවෙකි. අනෙක් අත තිබුනේ කුඩයකි. සීතල නිසාවෙන් ඈ දරුවාවද කුඩයද තමා දෙසට ගෙන උණුසුම සපයා ගන්නට උත්සාහ කරමින් ගමනේ යෙදෙන්නට විය. ඇද සිටි සාය හා හැට්ටයට අමතරව ඇගේ හිස හා මුහුණේ කොටසක් ආවරණය කරගන්නේ රෝස පැහැ නමුත් පැහැය වියැකී ගිය රෙදි කැබැල්ලකිනි. ඈ උත්සාහ කලේ තම අනන්‍යතාවය වසන් කරගෙනම තම අනෙක් දරුවාද රැගෙන මේ පෙදෙසින් ඈත් වීමටයි. අද දින ඔහුගේ මව නිවසේ නැතිව ඇති. ඈ තේ ෆැක්ටරියට යන්නට ඇත. ඇගේ සිත කියයි. අනෙක නම් මේ සීතලේ කවුරුවත් නිවසේ හෝ මාර්ගයේ නැතිව ඇති. දරුවාව රැගෙන පිටව යාමට අද දිනම පැමිණීම ගැන ඇගේ සිතේ කිසිම පසුතැවීමක් එබැවින් තිබුනේ නැත.

ඇතීනා හුරු පුරුදු පෙදෙසට ලං වෙමින් සිටියාය. මැටි පාරෙන් ඇතුලට දෙපැත්තෙන් වැවුණු ක්‍රෝටන් වැට අතරින් ඇය ඇතුලට ඇදුනාය. ඒ ක්‍රෝටන් බඩවැටිය වුවද ඈ සිත නලියවන්නට විය. පාද වෙවුලවන්නට විය. තවත් දුර අඩිය තබන විට ඒ අවාසනාවන්ත සිද්ධියට සම්බන්ධ දොළ පාරට යන අඩි පාරද දිස් වන්නට විය. ඇගේ සිරුර එතැනම අගුල් වැටී නවතින්නට තැත් කලාය. අඩි පාරට හැරෙන තැන වූ මහා මාර ගස ඇයට එතැනම නවතින්නට අණ කරන්නා සේය. මහා සුළං පහරට එය වියරු වැටී මෙන් වැනෙන්නට විය. සිතට සවිය ගෙන පාදයට ජවය ගෙන දරුවා හා කුඩය සුළං පහරින් බේරා ගෙන ඇය තව දුරටත් ඉදිරියට ඇදෙන්නට විය.

ගෙමිදුලට වැටෙන වැහි බිංදුවලින් වැලි හෑරී ඒ වැලි කැට ඇතීනාගේ පාදයට විසි වන්නට විය. කලු පැහැ සෙරෙප්පුවලට හා දිගු සාය අතර ඇත්දත් පැහැ පාදයට වැදුණු වැලිවල පැහැයන්වල වෙනසක් පෙනුනේ නැත. ඒ අවස්තාවේ ඒ පාදය ගමන් කලේ නැත. පාදය බාධා රහිතවම වැලි කැටවලට සතුටින් තමාව වැලද ගන්නට අවස්තාව ලබා දී නැවතී සිටින්නට විය.

නමුත් ඇතීනා සිටියේ දුර ගමනක යෙදෙමිනි. ඇගේ දෑස් නිවස වටා ගමනක යෙදෙමින් පැරණි මතක අවුස්සමින් සිටියේය. ඇයට කුමක් වූවාදැයි නොතේරේ. ඈ එම ස්ථානයේම ගල් වූවා සේ සිටියාය. ඇස් බොහෝමයක් ඈව වස්තු බීජය කරගෙන සිටි බවත් ඇයට නොදැනුනාය. ඇස් හිමියෝ සැරසී සිටියේ සුදු පැහැ වස්ත්‍රයෙනි. ඔවුන් නිවස ඉදිරිපිට සාදා තිබුණු තාවකාලික මඩුවේ හා පිල් කණ්ඩියේ අසුන් ගෙන සිටියහ.

