Skip to content

අපේ මුදුන් මල්කඩේ කතාව 3

" හෙළයේ මහා සංස්කෘතික මංගල්‍යයට දින තීන්දුයි " යනුවෙන් මීට පෙර පළකළ ලිපියක් මඟින් මා මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ වාර්ෂික ඇසළ පෙරහැරේ මංගල්‍යයේ කාල සටහන ගෙන ඒමට කටයුතු කළ අතර නමුත් ඉන් නොනැවතී ශ්‍රී දළදාවේ සම්පූර්ණ කතාන්දරයම එකම ස්ථානයකින් ගෙන ඒමට ද සිතමින් අපේ මුදුන් මල්කඩේ කතාව 1 සහ අපේ මුදුන් මල්කඩේ කතාව 2 යනුවෙන් ලිපි දෙකක් ඔස්සේ මීට පෙර කරුණු රාශියක් සාකච්ඡා කළා ඔබට මතක ඇතැයි සිතමි.

අපේ මුදුන් මල්කඩේ කතාව 1
වාර්ෂිකව පැවැත්වෙන මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ ඇසළ පෙරහැර ආරම්භ වීමට තවදු ඇත්තේ මාසයක් පමණ සුළු කාලයක් වන අතර මෙවරද අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්
අපේ මුදුන් මල්කඩේ කතාව 2
මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ වාර්ෂික ඇසළ පෙරහැරට සමගාමීව getpeakonline අප දන්ත ධාතූන් වහන්සේ හා සම්බන්ධ සම්පූර්ණ කතා ප්‍රවෘත්තියම ඔබ වෙත ගෙන ඒමට තී

ඉදිං අද ගෙන ඒමට බලාපොරොත්තු වන්නේ අපේ මුදුන් මල්කඩේ කතාව 3 නැතිනම් ශ්‍රී දළදා මාළිගාවේ පෙරහර මංගල්‍යයේ කතාන්දරයයි. මන්ද ඉතිරිව ඇත්තේ ඒ පිළිබඳව සාකච්ඡා කිරීමට පමණි. දළදා පෙරහැර මංගල්‍යය ද ඉතාම ආසන්නයට පැමිණ ඇති බැවින් තව දුරටත් මේ පිළිබඳව කල් නොයවා අදාළ කාරණයට යන්නේ නම්

දෙස් විදෙස් සියළු පිරිසගේ නෙත් සිත් බැඳ ගන්නා ලද දළදා පෙරහර මංගල්‍යය ආරම්භ වී ඇත්තේ ක්‍රි.ව. 301 දී කිත්සිරි මෙවන් රජු දවස වන බවට ඉතිහාස මූලාශ්‍ර සාක්ෂි දරන  අතර එයින් මහා වංශයේ සඳහන් වන්නේ " රජ තෙමේ නව ලක්ෂයක් දන විසඳා දළදා මහා පෙරහර කළේයි. අවුරුදු පතා අභයගිරි විහාරයට වඩා ගෙන ගොස් දන්ත ධාතුවට මෙබඳු පූජා කරවයි නියෝග කළේය " යනුවෙනි.

ඒ අනුව ක්‍රිව. 301 - 328 අනුරාධපුර කිත්සිරි මෙවන් රජු දවස සිට මේ දක්වාම සතුරු අපාදාවන්හී හැර අනෙක් හැකි සෑම අවස්ථාවකදීම දළදා පෙරහැර මංගල්‍යය පැවැත්වීමට අප කටයුතු කර ඇති අතර කෙසේ නමුත් පෙරහර මංගල්‍යයේ චිරාගත සම්ප්‍රදායක්, විධිමත් බවක් ගොඩනැගී ඇත්තේ ක්‍රි.ව. 1592 දී පළමුවන විමලධර්මසූරිය රජු දවස ශ්‍රී දළදා වහන්සේ මහනුවර රාජධානියට වැඩම වීමත් සමඟය.

