අපේ රට දැවැන්ත ආර්ථික අර්බුධයකට ලක් වෙමින් පවතින කාලයක රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ලෝකය වටේ ගොස් කියන්නේ මොනවාද යන්න සිහි බුද්ධියක් ඇති සිතා බැලිය යුතුව ඇතැයි ශ්‍රී ලංකා පරිපාලන ආයතනයේ හිටපු උපදේශක මහචාර්ය ශාන්ත ජයරත්න මහතා සදහන් කරයි.
ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වන ශාන්ත ජයවර්ධන මහාචාර්ය වරයා මෙසේද කියා සිටී.
පසුගිය සැප්තැම්බර් 15 වන දා කියුබාවේ හවානාහිදී පැවති G77 සමුළුව, ඉන් පසු සැප්තැම්බර් 21 වන දා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහා මණ්ඩල සැසිය (UNO) සහ සැප්තැම්බර් 27 වන දා ජර්මනියේ පැවති බර්ලින් ග්ලෝබල් ඩයලොග් (Berlin Global Dialogue) සමුළුව යනාදි අවස්ථා වලට සහභාගි වී ජනාධිපති රනිල් වික්‍රමසිංහ ලෝක නායකයින්ගේ ඇස් උඩ යන දේශන කිහිපයක්ම ලබා දෙන ආකාරයක් දකින්නට ලැබුණි. ආර්ථික කළමනාකරණයේදී අනුගමනය කල යුතු මාර්ගෝපදේශ රාශියක්ද ජනාධිපතිවරයා මෙහිදී කියා සිටියේය.
ඊට අමතරව නොබැඳි විදේශ ප්‍රතිපත්තිය, ප්‍රජාතන්ත්‍රවාදයේ මූලධර්ම යනාදිය පිළිබඳ තමා තරම් දන්නා කියන, පළපුරුදු පාලකයකු ලෝකයේ තවත් නැති තරම් බව ඔප්පු කිරීමට ඔහුගේ කතා වලින් විශාල උත්සාහයක් ගන්නා බවක්ද පෙනෙනට තිබුණි.රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා චීන ජනාධිපති ෂී ජින් පින් ටත් එහා යමින්,චීනය වෙනුවෙන් අදහස් දැක්වීමට මහත් වෙහෙසක් ගන්නා බව පේන්නට තිබුණි. රනිල්ගේ කතාවට අමෙරිකානු රාජ්‍ය ලේකම් ඇන්තනී බ්ලින්කන්ට (Antony Blinken) හීන් දාඩිය දමන්නට ඇත. ඒ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා මේ කියනා කිසිවක් ඔහුගේ භාවිතාව තුල දකින්නට තිබෙනවා ද? කියා හිතුණු නිසා වන්නට ඇති. මෙවැනි කතා වලට නම් ජනවහරෙ කියන්නේ "ලෝකෙට පරකාසේ, ගෙදරට මරගාතේ" කියලාය.
රනිල් වික්‍රමසිංහගේ ආර්ථික අර්බුද කළමනාකරණ ක්‍රමවේදය කුමක්ද කියා අවබෝධ කරගැනීම ඉතා පහසුය. පසුගිය දා මුදල් අමාත්‍යාංශය විසින් 2023 දෙවන කාර්තුවට අදාළ රජයේ ණය තොරතුරු පිළිබඳ බුලටීනය (Quarterly Debt Bulletin -June 2023) කියවන අයට එය හොඳින් අවබෝධ කර ගත හැක. https://www.treasury.gov.lk/api/file/b2f730c6-e436-47af-b2c7-a434c18189bb
එහි දක්වා ඇති දත්ත විශ්ලේෂණය කිරීමේදී පෙනී යන්නේ ලංකාව රටක් හැටියට එන්න එන්නම ණය වෙමින්, ගොඩ ඒමට නොහැකි මට්ටමට සීඝ්‍රයෙන් රට ගමන් කරන ආකාරයයි. මෙය නවතා නොගත හොත් අනාගතයේ රටේ ජනයාට අත්විඳීමට සිදුවන්නේ මහා ඛේදවාචකයකි. එය බොහෝ අයට තවමත් තේරුම් නොයාම පුදුමයට කරුණක් වී ඇත. ආර්ථික සුනාමිය ආ විට ඔවුන්ට එය හොඳින් දැනේවි. ලබන වසරේ මුල් කාර්තුවේ එය බොහෝ දුරට ඒමට ඉඩ තිබෙන බවට වේලාසන අනතුරු හඟවා තැබීම සුදුසු යැයි සිතමි.
