Skip to content

අරුවක්කාළු කසල අංගනයේ සල්ලි ගිල්ලේ කව්ද?

කාලයෙන් කාලයට අප රට තුළ විවිධ පුවත් මැවෙන්නේය.වර්තමානයේ නම් දේශපාලන බල පෙරළි,අරගල,විරෝධතා මෙන්ම විවිධ නම් වලින් ස්ථාපනය කර ඇති ගම්මාන සම්බන්ධයෙන්ද අපට කථා කරන්නට හැකි විය. වර්තමානයේ එවන් මාතෘකා කථා කරන අපි 2018 – 2019 කාල වකවානුව තුළ වැඩි වශයෙන් කථා බහ කරන ලද්දේ "අරුවක්කාළු කසල අංගනය" සම්බන්ධයෙන්ය.මෙම ව්‍යාපෘතිය "අරුවක්කාළු ඝන අප ද්‍රව්‍ය කළමණාකරන ව්‍යාපෘතිය" ලෙසද නම් කර තිබුණි.

කොළඹ සහ අවට දිනපතා එකතු වන කැලි කසල අරුවක්කාළු වෙත ගෙන ගොස් අංගනයක තැම්පත් කිරීම එකී ව්‍යාපෘතියයි.

පුත්තලමට උතුරින් වනාතවිල්ලුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, වනාතවිල්ලුව ප්‍රාදේශීය සභා බල සීමාවේ මෙම අරුවක්කාළු කසල අංගනය පිහිටා ඇත.

අරුවක්කාළු ගම්මානයේ කලාඔයට දකුණින් පිහිටි භූමිය තුළ ස්වාභාවික හුණු ගල් නිධියක් පිහිටා ඇත.මෙම හුණූගල් සහිත අක්කර 5142 ක් වන භූමිය අයත්ව තිබුනේ ලංකා සිමෙන්ති සමාගමටය.ලංකා සිමෙන්ති සමාගම පුද්ගලීකරණය කිරීමෙන් අනතුරුව "තාවක්කාල්" "හෝල්සිම්" යන සමාගම් වලට අයත්ව තිබූ මෙම භූමියේ වර්තමාන හිමිකරුවා වන්නේ "ඉන්සි සිමෙන්ති (පුද්) සමාගමය".එම වැඩ බිමෙන් කඩා ගන්නා හුණූ ගල් දිනපතා දුම්රිය ගැල් භාවිතා කරමින් පුත්තලම - පාලාවියේ පිහිටි සිමෙන්ති කර්මන්ත ශාලාව වෙත රැගෙන යාම සිදු කරති.ඒ සිමෙන්ති නිෂ්පාදනය කිරීම සදහාය.

මේ අතර තුර මීතොටමුල්ල කුණු කන්ද කඩා වැටී විශාල විනාශයක් සිදු විය. ජීවිත කීපයක් අපට අහිමි වී ගියේ ඉතාමත්ම අවාසනාවන්ත ලෙසය. මීතොටමුල්ල කුණු කන්ද කඩා වැටීමත් සමග කොළඹ සහ අවට එකතු වන කැලි කසළ සම්බන්ධයෙන් වැඩි කථා බහක් ඇති විය.මෙම කාලවකවානුවේ මෙරට ආරක්ෂක ලේකම්වරයා ලෙස කටයුතු කරන ලද්දේ පසුගිය කාලයේ අප රටේ ජනාධිපති ධූරය හෙබවූ ගෝඨාභය රාජපක්ෂ මහතාය.

ගෝඨාභය රාජපක්ෂ මහතා එම කාල වකවානුවේ රාජකාරි කටයුත්තක් සදහා මන්නාරමට ගොස් ආපහු කොළඹ බලා ගමන් කරමින් සිටියේ හෙලිකොප්ටර් යානයකිනි.වසර කීපයක් හුණුගල් ඉවත් කර තිබූ අරුවක්කාළු වැඩ බිම ඇති දැවැන්ත අගාධ දුටු රාජපක්ෂ මහතා තමා ගමන් කරමින් සිටි හෙලිකොප්ටර් යානයේ සිටම ඒ සම්බන්ධයෙන් කරුණු සොයා බලන්නට කටයුතු කළේය. කොළඹ සහ අවට එකතු වන කැලි කසළ ගෙනවිත් තැම්පත් කරන්නට හොද ස්ථානයක් ලෙස අරුවක්කාළු වැඩ බිම හදුනා ගෙන ඇත්තේ එම අවස්ථාවේදීය.