ඒ පිරිස අතර සිටි එක්තරා කාන්තාවක් බත්පතද අතේ තබාගෙන මඩුවේ වැහි බිදු නොවැටෙන සීමාවේ සිට ඇතීනාව ඇමතුවාය. කිහිපවරක් ඇමතූ විට ඈ දැහැන බිදගත් සෙයක් දැකගන්නට ලැබිණි. ඇගේ දෑස් කලබලය , බිය ආදී විවිධාකාර හැගුම් රැසක් පෙන්නුම් කරමින් සිටියාය. නමුත් සිරුර තෙක් ඒ හැගීමවලට ඇදී යාමට ඈ අවස්ථාව ලබා දුන්නේ නැත.

"මේ කවුද? කාවද හොයන්නේ?" කාන්තාවගේ පැනයයි.

ඇතීනා ඒ කාන්තාව හදුනා ගත්තාය. ඇය තමන්ව හදුනා ගත් හා නොගත් සීමාවේ සැකයකින් යුතුව බලා සිටින බව ඇතීනාට දැනිනි. ඇතීනා දරුවාව ලැමට තදින් තුරුළු කරගත්තාය.

"මෙතන මොකද වෙන්නේ?" ඇය ඇසුවේ කටහඩ වෙනස් කරන්නට උත්සාහ දරමිනි. නමුත් උත්සාහය සාර්ථක නොවූ බව ඇයද දනී.

කාන්තාව උනදුවෙන් ඇතීනා දෙස බැලුවාය.ඇතීනා මුහුණ හංගා ගන්නට උත්සාහ දැරුවාය. ඈ මෙතැනින් පැන යන ආකාරයක් ගැන සිතමින් උන්නාය.කාන්තාවට පිලිතුරක් දෙන්නට අවශ්‍ය වූයේ නැත. නිවෙස තුලින් මහලු කාන්තා හඩකින් නැගුණු කෑ ගැසීමක් ඇසෙන්නට විය.

"ඇතීනා !"

ඇතීනා පසු බසින්නට විය. ඈ පය ගෙන අනෙක් පසට හැරී වේගයෙන් ඇවිද යමින් එය දිවීමක් බවට පරිවර්තනය කර ගැනීමට උත්සාහ කරමින් උන්නාය. නමුත් සියල්ල ව්‍යර්ථ කරමින් මහා මාර ගස හා එක්ව ඇගේ පය අගුලු ලෑමට පෙර කියූ කාන්තා කටහඩට හැකි විය.

"ඇතීනා ඔහොම නැවතියන්!"

එය විධානයකි වර්ෂාව මෙතරම් කෲර ශබ්දයක් නිකුත් කළ ද එය අභිබවා යාමට තරම් ඒ කටහඬ ශක්තිමත් විය. ඇතීනා සෙමෙන් අනෙක් පසට හැරුණා ය. ඒ ඇය බලාපොරොත්තු වූ චරිතය යි.

"අම්මේ...…" ඒ කෙඳිරිල්ලකි. වර්ෂාවේ හඬ අභිබවන්නට එය අසමත් ය.

මුලින්ම ඇතීනා වෙත තම දෑස් යෙමූ කාන්තාව, ප්‍රේක්ෂක ප්‍රජාවේ තුෂ්නිම්භූත බව බිඳ දමමින් කතා කරන්නට විය.

" පුරුද්දක් දැනුනට මට හිතුනෙම නෑ සුමනක්කේ මේ පරට්ට බැල්ලී මෙහෙ ඒවි කියලා."

මේ සුන්දර සිනමාමය දෙබස් හා සිදුවීම් නරඹමින් සිටි ප්‍රේක්ෂක ප්‍රජාව ද තත්ත්වය පිළිබඳව අවබෝධය ලබමින් සිටියහ. ඔවුන්ගේ කුණු කුණු ගෑම මී මැසි ගුමු ගොමුවක් ලෙස ආරම්භ වී බලු රෑනක ගේ බිරීමක් තරමට තීව්‍ර වෙමින් තිබිණි. ඔවුන් තම අත රැඳි බත් පතද හිද උන් පුටු හා පිල මත තබමින් නැගී සිටියහ. සමහරෙක් තවමත් හිද සිට සිද්ධිය නැරඹුවද, අනෙක් අය 'සුමනා අක්කා' ලඟින් සිටගෙන ඇතිනාට බැන වදිමින් සිටියහ. ඔවුන් මඩුවෙ වැහිදිය ඇදහැලෙන සීමාවේ සිටගෙන අතපය දික්කරමින් ප්‍රබල වාග් ප්‍රහාර එල්ල කළහ.