2022 වසර අවසානය වන විට ඩොලර් මිලියන 84,703 ක් වූ රජයේ සම්පූර්ණ ණය තොගය, 2023 මාර්තු මස අවසානය වන විට ඩොලර් මිලියන 91,938 ක් දක්වා ඉහළ ගොස් ඇත. 2023 දෙවන කාර්තුව වන විට (මාර්තු -ජුනි) එය තව දුරටත් වර්ධනය වෙමින් ඩොලර් මිලියන 96,453 ක් වී ඇත. මේ අනුව පෙනී යන්නේ 2023 පළමු මාස 6 දී රජයේ ණය බර ඩොලර් මිලියන 11,750 කින් වැඩි වී ඇති බවකි (ඩොලර් බිලියන 11.7). මෙම ආර්ථික කළමනාකරණයට රනිලානොමික්ස් (Ranilanomics) හෙවත් රනිල්ගේ ආර්ථික විද්‍යාව යැයි සමහරු කියති. ලෝකය වටේ යමින් විදේශ රටවල නායකයින්ට, රාජ්‍ය තාන්ත්‍රික නිළධාරීන්ට ආර්ථිකය ගැන දේශන දෙන ලංකාවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ තමන්ගේ රටේ ආර්ථිකය කළමනාකරණය කරන්නේ කෙසේද කියා අපට හොඳින් පෙන්වා දී ඇත.
පසුගිය දා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිලධාරීන් ඔවුන්ගේ පළමු සමාලෝචනය අවසානයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී එහි කණ්ඩායම් ප්‍රධානි පීටර් බෘවර් ප්‍රකාශ කළ කරුණු අනුව ඉදිරියේදී විශේෂයෙන්ම ඉන්ධන ගාස්තු, විදුලිය ගාස්තු, සහ යම් බදු ප්‍රතිශත ඉහළ යෑමට ඉඩ තිබෙන බවට ඉඟි සැපයූවේය. රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත ඉදිරිපත් කල සංඛ්‍යා දත්ත මත පදනම්ව සකස් කල ණය ප්‍රතිව්‍යුහගතකරණ සැළැස්මේ රජයේ ආදායම් ඉලක්ක සැපිරීම දුෂ්කර බව පීටර් බෘවර්ගේ ප්‍රකාශ වලින් පැහැදිලි විය. මුදල් අමාත්‍යාංශය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට බොරු ඉලක්කම් ලබා දී ඔවුන්ව "ගොනාට අන්දවා" ඇති බව පීටර් බෘවර්ගේ කතාවේ යටි පෙළ කියවීමේදී මනාව පැහැදිලි විය.
රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධුරයට තෝරා ගැනීම සාධාරණීකරණය කිරීමට පොහොට්ටු නායකයින් ප්‍රකාශ කළේ කඩා වැටුණු ආර්ථිකය යලි ගොඩ ගැනීමට රනිල් වික්‍රමසිංහ තරම් දක්ෂයෙක් තවත් අපේ රටේ නොසිටි බවය. ඊළඟ මැතිවරණය නිවේදනය කිරීමෙන් පසු පොහොට්ටු නායකයින් මෙසේ කියණු ඇත. " අපිට නැවත වැරදුනා. අපි 2019 ගෝඨාභය ගෙන ආවේ ජාතික ආරක්ෂාව ඇති කිරීමට . එය ඔහු හොඳින් කළත් ආර්ථිකය කඩා වැටුණා. රනිල් වික්‍රමසිංහ ගෙනාවේ ආර්ථිකය ගොඩ දැමීමට . ඔහුට එය කිරීමට නොහැකි බව දැන් පැහැදිළියි . එමනිසා අපි "අහවලා" ගෙන ආවේ ආර්ථිකය ගොඩ ගැනීමට යි." රටේ ජනයා මොවුන් කෙරෙහි තවත් විශ්වාසය තබා කටයුතු කරයි කියා නොසිතමි.
ඇත්ත වශයෙන්ම පොහොට්ටු නායකයින්ට එදා අවශ්‍ය වූයේ ආර්ථිකය බේරා ගැනීමක් හෝ රට බේරා ගැනීමක් නොව ඔවුන්ගේ ජීවිත බේරා ගැනීමය. මෙය රටේ බොහෝ අයට එදා තේරුම් ගියේ නැත. පොහොට්ටු නායකයිනට එදා අවශ්‍ය වූ සියල්ල හොඳින් ලබා දීමට රනිල් වික්‍රමසිංහ කටයුතු කළේය. රනිල් වික්‍රමසිංහගේ ප්‍රධාන කොන්ත්‍රාත්තුව දැන් අවසන් ය. දැන් ඔහු ක්‍රියාත්මක කරන්නේ එකළ ඔහු හඳුන්වා දුන් "යලි පුබුදමු ශ්‍රී ලංකා "(Regaining Sri Lanka ) වැඩසටහනේ දෙවන පරිච්ඡේදය යි.