එම කාල වකවානුව වන විට අරුවක්කාළු හුණු ගල් වැඩ බිමේ බාරකාරත්වය පැවරී තිබුනේ හෝල්සිම් සිමෙන්ති පුද්ගලික ආයතනයට.හෝල්සිම් ආයතනය සමග අවස්ථා කීපයකදී කරන ලද සාකච්ඡාවක ප්‍රතිඵලයක් ලෙස ඒ වන විට හුණුගල් කඩා ඉවත් කර ඇති අක්කර 186 ක ප්‍රදේශයක් කසල අංගනයක් සදහා වෙන් කිරීමට රජයට හැකි විය.අරුවක්කාළු කසල අංගනය ඉදිකිරීම සදහා ලෝක බැකු ණය ආධාර ක්‍රමයක්ද හවුල් කර ගැනීමට රජය සමත් විය.ඒ අනුව අරුවක්කාළු කසල අංගනය සදහා වැය කිරීමට යෝනවා වූ මුළු මුදල් ප්‍රමාණය රුපියල් බිලියන 29 කි.

අනතුරුව මෙම අරුවක්කාළු කසල අංගනය ඉදිකිරීම් බාර කරන ලද්දේ චීන සමාගමක් වෙතය.

එවකට පැවති රජය විවිධ පාර්ශවයන් සමග සාකච්ඡා කරමින් සිටින අතර තුර 2015 වසරේදී ජනාධිපතිවරණයක් සහ මහා මැතිවරණයක් පැවැත්විණි.එම මැතිවරණ දෙකෙන්ම ජයග්‍රහණය කළ කණ්ඩායම "යහපාලනය"ක් සදහා වන පාලනයක් ආරම්භ කළේය.

යහපාලන රජය සමයේද යෝජිත කසල අංගනය සම්බන්ධයෙන් නැවත වතාවක් කථා බහක් ඇති විය.යහපලන රජය විසින් ස්ථාපනය කරන ලද මහනගර සහ බස්නාහිර සංවර්ධන  හෙවත් "මෙගා පොලිස්" අමාත්‍යාංශය යටතට යෝජිත අරුවක්කාළු කසල අංගනය පත් වන්නේය.මේ සියළු කථා බහ ඇති වන වට පිටාවක් තුළ රජයන් මාරු වීම් සිදු වන විට කොළඹ සහ අවට ප්‍රදේශ වල දිනපතා කදු ගනනින් කැලි කසල එකතු  වෙමින් තිබුනේය.

මෙගා පොලිස් අමාත්‍යාංශය යටතේ නිලධාරීන් විසින් යෝජිත අරුවක්කාළු කසල අංගනය සම්බන්ධයෙන් වාර්තා සකස් කරන්නට විය.මෙම අරුවක්කාළු කසල අංගනය හේතුවෙන් පරිසරයට කිසිදු ආකාරයක හානියක් නොවන බව යහපාලන රජයේ බලධාරීන් "කැට"තබා පවසන්නට විය.කසල අංගනයේ ඇතිරීම සදහා විශේෂිත වූ ඝනකම් සහිත පොලිතින් විශේෂයක් ගෙන්වන බවද ඔවුන් ප්‍රකාශ කර සිටියේය.

නමුත් පරිසරවේදීන් පුන පුනා කියා සිටියේ මෙම කසල අංගනය හේතුවෙන් අරුවක්කාළු ඇතුළු ඇතුළු අවට ප්‍රදේශ වලට දැඩි පාරිසරික ගැටළු අනාගතයේදී මතු වන බවය.එමෙන්ම සිදු විය හැකි පාරිසරික ගැටළු හේතුවෙන් ජන ජීවිත වලටද බලපෑම් එල්ල විය හැකි බව ඔවුන් ප්‍රකාශ කර සිටියේය.අංගනයේ අතුරන පොලිතින් මතදී කසල දිරා යාමක් කෙසේවත් සිදු විය නොහැකි බව ඔවුන් කියා සිටියේය.

