Skip to content

ශාන්ත අන්තෝනි බාලිකා විදුහල්පතිනිය ගේ අපේක්ෂිත ඇප අයදුම්පත ප්‍රතික්ෂේප වේ.

කූඨ ලේඛණ උපයෝගි කර ගනිමින් කටුගස්තොට ශාන්ත අන්තෝනි බාලිකාවේ අතර මැදි පන්ති වලට සිසුන් ඇතුළත් කළ බව කියන සිද්ධියේ සැකකාරියක වන එම බාලිකාවේ හිටපු විදුහල්පති පී.කේ.ආර්.සී රණසිංහ නැමැති අය නීතීඥයින් මගින් ගොනුකළ අපේක්ෂිත ඇප ඉල්ලුම් පත මහනුවර අතිරේක මහේස්ත්‍රාත් මොහොමඩ් රාෆි මහතා විසින් ඊයේ (05) ප්‍රතික්ෂේප කරනු ලැබීය.

පසුගිය 28 වැනි දින ආදළ නඩුව කැඳවූ අවස්ථාවේ විදුහල්පතිනිය වෙනුවෙන් පෙනී සිටි නීතීඥ මහත්වරු අපේක්ෂිත ඇප අයදුම්පතක් ඉදිරිපත් කළ අතර ඒ සම්බන්ධ තීන්දුව 05 දින ප්‍රකාශ කරන බව අතිරේක මහේස්ත්‍රාත්වරයා දැනුම් දුන්නේය.

ඒ අනුව අදාළ අපේක්ෂිත ඇප අයදුම් පත සම්බන්ධයෙන් වන තීන්දුව ලබා දෙමින් අතිරේක මහේස්ත්‍රාත් මොහොමඩ් රාෆි මහතා විසින් එය ප්‍රතිකෂේප කරනු ලැබීය.

පාසලට ළමුන් ඇතුළත් කිරීම සඳහා කූඨ ලේඛණ සකස් කර දුන් බවට දෙමව්පියන් ලබාදුන් ප්‍රකාශ පදනම් කර ගනිමින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබූ පුද්ගලයා සමඟ විදුහල්පතිනිය දුරකතන මගින් සම්බන්ධතා පවත්වා තිබෙන බව පොලීසිය අධිකරණයට වාර්තා කර තිබිණි.

මෙයට අමතරව ළමුන් ඇතුළත් කර ගැනීම සඳහා රුපියල් 50000 සිට ලක්ෂ 03 ක් දක්වා වූ මුදලක් විදුහල්පතිනියට ලබා දී තිබෙන බව දෙමව්පිය සාක්කි මගින් අනාවරණය වී ඇතැයි ද පොලීසිය අධිකරණයට දැනුම් දී ඇත.

මහනුවර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී චමිල් රත්නායක මහතා ගේ උපදෙස් මත මහනුවර මූලස්ථාන පොලීසියේ විශේෂ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඩබ්ලිව්.එම්.එස් උවින්දසිරි,පෙලිස් සැරයන් හෙට්ටිආරච්චි යන නිලධාරීන් සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කළහ.නඩුව සැප්තැම්බර් මස 27 දින යළි කැඳවීමට නියමිතය.

Latest