එනම්,රාජ්‍ය සම්පත් විකිණීම, ඊට විරුද්ධ වන්නන් මර්ධනය කිරීම හා ලංකාවේ භූමිය කැබලි වලට කඩා රටවල් කිහිපයකට බෙදා දීම යි. රනිල් වික්‍රමසිංහ 2048 පෝසත් රටක් හදනවා කියන්නේ එයයි. ඒ වන විට ඔහුගේ වයස අවුරුදු 100 කට වඩා වැඩිය. සුරංගනා කතා වලට රැවටෙන ලංකාවේ සම+ හරක්ට මේවා හොඳ සුරංගනා කථාය. කවදා හෝ ලංකාවට වන්නේ සූඩානයට, හයිටියට වූ දෙයට සමාන තත්ත්වක් බව නම් පැහැදිළිය.
ආර්ථික කළමනාකරණය යනු ණය නොගෙවා සිටීම ද? 2022 අප්‍රේල් 12 වන දින සිට මේ දක්වා විදේශ ණය (බහු පාර්ශවීය ණය හැර) කිසිවක් ගෙවා නැත. පසුගිය 2022 වසරේ ඩොලර් මිලියන 2,800 කට මදක් වැඩි මුදලක්ද , 2023 වසර සඳහා ගෙවිය යුතු ඩොලර් මිලියන 5,200 කට මදක් වැඩි මුදලක්ද මෙතෙක් ගෙවා නැත. එම මුදල් රටේ ඉතිරි වී තිබිය යුතුය. එහෙත් රටේ විදේශ සංචිත වල දැනට ඇත්තේ ඩොලර් මිලියන 3,000 කි. ඉන් භාවිතයට ගත හැක්කේ ඩොලර් මිලියන 1,300-1,500 අතර ප්‍රමාණයකි. චීන රජය විසින් මුදල් හුවමාරු ණය ක්‍රමය යටතේ (Currency Swap ) ලබා දී ඇති ඩොලර් මිලියන 1,500 වියදම් කිරීමට රජයට මෙතෙක් අවසර දී නැත. ජනාධිපති රනිල් වික්‍රමසිංහ ලෝක නායකයින්ට උපදෙස් දෙන්නේ ණය නොගෙවා තම ආර්ථික අර්බුද කළමනාකරණ කර ගන්නා ආකාරය විය හැක. ණය නොගෙවා වුවද, ඔහුට කල හැකි ආර්ථික කළමනාකරණයක් නැත. ඔහුට මරදානේ "චොප්පේ" ලෙස තව කෙතරම් කල් මෙසේ යා හැකිද කියා සැක සහිත ය.
රනිල් වික්‍රමසිංහ ප්‍රජාතන්ත්‍රවාදයේ වැදගත්කම පිළිබඳ UN සැසියේදි ලෝක නායකයිනට පාඩමක් කියා දෙනවා දුටිමි. ඔහු උදාහරණයට ගත්තේ පසුගිය කාලයේ ලංකාවේ පැවති නිරායුධ සිවිල් අරගලය යි. රනිල් වික්‍රමසිංහට අනුව අරගලය ප්‍රජාතන්ත්‍රවාදයට එල්ල වූ තර්ජනයකි. අරගලය පිටුපස සිට ක්‍රියාත්මක කල පුද්ගලයාම, ඒ හරහා ජනාධිපති පුටුවට නැග ගෙන දැන් අරගලය දකින්නේ ප්‍රජාතන්ත්‍රවාදයට එල්ල වූ තර්ජනයක් ලෙස ය. ඔහු ලෝක නායකයින්ට ප්‍රකාශ කලේ බලය යොදා එම අරගලය මර්ධනය කිරීමට ඔහුට සිදු වූ බවකි. සැසියේ වාඩි වී සිටි ලෝක නායකයිනට මෙවැනි කතා ඇසෙන විට දෙකොනින් ගිය හිනාව නවතා ගැනීමට නොහැකිව ශාලාවෙන් පිටවී ගොස් තිබුණි ද කියා මට සිතුණි. මන්ද , රනිල් වික්‍රමසිංහ UNO සැසිය අමතන අවස්ථාවේ සමුළු ශාලාවේ 80% ක් පමණ අසුන් හිස්ව පැවති බව පසුව සංසරණය වු ඡායාරූපයක් දැකීමෙන් පෙනී ගිය නිසාය.