මහනුවර යුගයේ දෙවන රාජසිංහ රජු දවස සිරකරුවකු ලෙස සිටි රොබට් නොක්ස්ගේ වාර්තාවල දැක්වෙන්නේ පෙරහැරේ ඉදිරියෙන් කපුරාල කෙනෙකු පට පිලියෙන් ඔතා සරසන ලද ලීයක් කරතබාගෙන මුඛවාඩම් බැඳ හස්තියකු පිට නැගී වීදි සංචාරකයකොට ඇති බවත්, ජනතාව එයට පුද සත්කාර කළ බවත් ය.

ඇතුන් 40 ක් පමණ ද , බෙර දවුල් තම්මැට්ටන් ශිල්පීන් සහ නැට්ටුවෝ ද එහිදී පෙරහැරේ ගමන් කර ඇති අතර නොක්ස්ගේ විස්තර වලට අනුව පෙරහර දෙවියන්ට කැප වූ බවක් ද පෙනේ. කෙසේ වෙතත් මෙම කාල පරිච්ඡේදය වන විට ඇසළ පෙරහැර දෙවියන්ට පූජෝපහාර පිණිස පැවති සිව්මහා දේවාල පෙරහැර වශයෙන් පැවැත්වුණු බව ද අනාවරණය වේ.

කීර්ති ශ්‍රී රාජසිංහ රජු දවස ක්‍රි. ව. 1753 දී දළදා පෙරහැර පෙරටුකොට නාථ, විෂ්ණු, කතරගම සහ පත්තිනි යන සිව් මහා දේවාල අනුපිළිවෙලට ගමන් ගන්නා ආකාරයට ඇසළ පෙරහැර මංගල්‍යය පැවැත්වීම ආරම්භ වී ඇති අතර එතැන් සිට අද දක්වාම පෙරහැර මංගල්‍යය චිරාගත සම්ප්‍රදායානුකූලව ශ්‍රී දළදා මාළිගාව පෙරටුකොටගනිමින් පැවැත් වේ.

ජෝන් ඩේව්ගේ සහ වෙල්ලස්සේ දිසාවගේ පෙරහැර විස්තරවල සඳහන් වන පරිදි එකල පෙරහැර මංගල්‍යය පැවැත්වෙන කාල වකවානුව වන විට මහනුවර නගරය දෙව් පුරයක් සේ සරසා තිබී ඇත. ඒ ඒ නිලයන් හඳුනා ගැනීම සඳහා අදාළ කොඩි සහිතව ද, ඇතුන් ගණනාවක් ද, විවිධ කොඩි දරන්නෝද, රජයේ නිළධාරීහු ද, විදේශිකයෝ සහ රජු ද ඇතුළු නොයෙක් නොයෙක් පිරිසක් පෙරහැරේ ගමන් කර ඇත. මෙසේ කරඩුව නගරය පුරා ප්‍රදක්ෂිණා කොට ඇති අතර ධාතු කරඩුව සරසා මල් වැසිද වස්සා ඇත.

රජු පත්තිරිප්පුවට පැමිණෙන තුරු රදළවරු, හමුදා නිළධාරීහූ තමනට ඇති උසස් ඇඳුමින් සැරසී තමන්ට වෙන් වූ කොඩිය ද රැගෙන සිට ඇත. රිදී යෂ්ඨිය රැගත් අධිකාරම්වරු දෙදෙනා ද, අංකුසය අතින් ගත් ගජනායක නිළමේ ද පැමිණීමෙන් අණතුරුව රජු පත්තිරිප්පුවේ පෙනී සිටිත්ම ප්‍රශස්ති ගායනා ආරම්භ වී ඇති අතර රජු මහ අදිකාරම් අමතා ඒ ඒ දිශාවල අය පෙළ ගැසී සිටින්නේ දැයි විමසන්නේ ය. ඉන් පසුව අදිකාරම්වරු ඒ වග දැන් වූ පසුව රජුගේ නියමයෙන් පෙරහැර ආරම්භ වී ඇත. අතීත රජ දවස දළදා පෙරහැරේ සංෂිප්ත කතාන්දරය එයයි.

