Skip to content

"දැනුම යනු තක්කාලි පළතුරක් ලෙස සලකන බව ද දැන සිටීම වන අතර බුද්ධිය නැතිනම් බුද්ධිමත්කම යනු පෘට් සැලඩ් එකක් සඳහා තක්කාලි නොදා සිටීමට වග බලා ගැනීමයි "

" අපි බුද්ධිමත් ද ? " යනුවෙන් මීට පෙර ගෙන ආ ලිපිය තුළදී බුද්ධිමත්කම සම්බන්ධයෙන් කරුණු රාශියක් සාකච්ඡා කළා ඔබට මතක ඇතැයි සිතන අතර බුද්ධිය සම්බන්ධයෙන් ඊට හාත්පසින්ම වෙනස් කරුණු කිහිපයක් ද සාකච්ඡා කිරීමට ක්ෂේශ වූ බැවින් තවත් ලිපියක් ඔස්සේ බුද්ධිය සම්බන්ධයෙන් එම කරුණු ඔබට ගෙන ඒමට සිත් වූයේ මෙය සැබවින්ම ජීවිතයට ඉතා වැදගත් මාතෘකාවක් වන බැවිනි.

සංස්කෘතයේ එන බුධ් ධාතුවෙන් ප්‍රභවය වී ඇති බුද්ධිය යනු සැබවින්ම භාවනාමයක් වන අතර එම ධාතුව ඉගෙනීමෙහි, වැටහීමෙහි, දැනීමෙහි සහ පිබිදීමෙහි ආදී අර්ථ ගණනාවක ද යෙදේ. මෙලෙස බුධ් යන ධාතුව ප්‍රභවය වී සිංහලට තත්සම වශයෙන් පැමිණ තිබෙන බුද්ධිය යන නම සිංහලයේ අර්ථ කිහිපයක් ද ගෙන දේ.

ඉන් පලමුවැන්න නම් ක්ෂණික අවබෝධය නැතිනම් වැටහෙන නුවණයි, දෙවැන්න ඉගෙනීම, අවබෝධය තර්කානුකූලව සිතීම, යන ශක්තීන් එක් වීමෙන් ඇතිවන විශේෂ ඥාණයයි. තෙවැන්න නම් සිහිය, හැඟීම සහ කල්පනාවයි.  කෙසේ නමුත් බුද්ධිය හා සම්බන්ධවන අනෙක් පදය වන්නේ ඥාණයයි. එය සංස්කෘතයේ ඥා ධාතුවෙන් සිංහලයට පැමිණි වචනයක් වන අතර ඥාණය සහ දැනුම සමානාර්ථ පද ලෙස ද යෙදේ.

මෙලෙස හඳුනාගත හැකි ඥාණයේ ප්‍රධාන ලක්ෂණ කිහිපයක් ද අපට හඳුනාගත හැකි අතර ඒවා නම් ක්‍රෝධ නැති බව, ඉඳුරන් දමනය කළ බව, දයාව, ඉවසීම, සෑම දෙයක්ම දක්නා නුවණ, නිර්ලෝභී භාවය, බියකින් තොර බව, ශෝක රහිත බව, දන්දීම, ආදියයි. ඒ අනුව ඔබ හෝ මම ඥාණවන්ත පුද්ගලයකු නම් මෙම ලක්ෂණ කිහිපය අප අතර පැවතිය යුතුය.

ප්‍රධාන වශයෙන් මෙසේ හඳුනාගත් ඥාණය යන පදයත් සහ ප්‍රඥාව, දැනුම, දැනීම සහ නුවණ යන පද කිහිපය ද බුද්ධිය යන පදයට සම්බන්ධ වන බවක් පෙනෙන අතර විශේෂයෙන් මනෝවිද්‍යාවේදී බුද්ධිය යන පදය යොදාගනු ලබන්නේ ඉංග්‍රීසියෙහි එන interlligence යන පදයේ අර්ථය සඳහා ය.
කෙසේ නමුත් ඉංග්‍රීසි භාෂාවේ interlligence යන පද සඳහා ලබා දී ඇති වර නැගීම් වන්නේ ඉගෙනීමේ හැකියාව, පරිසරයට ප්‍රමාණවත් තරම් හැඩ ගැසීමේ හැකියාව සහ කාර්යසාධනයේ දක්වන ප්‍රවණතාව යනාදියයි.

මහාචාර්ය ඊ තෝර්න්ඩයික් නම් මානව විද්‍යාඥයා බුද්ධිය යන්න කොටස් තුනකට බෙදා දක්වන අතර ඉන් පළමුවැන්න වන්නේ යාන්ත්‍රික බුද්ධිය හෙවත් ආයුධ මෙවලම් පාවිච්චි කිරීම සහ යන්ත්‍ර සූත්‍ර ක්‍රියා කරවීමේ දක්ෂතාවයි, දෙවැන්න නම් සමාජ බුද්ධිය හෙවත් මිනිසුන් තේරුම් ගැනීමේ සහ මානව සමාජ සම්බන්ධතාවලදී ඥාණාන්විතව ක්‍රියා කිරීමේ හැකියාව වන අතර තෙවැන්න නම් භාවමය බුද්ධිය හෙවත් වචන, සංක්‍යා, සූත්‍ර, විද්‍යා සිද්ධාන්ත වැනි සංකේත සහ අදහස් හැසිරවීමේ හැකියාවයි.

