Skip to content

කතරෙහිත් මල් පූදිනු හැකිද​? සුන්දර ​Atacama කාන්තාරය පිලිබදව තොරතුරු බිදක්.

කාන්තාරයක් කියූ පමණින් ඔබගේ මනසට යොමු වන්නේ කුමන ආකාරයේ දර්ශණයක් ද​?

ගහකොළවලින් තොර වූ දුහුවිල්ලෙන් වැසී ගත් ශුෂ්ක වූ බිමක් නේද​? අටකාමා කාන්තාරය කියන්නේත් එවන් වූ ශුෂ්ක භූමියක් ලෙස හැදින්වීම නිවැරදියි. සමහර ප්‍රදේශවලට වසරකට මිලිමීටර 1ක ටත් වඩා අඩු වර්ෂාපතනයක් ලැබෙන පෘථිවියේ වියළිම ස්ථානවලින් එකක් ලෙසද හැදින්වීමට පුලුවන්. කෙසේ වෙතත් වසර කිහිපයකට වරක් අපූරු සංසිද්ධියක් මෙම කාෂ්ඨක පොළොව තුල සිදු වනවා. ඒ කාලාන්තරයකින් ඇද හැලෙන වර්ෂාවකින් මලින් ගහණ වූ සුන්දර පාරාදීසයක් බවට මෙම කාන්තාරය පරිවර්තනය වීම​.​

උතුරු චිලී හි පිහිටා ඇති මෙම කාන්තාරයේ බොහෝ කදු සම්පූර්ණයෙන්ම ග්ලැසියර වලින් තොර බව සදහන්. ඒ මෙහි පවතින අධික උණුසුම් බව නිසාමයි. යම් ආකාරයකින් හෝ ස්ථිර හිම ආවරණයක් ඇත්තේ එහි පිහිටා ඇති උසම කදු මුදුන් වල පමණි. අටකාමා කාන්තාරය වැසි සෙවණැල්ලක පිහිටන්නක්. එහි අදහස වන්නේ පැසිෆික් සාගරයෙන් තෙතමනය ලබා ගැනීම ඇන්ඩීස් කඳුවැටිය මගින් අවහිර කර ඇති බව වන අතර​ කෙසේ වෙතත්, එල් නිනෝ කාලගුණ රටාව (El Niño weather pattern) ඇති වූ විට, පැසිෆික් සාගරය උණුසුම් වන අතර, එය වායුගෝලය වඩාත් තෙත් වීමට හේතු සාධකයක් වනවා. මෙම වැඩි වන​ ආර්ද්‍රතාවය හේතුවෙන් අටකාමා කාන්තාරයට වර්ෂාපතනය ලැබෙන අතර එය කාන්තාරය මලින් වැසී යාම සදහා වන ප්‍රධාන ප්‍රේරකය බවට පත් වේ.

කෙතරම් ශුෂ්ක බවකින් යුක්ත වූවද කලාතුරකින් හටගන්නා වර්වකින් මෙවන් නේක වූ මල් පීදීම සදහා හේතු පාධක වන කරුණු ඇත​. එනම් කාන්තාරයකට පතිත වන අධික වර්ෂාවක් හේතුවෙන් දශක ගණනාවක් නිද්‍රාශීලීව පවතින ශාක බීජ නැවත ජීවය ලබා සරුසාරව පැලවී ඒවායේ මල් හට ගැනීම දක්වා වන ස්වභාවික දේශගුණික සංසිද්ධියයි. අටකාමා කාන්තාරයේ පිපෙන බොහෝ ශාක භූගෝලීය ශාක වන අතර එයින් අදහස් කරන්නේ ඒවා වියළි තත්වයන් යටතේ ජීවත් වීමට අනුවර්තනය වී ඇති බවයි. භූගෝලීය ශාක (Geophytes) ඔවුන්ගේ මුල්වල හෝ පත්‍රවල ජලය ගබඩා කරගනු ලබන අතර ඒ හේතුවෙන් ජලය නොමැතිව දිගු කාලයක් අක්‍රියව පැවතීමේ හැකියාව පවතියි. එම හේතු කාරකය නිසාවෙන්ම වැසි වැටෙන විට, භූගෝලීය ශාක ඉක්මනින් පැළ වී මල් හට ගැන්ම සිදු වේ.

ලෝකයේ වඩාත්ම ජෛව විවිධත්වයකින් හෙබි ස්ථානයන්ගෙන් එකක් වන මෙම අටකාමා කාන්තාරයේ සුන්දරත්වය විද ගැනීම සදහා මල් පූදින කාලයට සංචාරකයන් නන් දෙසින් රොද බැදෙති. මෙම සුන්දර වූ පරිසර පද්ධතිය ආරක්‍ෂා කර ගැනීම වෙනුවෙන් අදාළ බලධාරීන් විසින් සිය අවධානය යොමු කර ඇතැයි ද සදහන් වේ.

මී මැස්සන්, සමනලුන් සහ hummingbirdsලාගේ නිවහනක් වන අටකාමා කාන්තාරයේ, එහි සුන්දරත්වයට දායක වන මෙම​ පරාග වාහකයන් එක් මලක සිට තවත් මලකට පරාග පැතිරීමට උපකාරී වන අතර එමඟින් ශාක ප්‍රජනනයට ඉඩ සලසයි. සාමාන්‍යයෙන් මෙම මල් පීදීම් වසර තුනකට වරක්, පහකට වරක් හෝ දහයකට වරක් සිදු වනු ලැබේ. ඒ අනුව බලන විට 1991, 1995, 1997, 2000, 2002, 2015, 2017, 2022 වසරවල මෙම දුර්ලභ වූත් අපූර්ව වූත් ස්වභාවික සංසිද්ධිය සිදුව තිබේ.

Atacama කාන්තාරය මල් යායක් වීම සැබවින්ම දර්ශනීය වූ දසුනකි. එය ඉතාම ආන්තික පරිසරයක පවා ස්වභාවධර්මයේ රදා පැවැත්මේ හැකියාව පෙන්වන අපූර්ව සාක්‍ෂියකි.

Latest