මේ අතර වත්මන් පෙරහැර මංගල්‍යයේ නිශ්චිත ක්‍රමය පිරික්සා බලන්නේ නම් පෙරහැර මංගල්‍යයේ පළමු චාරිත්‍රය වන්නේ සතර මහා දේවාලයන්හී කප් සිටු වීමයි. පෙරහැරේ කටයුතු සාර්ථකව සිදු කිරීම සඳහා දෙවියන්ගේ ආශිර්වාදය ලබා ගැනීම පිණිස මෙම චාරිත්‍රය සිදුකරන අතර කප් සිටිවීම සඳහා කොස් ගසක් හෝ රුක් අත්තන ගසක් යොදා ගනී. මෙහිදී සිදුවන්නේ තෝරාගන්නා ලද ගස වටා ප්‍රථමයෙන් භූමිය පිරිසිදුකොට ගසට පුද පූජා කිරීමය.

ඉන් පසුව සුදුවතින් සැරසුණු විෂ්ණු දේවාලයේ ආවතේවකරුවකු විසින් සෞභාග්‍යය සංකේතවත් කරණු පිණිස කිරි වෑස්සෙන පරිදි ගස කපන අතර අනතුරුව සතර මහා දේවාලවලට බෙදා දෙනු පිණිස ඒවා කොටස් සතරකට වෙන් කිරීම සිදු කරයි. ඉන් අනතුරුව එම කොටස් දේවාල පරිශ්‍ර සතරෙහි පිහිටුවීම සිදුකරණු ලබයි. එමෙන්ම දළදා මාළිගාවේ නැකැත් මොහොට්ටාල විසින් නියම කරණු ලබන සුභ මොහොතකට අනුව මෙම චාරිත්‍රය ඉටු කෙරේ.

ඉන් පසුව ආරම්භ වන්නේ දේවාල පෙරහැරය. කප් සිටු වීමෙන් අනතුරුව පුරා දින පහක් ඒ ඒ දේවාල වටා පෙරහැර පැවැත්වීම මෙහිදී සිදුකරන අතර මෙය දේව භක්තියෙන් යුතුව සන්ධ්‍යාකාලයේදී චාරිත්‍රානුකූලව සිදුකරන්නක් ද වේ. සතර මහා දේවාලවල කපු මහත්වරුන් දේවාලයට අයත් රන් ආයුධ කප වටා වැඩම කරවන කුඩ, කොඩි, සේසත් , දවුල් සහ හොරණෑ සහිත පෙරහැර දේවාල පෙරහැර ලෙස හැඳින්වෙන අතර මේ සඳහා අලි ඇතුන් හෝ පෙරහැර ශිල්පීන් වස්ත්‍රාභරණයෙන් සැරසීමක් සිදු නොවේ. දේවාල රාජකාරී සිදුකරන ඇඳුමින් සැරසී පෙරහැරට සහභාගී වේ. තවත් විශේෂ කරුණක් වන්නේ මේ සඳහා බැතිමතුන් සහභාගී කර නොගැනීමය.

ඉන් පසුව එළඹෙන්න්නේ කුඹල් පෙරහැරයි. මෙහිදී කාරියකරවන රාළ විසින් මාළිගාව තුළ තිබෙන මුරායුධ, පලිහ, සේසත්, රිදී, උඩැක්කි, පන්තේරු සහ රිදී අත් පන්දම් ආදිය පිරිසිදුකොට ඒවාත් පෙරහැරට එක් කරමින් පෙරහැර වීදි සංචාරය කරයි. මෙය දේවාල පෙරහැරට වඩා අලංකාර වන අතර එයට ගම් දහයේ විදානේවරුන්, බෙර වාදකයන් සහ නැට්ටුවන් මෙන්ම අලි ඇතුන් ද සහභාගී වේ. මෙය කුඹල් පෙරහැර ලෙස නම්කර ඇත්තේ අතීතයේ වළං කඳක් ගත් කුඹලෙකු පෙරහැරේ ඉදිරියෙන්ම ගමන් කර ඇති නිසාවෙන් ය.