කෙසේ වෙතත් බුද්ධියට ජීව විද්‍යාත්මක පදනමක් ඇති බව බොහෝ දෙනා පිළිගන්නා කරුණක් වන අතර ඒ අනුව බුද්ධිය යනු දැනීමේ ස්වාභාවයයි. එයට චිත්තවේග හෝ පෙලඹවීම් බලපෑමක් නැත. බුද්ධිය කෙරෙහි බලපාන්නේ මිනිසාගේ ප්‍රධාන ස්නායු පද්ධතියේ ක්‍රියාකාරකම් වන අතර බුද්ධිය යනු පුද්ගලයාගෙන් පුද්ගලයාට දැකිය හැකි ජීව විද්‍යාත්මක සහ ප්‍රවේණිවිද්‍යාත්මක ප්‍රතිලාභයක් ද වේ. විටෙක පුද්ගලයකු විසින් මනා සංවිධානයෙන් යුතුව ඉහළ මට්ටමින් සිතීම විස්තර කිරීම සඳහා ද බුද්ධිය යන වචනය බොහෝ විට යෙදේ.

ඔබ හෝ මම බුද්ධිමත් නම් එය මැන බලන්නේ කෙසේ ද? අපි බුද්ධිමත් ද යන වග සොයා ගන්නේ කෙසේ ද? බුද්ධිය යන්න හඳුනා ගැනීමේදී මී ළඟට පැණනගින ගැටළුව එයයි.  එම නිසා මිනිසකුගේ බුද්ධිය මැනීමේ ක්‍රමයක් වශයෙන් බුද්ධි ඵල නම් සංකල්පයක් ජර්මන් ජාතික මනෝවිද්‍යාඥයකු වූ ආචාර්ය විලියම් ස්ටර්න් විසින් ඉදිරිපත් කර ඇති අතර එහිදී පුද්ගලයකුගේ මානසික වයස ඔහුගේ ජන්ම වයසින් බෙදා ප්‍රතිශතයක් ලෙස දක්වයි.

බුද්ධි ඵලය  =  මානසික වයස    × 100
                     ජන්ම වයස

මෙහිදී ජන්ම වයසින් අඩු පුද්ගලයකු සහ ජන්ම වයසින් වැඩි පුද්ගලයකු මානසික සංවර්ධනය අතින් සම තත්වයකට පත් වූ විට එකී අඩු ජන්ම වයස අඩු පුද්ගලයාගේ ජන්ම වයස වැඩි ජන්ම වයස ඇති  පුද්ගලයාගේ මානසික වයස ලෙස ගනු ලැබේ. මේ අනුව  ජන්ම වයස අවුරුදු 20 ක් වූ පුද්ගලයකුගේ මානසික සංවර්ධන අවස්ථාව ජන්ම වයස අවුරුදු 15 ක් වූ පුද්ගලයකුගේ මානසික සංවර්ධන අවස්ථාවට සමාන වේ නම් ජන්ම වයස වැඩි එකී පුද්ගලයාගේ මානසික වයස අවුරුදු 15 වේ. එවිට ඔහුගේ

බුද්ධි ඵලය = ( 15 × 100 ) ÷ 20 = 75

මනෝ විද්‍යඥයින් පර්යේෂණ මඟින් මෙම බුද්ධි ඵලයේ අගය අනුව එක් එක් බුද්ධි මට්‍ටම් තීරණය කර ඇති අතර ඒ පහත සඳහන් අයුරිනි.

0 - 20  =  බරපතළ ඌණ සංවර්ධිත, 21 - 35 = දැඩි ඌණ සංවර්ධිත, 36 - 50 = සාමාන්‍ය ඌණ සංවර්ධිත, 51 - 70 = ස්වල්ප ඌණ සංවර්ධිත, 71 - 90 = මන්දබුද්ධික, 91 - 110 = සාමාන්‍යයෙන් බුද්ධිමත්, 111 - 120 = උසස් බුද්ධිමත්, 121 - 140 = ඉතා උසස් බුද්ධිමත් , 141 - 175 = සහජ බුද්ධිමත්, 180 සිට ඉහළට ප්‍රතිභාසම්පන්න බුද්ධිමත්.

