Skip to content

ගොක් කොළින් මවයි - මනරම් රූ රටා ..!!

මණරම් ගොක්කොළ නිර්මාණයක්

සමාජ මාධ්‍ය තුල සැරිසරන බොහෝ දෙනෙකුට නම් මේ දසුන් හුරුපුරුදු ඇතුවාට සැකයක් නැත. ගොක්කොළ උපයෝගී කරගනිමින් සිදු කර ඇති මේ විවිධ නිර්මාණයන් එතරම්ම මනස්කාන්ත වේ.  ඒවා නිම කරන භද්‍ර යෞවනයේ තරුණයා   පිළිබඳව පුවත් වාර්තා වනුයේ කුරුණෑගල, කොබෙයිගනේ, වලස්වැව ප්‍රදේශයෙනි

නිර්මාණකරු 

ඔහු නමින් ඉමේෂ් ලක්ෂාන් නම් වේ.  ඉමේෂ් කළා කටයුතු සඳහා කුඩා කල සිටම දැක්වූ කැමැත්ත මත මේ ගොක්කොළ නිර්මාණ කරණය සඳහා පිවිස ඇත.

පඬුවස්නුවර බණ්ඩාරනායක  ජාතික පාසැලේ අධ්‍යාපනය හදාරා ඇති   ඔහු,  දැනුම් තේරුම් තිබූ  වයසේ සිට ගොක්කොළ නිර්මාණ කරණයේ යෙදෙන පිරිස සමග විවිධ අවස්ථාවන් හට සම්බන්ධ වෙමින් මෙම කළාව පිළිබඳව මූලික අවබෝධයක් ලබා ඇත. පසුව ඔහු තුල වූ සහජ හැකියාවන්ද උපයෝගී කරගනිමින් සිය ආත්ම තෘප්තිය උදෙසා ආරම්භයේදී විවිධ නිර්මාණ සිදු කර තිබේ.

"මම කුඩා කාලයේ ඉඳලම ගොක්කොළ නිර්මාණ කරන්න හරි ආසයි. මේ ප්‍රදේශයේ තවත් ඒ නිර්මාණ  වල නිරත වෙන පිරිස සමග විවිධ වැඩ කටයුතු වලට සම්භන්ධ වෙලා මමම ඒ නිර්මාණ  බලාගෙන ඉගෙන ගත්තා. "

"මම තනියම මේ නිර්මාණ කරන්න පටන් ගෙන දැනට වසර දෙකහාමාරක් - තුනක් පමණ වෙනවා. මුලින්ම මගේ ආත්ම තෘප්තියට තමයි මේවා හැදුවේ. මගේම ඥාතීන්ගේ නිවෙස් වල විවිධ උත්සව අවස්ථාවන් වලදී මම ගොක්කොළ නිර්මාණ හදලා දුන්නා. ඒ තුලින් මම නිර්මාණ කරන්න ප්‍රායෝගික පුහුණුවක් ලබා ගත්තා. ගොක්කොළ නිර්මාණයකින් මුල්ම ආදායම වුනේ රුපියල් දහසක්. ගමන් වියදම සඳහා රුපියල් 1000/=ක් 2000/=ක්   ඥාතීන්ගේ, මිතුරන්ගේ වැඩ කටයුතු ආරම්භයේ දී සිදු කිරීමෙන් ලැබුනා. "

"අද වෙනකොට මම ගොක්කොළ වලින් පිරිත් මණ්ඩප, මඟුල් පෝරු, ධර්මාසන, පොල්තෙල් පහන් වැනි නිර්මාණ සිදු කරනවා. "

"ගොක්කොල සොයා ගැනීම තමයි තරමක් ගැටලුවක්ව තියෙන්නේ. නමුත් හුඟක් වෙලාවට සේවාව ලබා ගන්න අය ඒවා ලබා දෙනවා.  සේවාව අවශ්‍ය පුද්ගලයා ගේ අවශ්‍යතාවය අනුව ඒ ඒ නිර්මාණ සඳහා මිල සාකච්ඡා කරලා  නිර්මාණය සිදු කරනවා . එක නිර්මාණයකට භාවිතා කරන ගොක්කොළ එයට පමණයි. නැවත දවසකට තියාගෙන භාවිතා කරන්න බැහැ. සාමාන්‍යයෙන්  පිරිත් මණ්ඩපයක් වගේ නිම කරන්න දවස් එකහාමාරක කාලයක් යනවා. මඟුල් පෝරුවක් දවසකින් විතර පුලුවන් . මේ දේවල් සඳහා දැනට මට තවත් එක් කෙනෙක් සහය වෙනවා. නමුත් නිර්මාණය මම තනියම සිදු කරන්නේ. මේවායේ කළාත්මක බව මගේම අදහස් අනුව සිදුවෙනවා . තවත් ගමේ එක්කෙනෙකුට හරි රැකියාවක් මේ නිර්මාණ තුලින් ලබා දීමයි මගේ බලාපොරොත්තුව.

Latest