පරිසරවේදීන් ඇතුළු විවිධ පාර්ශව එවන් ප්‍රකාශ කරන්නටද හේතුවූ කරුණු කීපයක්ම තිබුනේය.යෝජිත අරුවක්කාළු කසල අංගනයට උතුරින් පිහිටා ඇත්තේ "ගගේ වාඩිය" නම් වූ පාරම්පරික ධීවර ගම්මානයයි.මෙම ගම්මානය ආසන්නයෙන්ම "කලාඔය"මුහුදට එක් වන්නේ අපූරු සුන්දරත්වයක් මෙන්ම ජෛව විවිධත්වයක්ද එක් කරමිනි.කලාඔයට උතුරින් පිහිටා ඇත්තේ විල්පත්තුව ජාතික වනෝද්‍යානය වන්නේය.

යෝජිත අරුවක්කාළු කසල අංගනයට වයඹ දිගින් පිහිටා ඇත්තේ "අයලිය" නම්වූ ගම්මානයයි.බටහිරෙන් "සෙරක්කුලිය" සහ "කරතිව්" ගම්මාන පිහිටා ඇත.මෙම ගම්මාන තුනම කල්පිටිය කලපුවෙන් පෝෂණය වන ධීවර ගම්මාන වේ.යෝජිත අරුවක්කාළු කසල අංගනයට දකුනෙන් සහ නැගෙනහිරෙන් පිහිටා ඇත්තේ වනාතවිල්ලුව සඑ එළුවන්කුලම ගොවි ගම්මාන වේ. පොල්, කෙසෙල්,කජු ඇතුළු ආර්ථික භෝග වගාවන් රැසක් මෙම ගම්මාන වල සරුවට වගා කරති.ඒ මහා පරිමාණ මට්ටමිනි.ඒ අනුව වනාතවිල්ලුව සහ එළුවන්කුලම යනු පුත්තලම දිස්ත්‍රික්කයේ ආර්ථික මර්මස්ථානයක්ද වන්නේය.

යෝජිත අරුවක්කාළු කසල අංගන ව්‍යාපෘතිය හේතුවෙන් කල්පිටිය කලපුවට, කලාඔයට,විල්පත්තුවට මෙන්ම වනාතවිල්ලුව ගොවි ගම්මාන වලටද බලපෑම් එල්ල විය හැකි බව පෙර සදහන් කර ඇති පරිසරවේදීන් කියා සිටියේය.යම් ආකාරයකට මෙම කසල අංගනයේ කාන්දුවක් සිදු වුවහොත් එහි බලපෑම සෘජුවම එල්ල වන්නේ කල්පිටිය කලපුවට බව ඔවුන්ගේ මතය විය.එසේ වුවහොත් කල්පිටිය කලපුවේ ජීවත් වන ඩොල්ෆින්,තල්මසුන් මෙන්ම මුහුදු ඌරන් වැනි දුර්ලභ සත්ත්ව කොට්ඨාස වලට මෙන්ම උච්චමුනේ දූපතට ආසන්නයෙන් ඇති "කොරල් පරයට"ද හානි සිදු විය හැකි බව පරිසරවේදීන් පුන පුනා කියා සිටියේය.

නමුත් එවකට රජය කරමින් සිටි ඇත්තන්ට මේ කිසිවක් නෑසුනේය.එසේත් නැත්නම් නෑසු කන්ව සිටියේය.ඔවුන්ගේ එකම අභිප්‍රාය වූයේ කොළඹ එකතු වන කැලි කසල කොතැනකට හෝ ගෙන ගොස් දමා දෑත් පිස දා ගන්නටය.ඒ තුළින් එක හිසේ රදයක් පමණක් අවසන් කරන්නට ඔවුන් මාන බලමින් සිටියේය.