කෙස් නමුත් යම් අයෙකුගේ බුද්ධිය මැන බැලීම සඳහා බොහෝ විට බුද්ධි පරීක්ෂණ නම් සංකල්පයක් ද යොදා ගන්නා බව අපි දනිමු. විශේෂයෙන් ශ්‍රී ලංකාවේ නම් සෑම රජයේ ආයතනයකටම පාහේ බඳවා ගැනීමේදී මෙම බුද්ධි පරීක්ෂණ ඉතා සුලභ වන අතර කෙසේ නමුත් බුද්ධි පරීක්ෂණ සම්බන්ධයෙන් නැගී සිටීමේ ප්‍රහසන පීඨයේ පීඨාධිපති වශයෙන් අප හඳුනාගත් ජෝර්ජ් කාර්ලින්ගේ අදහස වූයේ " බුද්ධි පරීක්ෂණ සෑම විටම සාක්ෂරතාවට පක්ෂපාතී වේ " යනුවෙනි.

කෙසේ නමුත් ප්‍රංශ විද්‍යාඥයකු වූ ඇල්ෆ්‍රඩ් බිනේ ( 1857 - 1911 ) බුද්ධි පරීක්ෂණ ක්ෂේත්‍රයේ පුරෝගාමියා ලෙස සලකනු ලබන අතර චිත්‍ර පිටපත් කිරීම, ඉලක්කම් පෙළක් මතකයෙන් කීම හෝ ලිවීම, කාසි හඳුනා ගැනීම සහ මාරු කිරීම ආදී විවිධ අංශයන් මුල් කාලීන බුද්ධි පරීක්ෂණයන් සඳහා ඇතුළත් වී ඇත.

කෙසේ නමුත් පසු කාලීනව බුද්ධි පරීක්ෂණ සඳහා භාෂා ඥාණය පදනම් වූ අතර සමානාර්ථ පද හෝ විරුද්ධ පද තේරීම, ගැළපෙන හෝ නොගැළපෙන වචන සෙවීම, වාක්‍ය දෝෂ සෙවීම, වාක්‍ය නිදොස් කිරීම ආදී ක්‍රියාකාරකම් එහිදී සිදුවිය. නමුත් භාෂා ඥාණය ඉහළ මට්ටමක පවතින පිරිස හට වැඩි දියුණුවක් ලැබිය හැකි වීම මෙහි ගැටළුවක් වී ඇත.

එබැවින් යම් අයකුගේ බුද්ධිය මැන බැලීම සඳහා යොදාගන්නා බුද්ධි පරීක්ෂණ කොටස් තුනකින් පවත්වන අතර ඉන් පලමුවැන්න වන්නේ සාධන පරීක්ෂණයයි. පරීක්ෂණයට ලක්වන තැනැත්තා දැනට ලබා සිටින දැනීම මැනීම මෙහිදී සිදු කරන අතර දෙවැන්න නම් අභියෝගතා පරීක්ෂණයි. මෙය පුද්ගලයකුට පසුව සොයාගත හැකි දේ සොයා ගැනීමේ අරමුණින් පවත්වනු ලබන අතර

නිසි පුහුණුව සහ නියම පෙළඹවීම ලබා දීමෙන් අණතුරුව කෙනෙකුගෙන බලාපොරොත්තු විය හැකි කාර්ය සාධනය කල් තබා විනිශ්චය කර ගැනීමට මෙය උපකාරී වේ. තෙවැන්න නම් පොරුෂය නැතිනම් ස්වීයත්වය පිළිබඳව පරීක්ෂණයයි.

පුද්ගලයකුට විශේෂ වූ හැසිරීම් ස්වාභාවය සොයා ගැනීම සඳහා මෙම පරීක්ෂණය පවත්වනු ලබන අතර පුද්ගලයා ඉදිරිපත් වීමට නැඹුරු ද?, නැතහොත් පසුබසින කෙනෙක් ද ?, සන්සුන් ගති පැවතුම් ඇති අයෙක් ද? නැතහොත් කලබලකාරී නොසන්සුන් පුද්ගලයෙක් ද? පුද්ගලයා අදළ කාර්යයට ගැළපේද යන වග මින් සොයාගනු ලබයි.

බුද්ධිය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ක්ෂේශ වූයේ ඉහත සඳහන් කරුණු වන අතර සැබවින්ම මීට පෙර ලිපියක සඳහන් කළා සේම බුද්ධිය නැතිනම් බුද්ධිමත්කම යනු යමෙකුට මේ ලෝකේ ලබාගත හැකි උතුම්ම සම්පත බැවින් ලිපි දෙකක් ඔස්සේ බුද්ධිය සම්බන්ධයෙන් සාකච්ඡා කිරන ලද්දේ තුන්වැනි ලෝකයෙන් පළමුවන ලෝකයට පැමිණීමටනම් ශ්‍රී ලංකාවට බුද්ධිමත් පුරවැසියන් කොට්ඨාශයක් ඕනෑකර තිබෙන බැවිනි.

අපට තක්කාලි පළතුරක් ද වන බව දන්නා ඕනෑ තරම් මිනිසුන් සිටී. නමුත් ඒ සියල්ල බොහෝ විට තක්කාලි පෘට් සැලඩ් එකක් සඳහා ද දැමීමට උත්සාහ කරයි. ගැටළුව ඇත්තේ එතනයි.

Latest