එම පිරිසේ බොහෝමයක් කාන්තාවන් වීම එක් පසෙකින් වාසනාව ලෙස ඇතිනා සැලකුවා ය. කිමද යත් පුරුෂ ප්‍රජාව මෙයට මූලික වූවා නම් ඇයගේ සැමියා හා ඔවුන් අතර වූ සහෝදරකම අනුව තත්ත්වය බරපතළ වනු ඇත. දැන් වුවද තත්ත්වය බරපතළය. සහජ ඉව ඇගේ පාදය පසුපසට ගෙන ගියේය. ඇයට අවශ්‍ය වූයේ ගැටුමකින් තොරව මෙතනින් ඉවත් වීමටයි.

සුදු හැදි පිරිස අතරින් වාග් ප්‍රහාර හා සමගාමීව ගල් පහරකුත් එල්ල වූයේය. ඒ ප්‍රහාරය වැළද ගත්තේ ඇතීනාගේ නලලේ වම් පස ප්‍රදේශයයි. එසැනින් ඇය අනෙක් පස හැරී දරුවාව තදින් තුරුළු කර ගත්තාය. පාද අතර චලන වේගයද වැඩි කරගත්තාය. දාරක ස්නේහය ඈ අත රැදි කුඩයද අත හැරි බව ඇයට අමතක කළාය. ඈ දුවන්නට විය. වර්ෂාවේ තද බව ඇයට අමතකය. නළලෙන් ගලා ආ රුධිරය ජලය හා එක්ව ඈ හැද සිටි ඇදුම් රත් පැහැයෙන් පින්තාරු කරන්නට විය. මුහුණ හරහා වැටෙන රුධිරය හා එක්වූ ජල බිදීති සිගිත්තාගේ කුඩා සිරුරද සිප ගන්නට විය. මේ කිසිවක් ඇගේ මනසට සම්ප්‍රේෂණය වූයේ නැත. මනස ඇයට කීවේ 'අනතුරක් දුවන්න....' කියා පමණකි. හදවත ඇයට දරුවාවද සිහි කළ බැවින් ඇගේ දෙඅත් දරුවාව තදින් ග්‍රහණය කරගෙන තිබිණි.

ඇයට දිවීමට හැකි වූයේ මහා මාර ගස අසලට පමණි. මෙවර ඇගේ පා අගුළු දැමුවේ මාර සේනාවකි. ඇයව අල්ලාගෙන සිටිද්දී මාරක නමුත් මුඛරිමය ලෙස ප්‍රහාර එල්ල කළේ පෙර කියූ පිරිසේ එතැන සිටි සුළුතරය වූ පුරුෂ ප්‍රජාවයි. දරුවා අත සිටි නිසාදෝ ඔවුන් වැඩි හානියක් නැතිව ඇයව මඩුව අසලට කැදවා ගියහ.

ඇතීනාට නම් එය ඉතාමත් නීරස අත්දැකීමකි. ඔවුන් ඇයව ඇදගෙන යද්දී කියූ දේවල්වලින් අඩක්වත් ඇයට තේරුණේ නැත. නමුත් ඔවුන් ඇයට ශාප කල බව නම් ඇයට සක්සුදක් සේ පැහැදිලිය. මෙවන් වදන් කණ වැකීමට ඇගේ පියා කුඩා කල නම් ඉඩක් තැබුවේම නැත. නමුත් ඔහු..... ඇය ඒ ගැන සිතීමට සූදානම් නැත. ඔහුගෙන් පසු ඇයගේ අයිතිය ගත් පුරුෂයා නැතිනම් ඇයගේ සැමියා ගැන සිහි කිරීමට ඊට වඩා ඇය කැමතිය. ඔහු හා පැමිණි පසුවද කුණුහරුපයක් ඇගේ සවන් වැකුණේ එක් වරක් පමණි. ඒ සිහි කිරීම් ඇගේ මුවට මදහසක් මුහු කිරීමට සමත් විය. නමුත් කුණුහරුප පිළිබද ඇගේ දැනුම වර්ධනය කිරීමට පසුගිය වර්ෂය පුරා වූ සිදුවීම්වලට හැකි විය.