කොළඹ එකතු වන කැලි කසල ලොරි රථ වලින් කැළණිය - වනවාසල දක්වා ගෙනවිත් එතැන් සිට දුම්රිය ගැල් භාවිතා කරමින් අරුවක්කාළු දක්වා ප්‍රවාහනය කළ යුතු බවට ඒ වන විට සකස් කර තිබූ ශක්‍යතා අධ්‍යයන වාර්තා වේ සදහන් වී තිබුණි.ඒ අනුව කැළණියේ සිට පුත්තලම දක්වා අමතර දුම්රිය මාර්ගයක්ද ඉදිකිරීමට යෝජිත විය.එම දුම්රිය මාර්ගයේ බොහෝ ප්‍රමාණයක් අවසන් කර ඇති බව මෙම ලියුම්කරු විසින් සිදු කරන ලද සෙයා බැලීමකදී අනාවරණය විය.

කෙසේ හෝ 2018 ජනවාරි මස 01 වැනිදා අරුවක්කාළු කසල අංගනයේ වැඩ කටයුතු ආරම්භ කරන ලදි.ව්‍යාපෘතිය 2019 ජූනි මස 30 වෙනිදා අවසන් වීමට නියමිතව තිබුණි.

"කොළඹ කුණු අපිට එපා" යැයි කියමින් Clean Puttalam නම් සංවිධානය බිහි වන්නේ ඔය අතර තුරය.2019 ජූලි මස 31 වැනිදා වන විට අප රටේ ජනාධිපති ධූරය දරන ලද්දේ මෛත්‍රීපාල සිරිසේන මහතාය.එම ජනාධිපතිවරයා සමග පුත්තලමේ පිරිසක් සාකච්ඡාවක් සදහා ගියේය.මෙම සාකච්ඡාවට ආගමික, දේශපාලන නායකයින් මෙන්ම පුත්තලම සහ වනාතවිල්ලුව අවට පදිංචිකරුවන් කීප දෙනෙකුද සිටියේය.සාකච්ඡාවට සහභාගි වූ පුත්තලමෙන් ගිය පිරිස එකහෙලා කියා සිටියේ අරුවක්කාළු කසල අංගනය ඉදිකිරීමෙන් අනවශ්‍ය ගැටළු ඇති වනවා පමණක් නොව විශාල මුදලක්ද අපතයේ යන බවය.

"දැන් මෙතන තියන ප්‍රශ්ණය මොකක්ද?මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා විමසා සිටියේය.ඊට පිළිතුරු ලබා දුන්නේ පුත්තලමෙන් ගොස් සිටි පිරිස වෙනුවට මෙගා පොලිස් අමාත්‍යාංශයෙන් පැමිණ සිටි නිලධාරියෙකි."කිසිම ප්‍රශ්ණයක් නෑ.වනාතවිල්ලුව ප්‍රාදේශීය සභාවත් ව්‍යාපෘතියට එකගයි.කසල අංගනය පවත්වා ගෙන යන කොට දවසකට රුපියල් ලක්ෂය ගානේ වනාතවිල්ලුව ප්‍රාදේශීය සභාවට ගෙවන්න ඕනේ.කොළඹ මහ නගර සභාවට කියමු ඒ මුදල ගෙවන්න කියලා."හෙතෙම කියා සිටියේය.අනතුරුව හඩ අවදි කළේ එකවකට වනාතවිල්ලුව ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ලෙස කටයුතු කරමින් සිටි සමන්ත මුණසිංහ මහතාය."මේ ව්‍යාපෘතියට අපි විරුද්ධ නෑ.කසල අංගනයට ආසන්නයෙන් තියන සේරක්කුලිය අති දුෂ්කර ගම්මානයක්.අපි ඒ අය ගැන බලන්නත් ඕනේ.මාසයකට රුපියල් මිලියන 03 ක් වත් ලැබෙනවා නම් මේ වැඩේ කරගෙන යන්න අපිට පුළුවන්."නමුත් එම සාකච්ඡාවට එක්ව සිටි ආගමික නායකයින් සහ පරිසරවේදීන් ව්‍යාපෘතියට තම විරෝධතාවය එකහෙලා පල කර සිටියේය.දෙපැත්තෙන් කියවුණු ආ පක්ෂ - විපක්ෂ කථා හේතුවෙන් සාකච්ඡාවක පිළිතුරකින් තොරව නිමාවට පත් විය.

