Skip to content

ඩොලරයේ වටිනාකම පහළ යාමට සමගාමීව ඖෂධ මිල පහලට.

ඩොලර්යේ වටිනාකම අඩු වීමට සාපේක්ෂව ඖෂධ මිල ඉදිරි සතියේ දී 10-15 % ප්‍රමාණයකින් අඩු කිරීමට හැකි වෙතැයි අපේක්ෂා කරන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පැවසීය.

ඖෂධ මිල අඩු කළ හැකි ප්‍රමාණය සම්බන්ධව මුදල් අමාත්‍යාංශය හා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ගණාකාධිකාරි අංශය සාකච්ඡා ආරම්භ කර ඇතැයිද ඒ මහතා කීය.

ජත්‍යන්තර හෙද දිනය නිමිත්තෙන් පොල්ගොල්ල මහින්ද රාජපක්ෂ ශ්‍රවනාගාරයේ දී පැවැති ජාතික උත්සවයෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඇමැතිවරයා මේ බව පැවසුවේය.

ඩොලරයේ මිල ඉහළ යෑමත් සමඟ ඖෂධ මිල සැලකිය යුතු අගයකින් ඉහළ ගිය බවත් ඩොලරයේ අගය පහත වැටීමේ වාසිය ජනතාවට ලබා දීමට සෞඛ්‍ය අමාත්‍යාංශය සෑම විටම උත්සහ කරන බවත් හෙතෙම අවධාරණය කළේය.

ඖෂධ අළෙවි කිරීම සඳහා ගබඩා කර තැබෙන වෙළෙඳ සැල් අනිවාර්යයෙන්ම වායු සමීකරණය කර තිබිය යුතු බවත් මේ නිසා ඉතා ඉහළ විදුලි බිලක් තමන්ට දැරීමට සිදුවන බවත් ඖෂධ අළෙවි කරුවෝ පෙන්වා දෙන බවත් පැවසූ ඇමැතිවරයා ඖෂධ මිල අඩු කිරීමේ දී මෙම කාරනා සම්බන්ධව ද අවධානය යොමු කළ යුතුව තිබෙන බවද අවධාරණය කළේය.

රජයේ රෝහල් වල පෞද්ගලික වාට්ටු ආරම්භ කිරීමේ වැඩපිළිවෙළ කඩිනමින් ක්‍රියාත්මක කරන බවත් ඒ දෙස ධනාත්මකව බලා අදහස් හා යෝජනා ඉදිරිපත් කරනු වෙනුවට ඇතැම් පිරිස් දේශපාලන හා වෙනත් වුවමනාවන් මත පදනම් විරහිත විවේචන ඉදිරිපත් කරන බවත් රඹුක්වැල්ල මහතා කීය.

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ කාර්ය මණ්ඩල හිගය මධ්‍යයේ වුවද ඩෙංගු මර්දනය කිරීමේ අභියෝගය භාරගෙන ඇති බව සඳහන් කළ අමාත්‍යවරයා කියා සිටියේ පසුගිය වසරේ ඩෙංගු රෝගය හේතුවෙන් 76 ක් මරණයට පත්ව ඇති අතර මේ වසරේ මුල් මාස හය තුළ පමණක් 22 කු මරණයට පත්ව ඇති බවය.

කෙසේ වුවද වෙනත් අමාත්‍යාංශවලට පනවා ඇති සීමාවන් ලිහිල් කරමින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ පුරප්පාඩු පිරවීම උදෙසා ජනාධිපතිතුමාගේ උපදෙස් මත මුදල් අමාත්‍යාංශය අනුමැතිය දී ඇති බවත් ප්‍රමිතියෙන් තොර ඖෂධ ගෙන්වීම සම්බන්ධයෙන් මේ වෙනවිට විමර්ශන ආරම්භ වී ඇති බවක් අමාත්‍යවරයා වැඩිදුරටත් කීය.

Latest