කුඹල් පෙරහැරේදී සිදු කරන්නේ දේවාල පෙරහැර පවත්වා පස්වන දිනයේදී සිව් මහා දේවාලවල බස්නායක නිලමේවරුන් ඇතුළු නිළධාරීහූ රං සිවි ගෙයක රං ආයුධ හිඳුවා එය ඇතු පිට තබා පෙරහරින් අවුත් දළදා මාළිගාව ඉදිරිපිට දේව සංහිදේදී දළදා කරඩුව සහිත රන්සිවි ගෙය වැඩමවන මාළිගාවේ ඇතා ප්‍රමුඛ පෙරහැර පෙරටුකොටගනිමින් දින පහක් වීදි සංචාරය කිරීමය. කුඹල් පෙරහැර සඳහා මාළිගාවේ දියවඩන නිළමේතුමා සම්පූර්ණ රාජකාරි ආයිත්තම් වලින් තොරව සහභාගී වීම සිදු වන අතර කුඹල් පෙරහැර, අඩක් නිම වූ පෙරහැර ලෙස ද හැඳින් වේ.

කුඹල් පෙරහැරෙන් අනතූරුව එළඹෙන්නේ ඇසළ මංගල්‍යයේ කූඨප්‍රාප්තියයි. එනම් රන්දෝලි පෙරහැරයි. පුරා දින පහක් කුඹල් පෙරහැර පැවැත්වීමෙන් අනතුරුව රන්දෝලි පෙරහැර වීදි බැසීම සිදුකරන අතර මෙය කුඹල් පෙරහැරට වඩා විශාල වන අතර අතිශය විචිත්‍ර බවින් ද යුක්ත වේ. දෙවියන් වෙනුවෙන් කැපවුණ රන් කඩුව, රන් කෙන්ඩිය ආදී දේවාභරණ දෝලාවෙහි තැන්පත් කරගෙන යැන බැවින් එය රන්දෝලි ලෙස හැඳින්වෙන බවට එක් මතයක් පවතින අතර තවත් මතයක් වන්නේ අතීතයේ රජුගේ රන්දෝලිය නැතිනම් අග මෙහෙසිය මෙම පෙරහැරේ ගමන් කර ඇති බැවින් එය රන්දෝලි පෙරහැර බවට නම්කර ඇති බවය.

කෙසේ නමුත් පෙරහැරේදී කරඩුව රැගෙන යන ඇතා සරසනු ලබන්නේ මාලිගාවේ ප්‍රධාන දොරටුව අසලදී වන අතර පළමු වෙඩි හඬ සමග සිව්මහා දේවාල පෙරහැර මාලිගාව අසලට ගමන් කිරීම ආරම්භ කරයි. එවිට පනික්කයින් ගොස් දියවඩන නිලමේ කැඳවාගෙන එනු ලබයි. දියවඩන නිලමේ නියමිත නැකතට අනුව කරඩුව පාවඩ පිට වඩම්මවන අතර  තූර්ය නාද මධ්‍යයේ දළදා කරඩුව ඇතු පිට තබනු ලැබේ.

අවසාන වෙඩි මුරයත් සමග රන්දෝලි පෙරහැර ගමන් අරඹන අතර මෙයද නොකඩවා පුරා දින පහක් සිදු කෙරේ. පෙරහැරේ පස්වන දිනය හෙවත් අවසාන දිනය මහා රන්දෝලිය ලෙස හඳුන්වන අතර එය අති උත්කර්ෂවත් අන්දමින් අති විශාල දෙස් විදෙස් ජනකායක් ඉදිරියේ පැවැත්වෙන්නකි. රන්දෝලි පෙරහැර සඳහා පහත සඳහන් අංගයන් උඩ සිට පහළට පිළිවෙලින් එකතු වේ.