විවිධ සාකච්ඡා වල පැවැත්වෙමින් තිබෙන විට එක් වරම කසල පුරවා ගත් විශාල ප්‍රමාණයේ ටිපර් රථ කොළඹ සිට අරුවක්කාළු දක්වා පැමිනෙන්නට විය.ඒ වන විටත් කසල අංගනයේ වැඩ කටයුතු අවසන් වී නොතිබුණි.කොළඹ සිට කසල ප්‍රවාහනය සිදු කරන ලද්දේ රාත්‍රී කාලයේදී වීම විශේෂත්වයක් විය.

කොළඹ සිට අරුවක්කාළු දක්වා ඇති ආසන්නතම දුර සැතපුම් 110 කි. කසල ප්‍රවාහනය හේතුවෙන් මෙම මාර්ගය අවට දැඩි දුගදක් හමන්නට විය.ප්‍රධාන මාර්ගය දෙපස පදිංචිවී සිටි ඇතමුන් හමා එන දුගද ඉවසා ගත නෙහැකිව ගෙවල් දොරවල් අතහැර වෙනත් ස්ථාන වල පදිංචියට ගියේය.රාත්‍රී කාලයේ නිවෙස් වල සිට ආහාර ගැනීම සහ නිදා ගැනීමට නොහැකි තත්ත්වයක් උදා වන්නට විය.

මේ අතර තුර දැඩි වර්ෂාවක් පුත්තලම ප්‍රදේශයට ඇද හැලෙන්නට විය.වැසි හේතුවෙන් ඉදි වෙමින් තිබූ කසල අංගනයේ ස්ථාන කීපයක් පුපුරා ගියේය. පුපුරා ගිය අංගනයේ තිබූ කසල වැසි ජලය සමග එකතු වී ගලා ගියේ කල්පිටිය කලපුවටය.

මේ වන තුරු නිහඩව සිටි Clean Puttalam සංවිධානව මෙන්ම ප්‍රධාන මාර්ගය අවට පදිංචිවී සිටි පිරිස්ද මහ පාරට බසින්නට පටන් ගත්තේය.ලොරි රථ වලින් රැගෙන එමින් තිබූ කසල ඇති තරම් මග දෙපස හැලී ගියේය.ඒ ක්‍රමවත් ආකාරයට කසල ලොරි රථ වලට පටවා නොතිබීම හේතුවෙනි.කසල ප්‍රවාහනය සදහා යොදා ගෙන තිබූ බොහෝ ටිපර් රථ වල ලියාපදිංචි අංක තහඩු දක්නට නොතිබුණි.ඇතැම් ටිපර් රථ අළුතින්ම මිලදී ගත් ඒවා බවට නිරීක්ෂණය කරන්නට අපට හැකි විය.

2019 ඔක්තොම්බර් මස 07 වැනිදා රාත්‍රී කාලයේ පිරිසක් හලාවත නගරයට එකතු විය.කොළඹ සිට අරුවක්කාළු දක්වා කසල ප්‍රවාහනය කරමින් තිබූ ටිපර් රථ වලට හලාවත නගරය පසු කර යාමට ඔවුන් ඉඩ දුන්නේ නැත.ඒ නිසාම එම රථ ආපසු හරවා ගෙන යාමට රියදුරන්ට සිදු විය.එසේ හරවා යවන ලද ටිපර් රථ ප්‍රමාණය 30 ක් විය.මේ අතර තුර එදිනම රාත්‍රී කාලයේ අරුවක්කාළු කසල අංගනය තුළ පිපිරීමක් සිදු විය.අවට ගම්මාන වල පදිංචිකරුවන්ද භීතියට පත් කරමින් අංගනය තුළදී පුපුරා ගියේ කුමක්ද යන්න අදටත් අභිරහසක් වී ඇත.