මඩුවෙන් ඇයව ඇතුළු කළ විට කාන්තා පාර්ෂවයේ විරෝධතා ඊට වඩා කුරිරු බව ඈ තේරුම් ගත්තාය. එක් කාන්තාවක් ඇගේ හිස වටා රැදි රෙදි කැබැල්ල ඉවත් කළාය. ඔවුන් ඇගේ මුහුණ දෙස හොදින් බැලූහ. එක් අයෙක් මුහුණට කෙල පහරකුත් ගැහුවාය. තවත් කාන්තාවක් ඇගේ මුහුණ දෙස නපුරු වෙසකින් බලා දරුවා දෙසද බැලුවාය. ඈ දරුවාව උවමනාවෙන් නිරීක්ෂණය කරන බවක් පෙණිනි.

"පොඩි එකා නිමල් වගේමයි. හාමුදුරුවෝ කීවා හරි. මේකි වේසියක්" දරුවා දෙස උනන්දුවෙන් බැලූ කාන්තාව අන් අයට දැනුම් දුන්නාය.

ඇතීනාට ඊට එරෙහි වන්නට තරම් සවියක් ඉතිරිව තිබුණේ නැත. ඇය කතා කරන්නට උත්සාහ කළාය. නමුත් හඩක් නම් පිටවූයේ නැත. දිව අගුල් වැටී ඇති සෙයකි. දෑසග කදුලු කැට, ජල බිදු හා රුධිරයත් සමග එක්ව වේගයෙන් කඩා වැටෙන්නට විය. 'ඈ මිනීමරුවෙක් පමණක් නොව අන් සැප සොයා යන ගණිකාවකි.' මේ අධික කම්පනය දෑස පියවී බිමට වැටෙනවාවත් ඇයට දැනීමට ඉඩ නොතැබුවාය.

මහා වර්ෂාව අඩු වූ සෙයකි. ඇතීනා පිල් කණ්ඩිය මත හාන්සි කර ඇත. පිලේ අනෙක් පසට වන්නට 'සුමනා අක්කා' දරුවෙකු වඩාගෙන සූප්පුවකින් කිරි පොවමින් උන්නාය. දරුවාට සූප්පුවකින් කිරි බී හුරු නැති සෙයකි. පෙර සිටි පිරිස නිවසෙන් පිටත්ව ගොස් ඇත. කිහිපදෙනෙක් පමණක් නිවෙස තුල ඉතිරි වී ඇත.

අප මේ කියන අවස්ථාව වනවිට යාන්තමින් අව් රැල්ලක් පායා දේදුන්නක රූසිරි මවමින් තිබිණි ඇතිනා දෑස විවර කර ප්‍රකෘති සිහියට පැමිනෙමින් සිටියාය. හිසේ වූ තුවාලය රත් පැහැයෙන් දිලිනි. කවුරුන් හෝ එය පිරිසිදු කර ඇත. ඇගේ ඇස් රත් පැහැ ගැන්වී ඇත. රත් පැහැ සුන්දර මුහුණ සුදුමැලි වී තිබිනි. ඈ හැඳ සිටි ඇඳුම් රතට හුරු තීන්තවලින් තැනින් තැන පොඟවා ඇති සෙයකි.

"ඇයි උඹ ආවේ?" සුමනා ඈ දෙස නොබලමින් ඇසුවාය.

ඇතීනා තවමත් තුෂ්නිම්භූත බවින් අන්ධභූත වී සිටියාය. "ආ...." ඇයට කියවිනි. ඇය පිල් කණ්ඩියේ හිඳ ගනිමින් සිටියාය.කරකැවිල්ල හා හිසේ රුදාව එක්වූ අපහසුතාවක් දැනී පිල උඩ වැටෙන්නට ගිය ද නැවතත් වාරු වී හිඳ ගැනීමට ඈ සමත් විය.