පෙරහැර ආරම්භ වීමට පෙර දියවඩන නිලමේතුමාගෙන් අවසර ගත යුතු අතර පෙරහැර ආරම්භ වන්නේ නිලමේතුමා අවසර ලබා දීමෙන් පසුවය. එම නිසා දළදා පෙරහැර බාරව කටයුතු කරන කාරිය කරවන කෝරාළ, ගජනායක නිළමේ, කපු රාළවරු, ගම් දහයේ විදානේවරු, කම්කානම් රාල, මොහොට්ටාල සහ වට්ටොරුරාලලා පෙරහැර ආයිත්තම්වලින් සැරසී දියවඩන නිලමෙතුමා හමුවීමට පැමිණේ. දළදා තේවාව බාර සියලුම නිළධාරීන් දියවඩන නිළමෙතුමාගෙන් අවසර සහ ආශිර්වාද ලබා ගැනීමෙන් පසුව දියවඩන නිලමෙතුමා පෙරමුණේ රාළ අතට  ලේකම්මිටිය ද, ගජනායක නිලමේ හට රං අංකුසය ද පිරි නමයි.

පෙරහැර වෙඩිමුර පිළිබඳව ඉහත ස්ථානයක සඳහන් වූ හෙයින් ඒ පිළිබඳව තවත් කරුණු කිහිපයක් දක්වන්නේ නම්  සෑම දිනකම පෙරහැර පිටවීමට ප්‍රථම වෙඩිමුර තුනක් තැබීම සිදු කරයි. පළමු වෙඩි මුරය නිකුත්වීම සමගම සිව් මහා දේවාලවල පෙළගැසී සිටින සියලු පෙරහැර ශිල්පීහූ සහ අලි ඇතුන් නියමිත පිළිවෙලට පැමිණ මාලිගාවේ පෙරහැර සමග සම්බන්ධ වේ.

දෙවැනි වෙඩි මුරය නිකුත් වන්නේ පළමු වැන්න නිකුත් වී මද  වේලාවකින් වන අතර එහින් අදහස් කරන්නේ පෙරහැරේ සධාතුක කරඩුව ඇතුපිට තැන්පත් කළ බවය. එම කටයුත්ත සිදුකරන්නේ දියවඩන නිළමෙතුමා විසිනි. තෙවැනි වෙඩි මුරය නිකුත් වන්නේ මංගල හස්ති රාජයා දළදා පෙරහැරට එකතුවීමෙන් අනතුරුව පෙරහැර ආරම්භ වූ වග දැන්වීම සඳහා ය.

අති අලංකාර වූ දළදා පෙරහැර දළදා වීදිය, යටිනුවර වීදිය, හරස් වීදිය, කොටුගොඩැල්ල වීදිය, කන්දෙ වීදිය, ඩී.එස්. සේනානායක වීදිය ඔස්සේ මහනුවර නගරයේ වීදි සංචාරය කෙරෙන අතර අවසන් මහා රන්දෝලි පෙරහරින් පසුව  දළදා මාලිගයට නොයන දළදා පෙරහර අස්ගිරි ගෙඩිගේ විහාරයට ගොස් කරඩුව එහි තැන්පත් කරයි. ඉන් පසුව එහි ආරක්ෂාව බාර වන්නේ විෂ්ණු දේවාලයට වන අතර විෂ්ණු දේවාලයේ බස්නායක නිලමේ පිටිසර දේවාලවල නිලමේවරුන්ට තම වගකීම් ලබා දීම සිදු කරයි.

කෙසේ නමුත් තවදු ඇසළ මංගල්‍යය නිමා වී නැත. රන්දෝලි මහා පෙරහැරින් අනතුරුව අස්ගිරි ගෙඩිගේ විහාරයේ සිදුකෙරෙන පුද පූජා පැවැත්වෙන අතර ඉන් පසුව එළඹෙන්නේ දිය කැපීමේ මංගල්‍යයයි. ගැටඹේ තොටේදී දේවාල කපු මහවරුන් ඔරුවකින් මහවැලි ගඟට ගොස් ගඟ මැදදී දිය දෙබෑවන සේ රං කඩුවකින් ගසා අලුත් දිය බඳුනක් පුරවා ගැනීම මෙහිදී සිදුකරන අතර  ඉන් පසු එම ජල බඳුන රං දෝලාවෙහි තබා නැවත පෙරහැරකින් පුල්ලෙයාර් කෝවිල දක්වා ගමන් කරයි. එහි දිය බඳුන තැන්පත් කිරීමෙන් අනතුරුව අදාළ පුද පූජා කිරීම සිදුකරණු ලැබේ.