අරුවක්කාළු කසල අංගයට අදාලව සකස් කර ඇති ශක්‍යතා අධ්‍යයන වාර්තාවට අනුව කොළඹ සිට කසල ප්‍රවාහනය කරණු ලබන්නේ දුම්රිය ගැල් උපයෝගී කරගෙනය.කසල ප්‍රවාහනය සදහාම විශේෂිත වූ දුම්රිය මාර්ගයක් වනවාසල සිට පුත්තලම දක්වා ඉදිකිරීම් ආරම්භ කරන ලද්දේද ඒ නිසාමය.ඒ අනුව කසල ප්‍රවාහනය කිරීම සදහා බහාළුම් දුම්රිය ගැල් 94 ක් 2020 වර්ෂයේදී මෙරටට ගෙන්වීමට නියමිතව තිබුණි.නමුත් එම බහාළුම් ගැල් ගාල් කර තැබීමට සුදුසු ස්ථානයක් සකස් කෙරුනේ නැත.බහාළුම් ගැල් මෙරටට නොගෙනාවත් දුම්රිය ඇන්ජින් 04 ක් 2019 දෙසැම්බර් මාසයේ 31 වෙනිදා මෙරටට ගෙන්වා තිබුණි.ඒ සදහා වැය කර ඇති මුදල රුපියල් 8,271,224 කි. කසල ප්‍රවාහනය සදහා යොදා නොගත් එම දුම්රිය ඇන්ජින් වලට සිදුවී ඇත්තේ කුමක්ද යන්න තවමක් අභිරහසක්ව පවතී.

අරුවක්කාළු කසල අංගනය වෙනුවෙන් සකස් කරන ලද ශක්‍යතා අධ්‍යයන වාර්තාව තම වාසියට හරවා ගත් Clean Puttalam සංවිධානය සහ තවත් පරිසර සංවිධාන කීපයක් ශ්‍රේෂ්ඨාධිකරණයේ පිහිට පැතුවේය.ගොණු කර තිබූ පෙත්සම සළකා බැළු ශ්‍රේෂ්ඨාධිකරණය තාවාකලික නියෝගයක් ලබා දෙමින් කියා සිටියේ කොළඹ සිට අරුවක්කාළු දක්වා ටිපර් රථ වලින් කසල ප්‍රවාහනය නොකළ යුතු බවය.එම නඩු විභාග මේ වන විටත් ශ්‍රේෂ්ඨාධිකරණයේ කදවමින් තිබේ.

කාලය මෙසේ ගෙවී යන විට මෙරට නැවතත් මැතිවරණ සමයක් උදා වන්නේය.යහපාලන රජයට එරෙහිව මැතිවරණයට එක්ව සිටි කණ්ඩායම් පුත්තලම පැමිණි විට කියා සිටියේ"මොන හේතුවක් නිසා හෝ කොළඹ කුණු අපි අරුවක්කාළු වලට ගේන්නේ නෑ." කියාය.කොළඹ කසල අරුවක්කාළු වලට ගෙන එමු යැයි මුලින්ම අදහස ඉදිරිපත් කළ ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් පැවති මැතිවරණ ප්‍රචාරක රැස්වීම් වලදීද එම කථාවම කියා සිටීම දැඩි විහිළුවක් බවට පත්ව තිබුනේය.

කෙසේ වෙතත් මේ වන විට කොළඹ සිට අරුවක්කාළු දක්වා කසල ගෙන ඒම නතර වී ඇත.අද එම භූමිය අතහැර දමන ලද වැඩ බිමක් බවට පත්ව ඇත. පසුගිය කාලයේ එම වැඩ බිමේ රැදී සිටි චීන ජාතිකයින් ඇතුළු කිසිවෙකුත් එහි නැත.මේ වන විට අරුවක්කාළු කසල අංගනයෙන් 79% ක ප්‍රමාණයක ඉදිකිරීම් අවසන් කර ඇති බව විගනන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇති වාර්තාවක සදහන් වේ.අතහැර දමන ලද අරුවක්කාළු කසල අංගනය වෙනුවෙන් වැය කර ඇති  මුදල රුපියල් මිලියන 16,186 ක් බවද එම විගනන වාර්තාවේ වැඩිදුරටත් සදහන් වේ.