"ඔය කවුරු හරි මට බත් ටිකක් බෙදාගෙන වරෙන්....." සුමනා කෑගසා කීවේ නිවස තුළ සිටින කාට හෝ ඇසෙන පරිදි යි.

"මං ඇහුවේ ඇයි උඹ ආවේ කියලා" මෙවර අඩු ශබ්දයකින් යුතුව වුවත් පැහැදිලිව ,අවධාරණය කරමින් ඈ ඇතීනාව ප්‍රශ්න කළාය.

"මගේ දරුවාව අරන් යන්න" මෙවර ඇතීනා අපැහැදිලිව පිළිතුරු දුන්නාය. ඈ සිටියේ හිස පහත් කරගෙනයි. පැතිර ගියෙ නිශ්ශබ්දතාවයකි. එය ඇතිනාට නම් දරා ගන්නට අපහසු නිහැඬියාවකි.

"මං එයාව මැරුවෙ නෑ." ඈ නැවතත් කතා කළාය.

නිවස තුළ සිට පැමිණි කාන්තාවක් පිඟානකට බත් හා මාළු පිනි කිහිපයක් බෙදා ගෙන පැමිණ එය සුමනා දෙසට පෑවාය. ඈ එය ඇතිනා ට ලබා දෙන ලෙස සන් කළාය.

" නැන්දා මේ කරන විකාර තේරුම මොකක්ද මිනීමරුවන්ට කන්න බොන්න දිදී." පැමිණි කාන්තාව පිඟාන පිල් කණ්ඩිය මතට දමමින් කෑගසන්නට විය. "මේකි තමයි වේසකමේ ගිහින් ඒ වැරැද්දට අහිංසක අයියව මැරුවේ, නැන්දා ඒ මදිවට ඒ වේස පැටවු බලාගන්නත් ලෑස්ති වුණාද?" සුමනා කතා කළේ නැත. කාන්තාව පිඟාන පිල මතට දමා ඇතිනට ඔරවමින් නිවස තුළට යන්නට විය. ඇතීනාගේ දෑසින් නැවතත් කඳුළු කැට බේරෙන්නට විය.

"මං නෙවෙයි එයාව මැරුවේ" ඇ දෑතින් හිස බදාගෙන කෙඳිරි ගාමින් කියන්නට විය.

"මාත් විශ්වාස කළේ නෑ උඹ ඒක කළා කියලා ඒකයි උබට විරුද්ධව සාක්ෂි නොදුන්නෙ" සුමනා දිගටම කතා කරන්නට විය. "අර නිමල් කියන කාලකණ්ණිය තමයි ඕක කරන්න ඇත්තේ උඹට ගල් පාරක් වැදිලා තියෙනවාත් මං දැක්කා."

"ඉතින් ඇයි මාවම" ඇතිනා කඳුළු සලමින් ඇසුවා ය.

"අපේ හාමුදුරුවෝ ගමේ උන්ව විශ්වාස කරනවා වැඩියි. මං කිව්වට වැඩක් නෑ."

"මට ආරංචි වුණා අයියත් මහණ වුණා කියලා"

ඇය සුමනා ගෙන් මීට වඩා ප්‍රතිරෝධයක් බලාපොරොත්තු වූවාය. නමුත් ඇයගේ නිමල් වෙත තිබුණු විරෝධය හා ඇතීනා කෙරෙහි වූ විශ්වාසය හා ආදරය, ඈ සිත තුළ සමාජය පිළිනොගන්නා වෙනත් කතාවක් නිර්මාණය කර තිබිණි. නිමල් හා ඇයගේ සැමියා අතර වූ දබරය, ඒ බිහිසුණු සිද්ධියට දින කිහිපයකට පෙර සිදු වූවා ඈට තවමත් මතකය. එය සුමනාව වෙනස් කිරීමට සමත් වී ඇත. ඉන් අනතුරුව නිමල්ව සිරගෙදර වෙත පිටත් කළේ ද මේ හේතු පාදකවයි.