පසුදින පුල්ලෙයාර් කෝවිලෙන් දහවල් පෙරහැර පිටත්වන අතර එය ගෙඩිගේ විහාරයට පැමිණ ඉන් කරඩුව දළදා මාලිගයට වැඩම කරයි. එහිදී දළදා මාළිග චතුරස්‍රය වටා තුන් වටයක් ගමන් කර මාලිගයට ගෙවදී. නමුත් ඇසළ පෙරහැරේ චාරිත්‍ර වාරිත්‍ර එතනින් ද අවසන් නොවේ. දහවල් පෙරහැර දළදා මාළිගාවට ගෙවදීමෙන් පසුව පුරා දින හතක් වලියක් මංගල්‍යය පැවැත්වෙන අතර පෙරහැර අවසන් වීමෙන් පසුව දෙවියන්‍ හට පිංපෙත් පැමිණවීම වලියක් මංගල්‍යයයේ මූලික අරමුණය.

එමෙන්ම දළදා පෙරහැර සඳහා මූලික වී කටයුතු කළ දියවඩන නිළමෙතුමා ප්‍රමුඛ සියළුම නිලමෙවරුන්‍ටත්, ඇතුල් කට්ටලේ සහ පිට කට්ටලේ සියලුම නිළධාරීන්ටත්, නැටුම් ශිල්පීන් , අලි ඇතුන් ඇතුළු පෙරහැරේ ගමන් කළ සියලු දෙනාටත්, පෙරහැර නැරඹූ පිරිසටත්, මොනයම් ආකාරයෙන් හෝ දළදා පෙරහැර සඳහා අධාර උපකාර කළ පිරිසටත් පෙරහැරට සහභාගී වීම නිසා කිසියම් ආකාරයක වස් දොස්, අපළ උපද්‍රවයක් සිදු වූයේ නම් ඒ සියල්ල දුරු කිරීම ද මෙම ශාන්තිකර්මයේ අපේක්ෂාවකි.

මේ ආකාරයේ දහසකුත් වූ පෙරහැර කටයුතු වලින් අනතුරුව දියවඩන නිලමෙතුමා සිව් මහා දේවාලවල බස්නායක නිලමේවරු සමග රාජ්‍ය නායකයා වන ජනාධිපතිවරයා හමු වී පෙරහැර නිසි පිළිවෙත් ප්‍රකාරව සිදු කළ බව දන්වා සිටින අතර ඉන් පසුව ඇසළ මංගල්‍යයේ සියළුම කටයුතු නිමා වූවා යැයි සැලකේ. මෙම නිල කටයුත්ත සිදු වන්නේ දළදා මාලිගාව සමීපයේ ඇති ජනාධිපති මන්දිරයේ දීය.

ලිපි තුනක් ඔස්සේ ඉතා දීර්ඝ වශයෙන් සාකච්ඡා කරන ලද බෞද්ධ අපගේ මුදුන් මල්කඩේ සම්පූර්ණ කතාව නිමා කිරීමට මත්තෙන් සධාතුක කරඩුව වැඩම කරවූ හස්ති රාජයන් පිළිබඳව ද කුඩා හෝ සඳහනක් කිරීම වටී යැයි සිතුණි. සධාතුක කරඩුව ස්පර්ශ කළ හැක්කේ සිව් දෙනෙකුට පමණි. ඒ මල්වතු අස්ගිරි මහානායක හිමිවරුන් දෙපළට සහ දියවඩන නිලමේවරයා හැරුණු විට කරඩුව වඩම්වන මංගල හස්ති රාජයාට පමණි. එතරම් භාග්‍යයක් මෙම මංගල හස්ති රාජයන්ට හිමිය.