එපමණක් නොව,යෝජිත අරුවක්කාළු කසල අංගනය,කසල හුවමාරු මධ්‍යස්ථානය සහ දුම්රිය මාර්ගය ඉදිකිරීම සදහා වන කොන්ත්‍රාත්තු ලබා දීමේදී රජයේ සහ ලෝක බැංකුවේ ප්‍රසම්පාදන ක්‍රියවලියෙන් බැහැරව සිදුවී ඇති බවට ලෝක බැංකු සමාලෝචන කණ්ඩායමක් විසින් චෝදනාවක්ද එල්ල කර ඇත. එමෙන්ම විධිමත් ප්‍රසම්පාදන ක්‍රියාවලියක් සිදු නොකිරීම හේතුවෙන් මෙම ව්‍යාපෘතියට ලැබීමට තිබූ ඩොලර් මිලියන 07 ක මුදලක් අහිමි වී ඇත.එසේ අහිමි වී ඇති මුදල රුපියල් මිලියන 19,127 කි.

රජයේ විගනන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් ඇති චෝදනාවන්ට නිදහසට කරුණු දැක්වීමට හෝ නාගරික සංවර්ධන අධිකාරිය කටයුතු කර නැත.ඒ අනුව සිදුවී ඇත්තේ කුමක්ද යන්න පුන පුනා පැහැදිලි කිරීමේ අවශ්‍යතාවයක් ඇති නොවන්නේය.

අතහැර දමා ඇති අරුවක්කාළු කසල අංගනය සම්බන්ධයෙන් තොරතුරු ඉල්ලමින් මෙම ලියුම්කරු 2021 දෙසැම්බර් මස 31 වෙනිදා පරිසර අමාත්‍යාංශය වෙත අයදුම්පතක් යොමු කරන ලදි.පරිසර අමාත්‍යාංශයේ ජේෂ්ඨ සහකාර ලේකම් සහ තොරතුරු නිලධාරීනී එස්.එම්.ගයනි කෞෂල්‍යා සමරකෝන් මහත්මිය 2022 ජනවාරි මස 06 වැනිදා අංක 02/2/ADM/10/RTI/XV යටතේ මෙම ලියුම්කරුට පිළිතුරු ලිපියක් එවා ඇත.අරුවක්කාළු වැඩ බිම තම විෂය පතයට අයත් නොවන බව එම පිළිතුරු ලිපියේ සදහන් වේ.2022 මැයි මස 17 වෙනිදා නැවත වතාවක් මෙම ලියුම්කරු විසින් අරුවක්කාළු වැඩ බිම සම්බන්දයෙන් තොරතුරු ඉල්ලමින් නාගරික සංවර්ධන අධිකාරිය වෙත අයදුම්පතක් යොමු කරන ලදි.නමුත් එම අයදුම්පත ලැබුණු බවක් හෝ නාගරික සංවර්ධන අධිකාරිය විසින් මේ දක්වා දන්වා නැත.

ලෝක බැංකු අණය ආධාර ක්‍රමයක් යටතේ ආරම්භ කර පවත්වා ගෙන යන බව පවසමින් රට පුරා අඩ බෙර ගසමින් ආරම්භ කරන ලද අරුවක්කාළු කසල අංගනය මේ වන විට අතර මග නැවතී ඇත.ඒ මෙරටට ලැබීමට තිබූ ඩොලර් මිලියන 07 ක මුදලක්ද අහිමි කරමිනි.එම මුදල අහිමිවී ඇත්තේ අක්‍රමවත් ප්‍රසම්පාදන ක්‍රියාවලියක් හරහා කොන්ත්‍රාත් පිරිනැමීම නිසා බවද අප අමතක නොකළ යුතුව ඇත.ඒ සමගම මෙරට ජීවත් වන අහිංසක මිනිසුන් විසින් බදු ලෙස රජයට ගෙවා ඇති රුපියල් මිලියන 16,186 ක මුදලක්ද අරුවක්කාළු කසල අංගනය විසින් ගිල ගෙන ඇති බව සටහන් කිරීමට අපට සිදුවී ඇත.

කොළඹ කුණු තවම එකතු වන්නේය.කොළඹ කුණු වලට විසදුමක් සදහා යැයි පවසමින් ආරම්භ කරන ලද අරුවක්කාළු කසල අංගනය රුපියල් මිලියන 16,186 ක මුදලක්ද කුස පුරා ගිල දමා සුවදායී නින්දකට වැටී සිටින්නේය.

Latest