ඒ කෙසේ වෙතත් සුමනා යනු ශක්තිමත් කාන්තාවකි. සමාජයට අභියෝග කරමින් ඒ තුළ ශක්තිමත් ප්‍රතිරූපයක් ගොඩනගා ගත්තෙකි. දරුවන් කුඩා කල ම සැමියාව අහිමිව, ඔවුන්ව උස් මහත් කරන්නට උත්සාහ ගත්, එම උත්සාහය ජයගත් දිරිය මාතාවකි ඈ. අහිමිවීම් රැසකට මුහුණ දී කඳුළු නොසලා ඒවා විඳ දරා ගත් කාන්තාවක් ලෙසත් ඇයව ඇතිනා හැඳින්වූවාය.

ඇතිනාට සිද්ධියේ සත්‍ය තත්ත්වය පහදා දිය හැකි නමුත් එය වුවමනාවෙන්ම බඹර කූඩුවකට හිස ඔබන්නකි. එබැවින් ඇතීනා තම නිර්දෝෂී භාවය වෙනුවෙන් කපටි වන්නට කල්පනා කළාය. එය සහජ ලෙස වූ බුද්ධි හැසිරීමක් වන්නට ඇත. ඇති වී තිබුණේ නිහඬතාවයකි. කඳුළින් බර දෙනෙත් පිස දමා ගත් ඇතිනා බර හුස්මක් ගත්තාය.

"මට දරුවාව දෙනවද?" සුමනා ක්ෂණිකව ඇතීනා දෙස බැලුවාය.

"මගේ එකා මතක් වෙන්න මට එච්චරමයි තියෙන්නේ.... උඹ ඒකත් අරන් යන්න ද හදන්නේ?" ඇගේ දෑස් යාන්තම් තෙත් වී ඇති සෙයක් පෙනේ. ඒ මඩුවේ ඇති කහ පැහැ සූත්‍රිකා බල්බ එළියෙනි. තවම සවස් වී නැතත් වැහි අඳුර පලවා හරින්නට එය උදව් විණි.

ඇතීනා ට අවශ්‍ය වූයේ දරුවාව රැගෙන මේ ප්‍රදේශයෙන් ඉවත් වී යන්නටයි. ඇයට මේ මහලු දෑස් බාධා කරයි. ඇයට කෑගසා මහලු හදවතට රිද්දන්න ට අවශ්‍ය විය. නමුත් මහලු හදවත හා යාවූ ඇගේ තරුණ හදවත එයට බාධා කරයි. මෙම අවස්ථාවේ වුව ගමක් විරුද්ධ වුවත් ඇය, ඇය වෙනුවෙන් සිටගත් හැටි. කරුමයක මහත! තරාදිය අනෙක් පස දාරක ප්‍රේමයයි. ඇතිනා දෙලොවක තනි විය. කුමක් කරන්නද? මේ ඇය ජීවිතේ දැනට ගත් අපහසුම තීරණය විය. ඔහු හා හාද වී මාපියන් හා තරහ වී ආ විට වත් මේ තරම්ම පීඩනයක්, දුකක් ඇයට දැනී නැත.

ලොවක් එරෙහි වූ මොහොතක ඇයත් එරෙහි වූවා නම්, ඇය තමන්ව මෙසේ පිළිගැනීමම මියෙන තුරාවට සැනසිල්ලකි. දරුවාට කරදරයක් නොවනු ඇති. ඇය දරුවව ආදරයෙන් රැක ගනිවි. ඇතිනාට වුව දරුවා රැක ගැනීම අපහසුය. ඈට ගත හැකි වූ හොඳම තීරණය එය නම්, එය එසේ වුනාවේ! නමුත් දරුවා නැතිව, තීරණය අපහසුය. ඇතීනා තවම කල්පනාවේ වෙලී සිටි. සුමනා නැවත කතා කරන්නට විය.

"උඹ දන්නවද? ඕන සංවේදී දේකට හේතුවක් ළගින් ඉන්නකොට ඒක දරාගන්න අමාරුයි. ඒත් ඒක දරාගන්නකොට එන වේදනාව අපිට ලංවෙන තරමට ඒක මිහිරි වෙනවා."

Latest