Skip to content

ඉන්දියාවේ අගනුවර අසළම ප්‍රදේශයක් ඇවිලෙයි

මනිපූර් ප්‍රාන්තයේ ප්‍රචණ්ඩ ක්‍රියා තවදුරටත් සිදුවන අතරවාරයේ, ඉන්දියාවේ හර්යානා ප්‍රාන්තයේ නූ (Nuh) දිස්ත්‍රික්කයෙහි ජූලි 31 වනදා හටගත් ගැටුම් උත්සන්න වන අවදානමක් මතුව තිබේ.

දිල්ලියෙන් කිලෝමීටර් 85 ක් තරම් මෑතින් පිහිටි ප්‍රදේශයක් වන බැවින් නූ දිස්ත්‍රික්කයේ ගැටුම් ඇතිවීම මධ්‍යම රජයට ද වඩාත් සමීපව දැනෙනු නිසැක ය​. මේ අතර, ප්‍රචණ්ඩ ක්‍රියා අගනුවරට වඩාත් සමීප ප්‍රදේශයන් කරා ද පැතිර ගොස් තිබේ.

නූ දිස්ත්‍රික්කය හර්යානා ප්‍රාන්තයේ දිස්ත්‍රික්ක 22 න් මුස්ලිම් බහුතරයක් වසන එකම දිස්ත්‍රික්කය වේ. එහි ජනගහනයෙන් ආසන්න වශයෙන් සියයට 80 ක් මුස්ලිම්වරුන් ය​. ජූලි 31 වනදා ඇතිවූ ගැටුම්වලට මුල් වූයේ භාරතීය ජනතා පක්ෂය සමග ද සබඳතා ඇති විශ්ව හින්දු පර්ශදය විසින් එම ප්‍රදේශයෙහි සංවිධානය කර තිබුණු පෙරහරකට එල්ල වූ ප්‍රහාරය යි.

නූ (Nuh) ප්‍රදේශය, Gurugram ආදී ප්‍රදේශ නව දිල්ලියට එතරම් ඈත නොවේ (Google Maps)

ජූලි 31 වනදා දහවල් යාමයේ ආරම්භ වූ මෙම පෙරහර කිලෝ මීටර් පහක් පමණ ගමන් කළ අවස්ථාවේ එය හරස් කළ පිරිසක් ගල් මුල්වලින් පහර දී තිබේ. එවිට පෙරහැරට සම්බන්ධ වූ අය වෙතින් ද ප්‍රතිප්‍රහාර එල්ල වී ඇත​. මෙම තත්ත්වය දරුණු ගැටුමක් දක්වා වර්ධනය වූ අතර ඉන් අනතුරුව කලහකරුවෝ ප්‍රදේශයේ කඩ සාප්පු සහ පොදු ප්‍රවාහන සේවා බස් රථ ඇතුළු වාහනවලට ද පහරදෙමින්, ගිනි තබමින් කෝලාහල ඇතිකළ හ​.

තත්ත්වය පාලනය කිරීමට ගිය පොලිස් සාමාජිකයන් දෙදෙනකු ඇතුළු පස්දෙනෙකු එදින මියගිය බව සඳහන් වූ අතර 50 කට වැඩි පිරිසක් තුවාල ලබා තිබුණි. එමෙන්ම ප්‍රචණ්ඩ ක්‍රියා හර්යානා හි වාණිජ මධ්‍යස්ථානය වන ගුරුග්‍රාම් (ගුර්ග​ඕන්) හි දිස්ත්‍රික්කයක් කරා ද පැතිර ගියේ ය​.

තත්ත්වය පාලනය කිරීම සඳහා බලධාරීන් විසින් අතිරේක පොලිස් කණ්ඩායම් කැඳවන ලදී. එමෙන්ම නූ දිස්ත්‍රික්කයේත්, ගුරුග්‍රාම් ඇතුළු ආසන්න ප්‍රදේශවලත් අනීතික ජනරාශිය තහනම් කරමින් නියෝග​ පනවන ලද අතර ජූලි 31 රාත්‍රිය මුළුල්ලේ මෙහෙයුම් සිදුකරමින් මෙම සිද්ධීන්ට සම්බන්ධ යයි සැක කළ පුද්ගලයන් අත්අඩංගුවට ගන්නා ලදී. හර්යානා පොලිසිය හින්දු සහ මුස්ලිම් ප්‍රජා නායකයින් සමග සාකච්ඡා කරමින් තත්ත්වය පාලනය සඳහා පියවර ගත්තේ ය​. මේ අතර පාසැල් සහ අනෙකුත් ආයතන සඳහා නිවාඩු ලබාදීමට ද ප්‍රාන්ත රජය ක්‍රියා කළේ ය​. ගැටුම් ඇතිවූ ප්‍රදේශයේ අන්තර්ජාල පහසුකම් ද අවහිර කරනු ලැබුණි.

හර්යානා ප්‍රාන්තය පාලනය කරනු ලබන්නේ භාරතීය ජනතා පක්ෂය ප්‍රමුඛ සභාග ආණ්ඩුවක් විසිනි. හර්යානා මහ ඇමති මනෝහර් කට්ටර් නූ හි ප්‍රචණ්ඩ ක්‍රියා පිළිබඳ සඳහන් කරමින් කියා සිටියේ වැගැකිව යුත්තන්ට එරෙහිව කඩිනම් පියවර ගන්නා බව ය​. මේ අතර අභ්‍යන්තර කටයුතු ඇමති අනිල් විජ්, මෙම ප්‍රචණ්ඩ ක්‍රියා පිටිපස කිසියම් කුමන්ත්‍රණයක් වේ යැයි සැක පළ කළේ ය​. ඔහු සඳහන් කළේ හින්දු, මුස්ලිම් ප්‍රජාවන් නූ හි කාලාන්තරයක් තිස්සේ ඉතා සාමකාමීව ජීවත් වූ බවත් මෙම ප්‍රචණ්ඩ ක්‍රියාවලට සමගාමීව අවි ආයුධ හමුවූ ආකාරය සැලකීමේදී කුමන්ත්‍රණයක සැක මතුවන බවත් ය​. පසුව​, මහ ඇමතිවරයා ද විජ්ගේ ප්‍රකාශය හා එකඟ වන ආකාරයේ අදහස් දැක්වීමක් කර තිබුණි.

අගෝස්තු 2 වනදා උදෑසන වනවිට ද තත්ත්වය සම්පූර්ණයෙන් සාමකාමී වී නොමැති බව හර්යානා වෙතින් ලැබෙන මාධ්‍ය වාර්තා කියා සිටියේ ය​. විශ්ව හින්දු පර්ශදය යාබද දිල්ලි අගනුවර ප්‍රදේශයේ පිහිටි නොයිඩා හිදී විරෝධතාවයක් පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබේ. මේ අතර පෙරදා රාත්‍රියේ ගුරුග්‍රාම් හි මුස්ලිම් පල්ලියකට සියයක පමණ පිරිසක් විසින් පහර දී ඇති බව හර්යානා පොලිසිය කියයි. ඔව්හු එම පල්ලියට ගල්මුල් ප්‍රහාර එල්ල කර ඇති අතර වෙඩි තැබීම් ද සිදුව ඇත​.

ගැටුම් ඇතිවූ ප්‍රදේශවල ඇතැම් ආයතන සිය සේවකයන්ට නිවසේ සිට රාජකාරි කරන ලෙස ද දන්වා තිබේ. දිල්ලි ප්‍රදේශයේ ද ආරක්ෂාව තර කිරීමට එහි පොලිසිය කටයුතු කර ඇතැයි ද වාර්තා වේ.

Latest