කිත්සිරි මෙවන් රජු දවස රජ රටින් ඇරඹුණු පළමු විචිත්‍ර ඇසළ පෙරහැර මංගල්‍යයේ කරඩුව වැඩමවූ මංගල හස්තිරාජයා ලෙස සැලකෙන්නේ ඵෛරාවණ නම් ඇතෙකි. පසු කාලීනව උඩරටින් ඇරඹි දළදා පෙරහැරේ වාර්තාගත පළමු හස්ති රාජයා ලෙස සැලකෙන්නේ ලෙව්කේ වලව්වේ ඇතාය. ඉන් අනතුරුව මාතලේ වෑගොඩපොළ වලව්වේ ඇතා, දළ කොටා ලෙස හැඳින් වූ පානබොක්කේ වලව්වේ ඇතා,

මහයියාවේ රත් වත්තේ වලව්වේ ගෝමර ඇතා, ඉඩම්පිටියේ ඇතා, ඇත් පන්තියේ රාජා හස්තියා, හෙයියන්තුඩුවේ රාජා, මිලන්ගොඩ රාජා, වෑවලදෙණියේ ඇතා, කතරගම වාසනා, ගංගාරාමයේ නවම් රාජා, රත්නපුර මහ සමන් දේවාලයේ ඇතා, ඉන්දි රාජා සහ නැදුන්ගමුවේ රාජා ආදී මංගල හස්ති රාජයින් රාශියක් දළදා කරඩුව වැඩමවීමේ භාග්‍ය හිමිකරගෙන ඇත.

කෙසේ නමුත් මෙම මංගල ඇත් රාජයින් අතරින් සුවිශේෂී ඇත් රාජයෙක් ලෙස සැලකෙන්නේ මාලිගාවේ ඇත් පන්තියට අයත් හස්තියෙකු වූ රාජා හස්තියාය. අනෙකුත් ඇත් රාජයින්ට වඩා දීර්ඝ කාලයක් කරඩුව වැඩමකරවීමේ භාග්‍ය හිමිකරගෙන ඇති රාජා පිළිබඳව ඉතිහාසයේ ඉතා පූජනීය වූ රසවත් සිදුවීම් රාශියක් ද ලියැවී ඇතිමුත් එම කරුණු වෙනම ලිපියක් මඟින් සාකච්ඡා කළ යුතුය.

ජනාධිපති සහ දියවඩන නිළමේ සමග රාජා හස්තියා

රාජා 1986 දී මිය යන අතර 1986 අගෝස්තු මස 26 වන දා රාජා ජාතික වස්තුවක් ලෙස ද ප්‍රකාශයට පත්කර ඇත. එවන් ඇගයීමක් හිමි වූ ආසියාවේ ප්‍රථම හස්තියා ද ලෝකයේ දෙවන හස්තියා ද රාජා හස්තියා වී ඇත. කෙන්‍නියාවේ අහමඩ් නම් හස්තියා මෙම ඇගයීම හිමි වූ ලෝකයේ ප්‍රථම හස්තියා වන බව ද ඔබගේ දැනගැනීම පිණිස සඳහන් කරමි.

අහමඩ්

ශ්‍රී දළදා වහන්සේගේ සම්පූර්ණ සංෂිප්ත කොට දැක් වූ කතාන්දරය මින් නිමාවට පත්වන අතර මෙවරද අති උත්කර්ෂවත් අන්දමින් මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යය පැවැත්වීමට නියමිත අතර ඒ පිළිබඳ සම්පූර්ණ විස්තරය පහත ලිපිය ඔස්සේ ඔබට පරිශීලනය දැනගත හැකිය.

හෙළයේ මහා මංගල්‍යයට දින තීන්දුයි
මහනුවර ශ්‍රී දළදා ඇසළ මංගල්‍යය යනු ශ්‍රී ලංකාවේ බෞද්ධ බැතුමතුන්ගේ නොමද ගෞරවාදරයට පත් සහ දිගු ඉතිහාසයක් සහිත ප්‍රධානතම සංස්කෘතික මංගල්‍යය වන අතර

Latest