Skip to content

Mayon ගිනි කන්දේ සක්‍රීය වීමක්!

2023 ජුනි 11 වන දින මැනිලා හි ගිනිකොන දෙසින් ඇල්බේ පළාතේ ලෙගස්පි නගරය අසල පිපිරීමක් අතරතුර මයොන් කන්ද ලාවා පිට කරන අයුරු. මූලාශ්‍රයන් විදෙස් මාධ්‍ය තුලිණි.

පිලිපීනයේ බලධාරීහු විසින් සදහන් කර සිටිනුයේ එරට​ වඩාත්ම ක්‍රියාකාරී ගිනි කන්ද වන​ Mayon ඉරිදා දිනය වන විට ලාවා සහ සල්ෆියුරික් වායුව පිට කිරීමට පටන් ගත් බවයි. මේ හේතුවෙන් රටේ ප්‍රධාන දිවයිනේ (Main Island) ගිනිකොන දෙසින් පදිංචිකරුවන් 13,000 කට ආසන්න පිරිසක් ඉවත් කිරීමට ඔවුන් විසින් කටයුතු කර ඇත​.

පිලිපීන ගිනිකඳු හා භූ කම්පන විද්‍යා ආයතනය (Phivolcs) නිර්දේශ කර ඇත්තේ ගල් පෙරළීම්, නාය යෑම් සහ බැලස්ටික් කොටස්වල අවදානම හේතුවෙන් ගිනිකන්දේ කිලෝමීටර් 6 (සැතපුම් 3.7) අරය අවදානම් කලාපයක් වශයෙනුයි. මෙම සීමාවට අයත් වන සියලු දෙනා වහාම ඉවත් කරන ලෙසට ද ඔවුන් විසින් දැනුවත් කොට තිබේ.

බ්‍රහස්පතින්දා වන විට ගිනිකන්දේ අනතුරු ඇඟවීමේ මට්ටම තවදුරටත් ඉහල යා හැකි බවට අනුමාන කරන අතරම පිලිපීන පළාත් තොරතුරු කාර්යාලය මගින් විදෙස් මාධ්‍ය දැනුවත් කර ඇත්තේ අවදානම් කලාපයේ වෙසෙන පදිංචිකරුවන්ගෙන් 88% ක් පමණ මේ වන විට ඉවත් කර ඇති බවයි. මැනිලා නගරයට ගිනිකොන දෙසින් කිලෝමීටර් 330ක් පමණ දුරින් ලුසොන් (Luzon) දූපතේ පිහිටා ඇති Mayon යනු ලොව වඩාත් ක්‍රියාකාරී ගිනි කඳුවලින් එකක් ලෙස සැලකේ.

පිලිපීන ගිනිකඳු හා භූ කම්පන විද්‍යා ආයතනය (Phivolcs) අනතුරු අගවා තිබෙන්නේ ගිනිකන්දේ සාපේක්ෂ වශයෙන් ඉහළ මට්ටමේ නොසන්සුන්තාවයක් හඳුනා ගැනීමෙන් පසු සති හෝ දින කිහිපයක් ඇතුළත අනතුරුදායක පිපිරීමක් සිදුවිමේ වුවද හැකියාවක් ඇති බවයි. එම ආයතනයේ දත්ත වලට අනුව, ඉකුත් පැය 24 තුල දුර්වල මට්ටමේ ගිනිකඳු භූමිකම්පා 21ක් සහ ගල් පෙරළීම් 260ක් මෙන්ම ආවාටයෙන් ලාවා ගලායාමේ ක්‍රියාකාරකම් වාර්තා කර ඇත.

පිලිපීන බලධාරීන් විසින් මෙම අවදානම් කලාපයේ වෙසෙන එළදෙනුන්, එළුවන් සහ ඌරන් ඇතුළු ගොවිපල සතුන් 10,000 ක් පමණ පිටත කඳවුරු සහ නවාතැන් වෙත ඉවත් කර ඇතැයිද දක්වා තිබේ. මීට පෙර 2018 වසරේදී මෙම ගිනිකන්ද​ ප්‍රචණ්ඩ ලෙස පුපුරා ගොස් ඇති අතර ඒ හේතුවෙන් එවකට ගම්වැසියන් දහස් ගණනක් අවතැන් වී ඇති බවත් අවට නගර ඝන අළු ස්ථරවලින් වැසී ගොස් ඇති බවත් සදහන් ය​.

Latest