Skip to content

නව විදුලි ගාස්තු යෝජනා ප්‍රකාශයට පත්කිරීම ජූනි 01

නව විදුලි ගාස්තු පිළිබඳව මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා අද පෙරවරුවේ මාධ්‍ය හමුවක් කැදවමින් පැවසුවේ, ශ්‍රී ලංකා විදුලිබල පනතේ 30 වන වගන්තිය සහ මහජන උපයෝගිතා කොමිෂන් සභා පනතේ 17 වන වගන්තිය අනුව ගාස්තු සංශෝධනයකදී සියලු පාර්ශ්වයන්ගේ අදහස හා යෝජනා වලට ඇහුම්කන් දිය යුතුයි.

ඒ අනුව දැනට ලංවිම ඉදිරිපත් කර ඇති සියයට 3 ක ගාස්තු අඩුකිරීමේ යෝජනාව හා කොමිෂන් සභාව විසින් ඉදිරිපත් කරන විකල්ප යෝජනාව පිළිබද මහජනතාවගෙන් අදහස් හා යෝජනා කැදවනවා. කොමිෂන් සභාවේ ගාස්තු යෝජනාව ජුනි 1 වැනි දින ප්‍රකාශයට පත් කරනවා. එතැන් සිට ජුනි 20 වැනි දින දක්වා මහජනතාවට සිය අදහස් හා යෝජනා ලිඛිතව ඉදිරිපත් කළ හැකියි. ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් වාචික අදහස් දැක්වීමටද අවස්ථාව හිමිවනවා. සියලු පාර්ශ්වයන්ට අපි ආරාධනා කරනවා මෙම ගාස්තු සැකසීමේ ක්‍රියාවලියට සක්‍රියව දායක වෙන්න කියලා. මන්ද බොහෝ දෙනා ඉදිරිපත් කරන සාධනීය යෝජනා අවසන් ගාස්තු ක්‍රමයට ඇතුළත් කළ හැකි නිසා.
මීට පෙර ආසන්නව සිදුවු ගාස්තු ඉහල දැමීම නිසා අඩු පරිභෝජන කාණ්ඩ දැඩි අපහසුතාවට පත්ව ඇති බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා පෙන්වා දුන්නා.
ගෘහස්ත අංශයේ ලක්ෂ 50කට ආසන්න පාරිභෝගික සංඛ්‍යාවකට පසුගිය ගාස්තු ඉහල දැමීම දරාගන්න නොහැකි වුණා. අපි මුලින් යෝජනා කරල තිබු සියයට 35ක ගාස්තු ඉහල දැමීම වෙනුවට සියයට 66 කින් ගාස්තු ඉහල දැමීම නිසයි ඒ තත්වය උදා වුණේ. ඉදිරි ගාස්තු සංශෝධනයේදී මේ පාරිභෝගිකයින්ට සාධාරණය ඉටු කිරීම සදහා අපි පියවර ගන්නවා.

ඒ වගේම ආගමික ස්ථානවලටත් දරාගත හැකි ආකාරයට ගාස්තු අඩු කල යුතුයි. රටට විදේශ විනිමය උත්පාදනය කරන අංශ කෙරෙහි ද අවධානය යොමු කරනවා. සංචාරක කර්මාන්තය, අපනයන කර්මාන්ත ආදිය තිරසර ලෙස පවත්වාගෙන යාමට නම් බලශක්ති පිරිවැය හැකි තරම් අඩු කල යුතු බවයි රත්නායක මහතා වැඩිදුරටත් සදහන් කළේ.

Latest