Skip to content

නෙදර්ලන්තයට පහසු ඉලක්කයක්

2023 ලෝක කුසලානය සඳහා සුදුසුකම් ලැබීමේ තරඟාවලියේ අවසන් මහා තරඟය අද දින පස්වරු 12.30 ට ශ්‍රී ලංකා කණ්ඩායම සහ නෙදර්ලන්ත කණ්ඩායම අතර හරාරේහී දී ආරම්භ වූ අතර

කාසියේ වාසිය දිනාගත් නෙදර්ලන්ත කණ්ඩායමේ ඇරයුමින්  අපරාජිතව තරඟාවලිය නිමා කිරීම සඳහා තරඟයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 47 යි පන්දු 5 ක් අවසානයේ කඩුළු සියල්ල දැවී ලකුණු 233 ක් රැස්කිරීමට හැකි විය. නමුත් වෙනදා මෙන් ඉතා හොඳ ආරම්භයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට නොහැකි වූ අතර

දිමුත් කරුණාරත්නගේ ආබාධය හේතුවෙන් ඔහු වෙනුවට සදීර සමරවික්‍රම අද දිනයේ පැතුම් නිශ්ශංක සමගින් ඉනිම ආරම්භ කරන ලදී.  නමුත් සදීර ලකුණු 19 කට දැවී යන්නට විය. එමෙන්ම පැතුම් නිශ්ශංක හට ලබා ගැනීමට හැකි වූයේ ද ලකුණු 23 ක් පමණි.

කෙසේ නමුත් ආරම්භක පිතිකරුවන්ගේ දැවී යෑමෙන් පසු පිටියෙහි එක් වූ කුසල් මෙන්ඩිස් සහ සහන් ආරච්චිගේ කෙමෙන් කෙමෙන් ශ්‍රී ලංකා ඉනිම සංයමයෙන් ගොඩනගන්නට වූ අතර ඒ අතරතුර තෙවන කඩුල්ල ලෙස  කුසල් මෙන්ඩිස් ලකුණු 43 කට දැවී යන්නට වූයේ ප්‍රධාන ලකුණු පුවරුව පන්දුවාර 23 කට ලකුණු 116 ක් වූ විටය.

මීට පෙර කොදෙව් කණ්ඩායම සමග පැවති තරඟයේදී එක්දින වරම් හිමි කරගත් සහන් ආරච්චිගේ මෙම තරඟයේදී සිය ප්‍රථම එක්දින ඉනිම ක්‍රීඩා කළ අතර ඔහු කුසල් මෙන්ඩිස් සහ චරිත් අසලංක සමග එක්ව ඉතා හොඳ සම්බන්ධතා පවත්වමින් ලකුණු 57 ක් රැස් කිරීමට සමත් විය. නමුත් ඔහුගේ දැවී යාමෙන් පසු නැවතත් තරඟයට අවතීර්ණ වීමට නෙදර්ලන්ත කණ්ඩායමට හැකි විය. ඉතා අවාසනාවන්ත දුවද්දී දැවී යෑමකට හසු වූ චරිත් අසලංකට ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 36 ක් පමණි.

තරඟාවලිය පුරාවටම පිත්තෙන් නැවත නැවතත් අසමත් වූ නායක දසූන් ශානක ඔහුගේ පිතිකරණය පිළිබඳව ප්‍රශ්නාර්ථයක් එක් කරමින් හයවන කඩුල්ල ලෙස ලකුණු එකකට දැවී යන්නට වූයේ ප්‍රධාන ලකුණු පුවරුව පන්දුවාර 36 යි පන්දු හතරකට 183 ක් වූ විටය. ධනංජය සිල්වා හට ද ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 4 ක් පමණි.

තරඟයේ අවසාන භාගයේදී හුදෙකලා සටනක නිරත වූ වනිදු හසරංග අවශ්‍යම මොහොතේ සාපේක්ෂ වශයෙන් ඉතා හොඳ වේගවත් ඉනිමක් ක්‍රීඩා කරමින් ලකුණු ක් 29 ද, පිතිකරුවකු වශයෙන් නැවත වතාවක් තම දක්ෂතාවය පෙනුම් කළ මහීෂ් තීක්ෂණ අවශ්‍යම මොහොතක තරඟය ඉදිරියට පවත්වාගෙන යමින් ලකුණු 13 ක් ද රැස් කරමින් ශ්‍රී ලංකා ඉනිම ශක්තිමත් කරන්නට විය. විශේෂත්වය වූයේ මෙම තරඟයේදී ද ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර පනහ ක්‍රීඩා කිරීමට නොහැකි වීමය.

කෙසේ නමුත් තරඟයේ ශ්‍රී ලංකා ප්‍රථම ඉනිම නිමාවට පත් වීමෙන් පසු විස්තර විචාරකයන්ගේ අදහස වූයේ ශ්‍රී ලංකා පන්දු බලඇණිය සමඟ මෙම තරඟය ජය ගැනීම නෙදර්ලන්ත කණ්ඩායමට පහසු නොවන බවය. නමුත් මේ වන විට තරඟයේ වැඩි වාසි හිමිව ඇත්තේ නෙදර්ලන්ත කණ්ඩායමට වන අතර මන්ද ඔවුන්ට හිමිව ඇති ඉලක්කය ලකුණු 234 කි.

Latest