ප්‍රජාතන්ත්‍රවාදය ගැන දේශන දෙන රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා මහ ජනයාගේ භාෂනයට සහ අදහස් ප්‍රකාශ කිරීමට තිත තැබීම සඳහා හෙට අනිද්දා මාර්ග ගත ක්‍රමවල සුරක්ෂිත භාවය තහවුරු කිරීමේ පනත (සමාජ මාධ්‍ය මර්ධන පනත) නමින් පනතක් කෙටුම්පත් කොට පාර්ලිමේන්තුවට ගෙන ඒමට සුදානම් වෙයි.ඊට අමතරව ත්‍රස්ත විරෝධි පනත නමින් තවත් පනතක් සම්මත කරගැනීමට සූදානමින් සිටී. මෙම පනත් දෙකම ප්‍රජාතන්ත්‍රවාදයට මරු පහරක් වනවාට අමතරව රටේ ජනයාට තම කට සහ පෑන පාවිච්චි කිරීමට දැඩි ලෙස සීමා කිරීමට හේතු වනු ඇත. නැත්නම් "රනිල් හරි" කීමට පමණි. ඔහුගේ කතා වලට අත්පුඩි ගැසීම හෝ ගුණ වැයීම පමණි. රනිල් වික්‍රමසිංහගේ ප්‍රජාතන්ත්‍රවාදය මෙය බව ලෝක නායකයින් මේ වන විට අවබෝධ කරගෙන ඇත. මොහුගේ ප්‍රකාශ හරසුන් හිස් වචන බව ලංකාවේ සම + හරක් ජනයා නොදන්නවා වුවත් ලෝක නායකයින් බොහෝ දෙනෙකු හොඳින්ම දනී.
ලංකාවේ නැගෙනහිර සහ උතුරු පළාත් ඉන්දියාවට සින්නක්කරයට ලියා දීමට අවශ්‍ය කටයුතු මේ දිනවල සිදුවෙමින් ඇත. එම ප්‍රදේශ වල ඇති ස්වාභාවික සම්පත්, සාගර සම්පත් සහ ඉඩකඩම් අක්කර දස දහස් ගණනක භුක්තිය ඉන්දියාවට පවරා දීමට රනිල් වික්‍රමසිංහ කටයුතු කරන්නේ ඔහුගේ නොබැඳි විදේශ ප්‍රතිපත්තියේ කොටසක් ලෙසද? ඉන්දියාව සමග එසේ ගණු දෙණු කරද්දී චීනයේ නාවුක පර්යේෂණ නෞකාවක් සඳහා ලංකාවේ සාගර කලාපයට ඇතුළු වීමට ඉඩ දීමත් සමග ඉන්දියාවේ කනස්සල්ල පලකොට ඇත. මේවා රනිල් වික්‍රමසිංහගේ නොබැඳි විදේශ ප්‍රතිපත්ති කෙසේ වෙතත්, තිබෙන දෙයක් විකුණා කීයක් හෝ ලබා ගැනීමට කරන්නාවූ තක්කඩි දේශපාලන උප්පර වැට්ටිය.
ලංකාවේ ඉන්ධන ආනයනය, බෙදා හැරීම සහ අලෙවිය ඉන්දියාව , චීනය සහ අමෙරිකානු සමාගම් වලට ලියා දෙන්නේ රනිල්ගේ නොබැඳි ප්‍රතිපත්තිය නිසාද? තෙල් පිරවුම් හල් 300 ක් සමග ත්‍රීකුණාමළ චීන වරාය තෙල් ටැංකි සංකීර්ණය ඉන්දියාවට පවරා දී සෑහෙන කාලයක් ගත වී ඇත. රටේ ජනයා නිශ්ශබ්දව සිටින තාක් කල් රනිල් වික්‍රමසිංහගේ විදේශ ප්‍රතිපත්තිය නමින් කරගෙන යන රටේ සම්පත් විකිණීම ජයටම සිදුවනු ඇත. රනිල් වික්‍රමසිංහ මේ වසරෙ අලෙවි කරගත හැකි සියල්ල විකුණා දැමූ පසු ලබන වසරේ විකුණන්නේ මොනවා ද? ලබන වසර වන තුරු මෙවැනි දුෂ්ඨ, කයිවාරු කාර නායකයින් රාජ්‍ය පාලනයේ තවදුරටත් තබා ගත යුතුද? මෙම පාලකයන් කරන්නාවූ විනාශය සුළු පටු නොවන බව රටේ ජනයා කවදා හෝ තේරුම් ගනු ඇත. එය වැඩි ඈතක නොවන බව දනිමි . එතෙක් ඉවසීමෙන් බලා සිටිමි.