Skip to content

ඇමරිකාවේ අමතක වූ ඉතිහාසය

1492 දී ක්‍රිස්ටෝපර් කොලොම්බස් මුලින්ම ඇමරිකාවේ වෙරළට ළඟා විය. කෙසේ වෙතත්, ඔහු විසින් සොයා ගන්නා ලද නව ලෝකය තුළ, මායාවරුන්ගේ පැරණි ශිෂ්ටාචාර, ඇස්ටෙක්වරු, ඉන්කාවරු සහ වෙනත් අය ඒ වන විටත් සමෘද්ධිමත් වෙමින් සිටියහ. Mesoamerica නොහොත් මධ්‍යම ඇමරිකාව යනු මෙම පුරාණ ජනයාගේ සංස්කෘතීන් වර්ධනය වූ ප්‍රදේශයකි. මෙම ලිපියෙන් පූර්ව-කොලොම්බියානු ඇමරිකාවේ (Pre-Columbian America) ශිෂ්ටාචාරයේ වඩාත් වැදගත් සංස්කෘතික ස්ථාන කිහිපයක් දෙස බලමු.

• චිචෙන් ඉට්සා (Chichen Itza)

චීචෙන් ඉට්සා යනු මෙක්සිකෝවේ යුකැටන් අර්ධද්වීපයේ පිහිටා ඇති පුරාණ නගරයකි. එය මායාවරුන්ට වැදගත්, පූජනීය නමස්කාර මධ්‍යස්ථානයක් විය. චිචෙන් ඉට්සා යන නම "ඉට්සා ගෝත්‍රයේ ළිඳ" ලෙස පරිවර්තනය වේ. යුකැටන් අර්ධද්වීපයේ භූමියේ ගලා යන ගංගා නොමැත. එකම ජල කඳ වන්නේ Cenotes නම් ස්වභාවික ළිං කිහිපයක් වන අතර, ඒවා පැහැදිලි හේතු නිසා මායාවරුන්ට පූජනීය විය.

මෙම ළිං පිළිබඳ පුරාවිද්‍යාත්මක පරීක්ෂණවලදී රන්, ජේඩ්, පිඟන් මැටි, ලී සහ මිනිස් ඇටසැකිලි ද හමු වූ අතර එය ඔවුන්ගේ සංස්කෘතික ස්වභාවය ගැන කථා කරයි. මායාවරුන් ඔවුන්ගේ නගරය ගොඩනඟා ගත්තේ මෙම විශේෂ ස්ථානයේ ය. විශේෂඥයන්ට අනුව, මෙම වැදගත් ආගමික සංකීර්ණය 7 වන සියවසේදී ඉදිකරන ලද්දකි. එය Toltec ජනතාව විසින් අත්පත් කරගෙන ඔවුන්ගේ අගනුවර බවට පත් විය. මෙම වාස්තු විද්‍යාත්මක සංකීර්ණයට පුරාවිද්‍යාඥයින්ගේ සිත් ඇදගන්නා පිරමිඩ සහ දේවාල කිහිපයක් ඇතුළත් වේ.

Cenotes නම් ස්වභාවික ළිං 

මෙහි ඇති වඩාත් සිත්ගන්නාසුලු පුරාණ සංස්කෘතික ස්ථාන වලින් තවත් එකක් වන්නේ කුකුල්කන් පිරමීඩයයි. මෙම මීටර් 24 උස පිරමීඩය තාරකා විද්‍යාව පිළිබඳ මායාවරුන්ට තිබූ විශ්මිත දැනුමට සාක්ෂි දරයි. එහි මුදුනේ දේවාලයක් ඉදිකර ඇත. පිරමීඩයේ පැති හතරෙන් ඇති පඩිපෙළ එම දේවාලයට මඟ පෙන්වයි. පඩිපෙළවල් තුනක් පඩි 91 කින් සමන්විත වන අතර සිව්වන පඩිපෙළ පඩි 92 කින් සමන්විත වේ. මේ අනුව, මුළු පඩි සංඛ්‍යාව 365කි. එය වසරේ දින ගණනට අනුරූප වන සංඛ්‍යාවකි. නිර්මාණකරුවන් පිරමීඩයේ පැති හතර ලෝකයේ දිශා හතරට යොමු කළේ ඇදහිය නොහැකි තරම් නිරවද්‍යතාවයකින් ය.

කුකුල්කන් පිරමීඩයයි

පඩිපෙළේ උතුරු පැත්තේ, ආලෝකය වැටෙන විට විශාල සර්පයෙකුගේ සෙවනැල්ල පිරමීඩයේ පාදයට වැටීම සිදු වේ. මෙම දේවාලය කැප කර ඇත්තේ කුකුල්කන් දෙවියන්ට වන අතර, ඔහු මෙසොඇමරිකාවේ පුරාවෘත්ත කථා සහ ආගමට අනුව, පිහාටු සහිත සර්ප දෙවියෙක් වන අතර ඔහු මැවුම්කරුවා මෙන්ම වැසි සහ සුළං ගෙන එන්නා ලෙස සලකයි. කුකුල්කන් දෙවියන්ට ගෞරව කරන ආගමික උත්සවවලට බොහෝ විට දෙවිවරුන් සතුටු කිරීම සඳහා මිනිස් බිලි පූජා ද ඇතුළත් විය. වෙනත් ජනප්‍රවාද පවසන්නේ කුකුල්කන් නම් වීරයා ඔහුගේ අනුගාමිකයින් සමඟ එක්ව, යුකැටන් අර්ධද්වීපයේ භූමියට පැමිණ 10 වන සියවසේදී පමණ චිචෙන් ඉට්සා නගරය ආරම්භ කර ඇත. එම ජනප්‍රවාදයේ තවත් අනුවාදයක පවසන්නේ එහි මුල් පදිංචිකරුවන් පරාජය කරමින් කුකුල්කන් නම් ආක්‍රමණිකයා බලහත්කාරයෙන් නගරය අල්ලා ගත් බවය.

කුකුල්කන් දෙවියන්

කුකුල්කාන්ගේ පිරමීඩයේ වයඹ දෙසින් පුරාවිද්‍යාඥයන් විසින් ශ්‍රේෂ්ඨ බෝල උසාවිය (Great Ball Court) හඳුනාගෙන ඇත. එය මීටර් 168 x 70 (අඩි 551 x 229) ප්‍රමාණයෙන් යුතු විශාල උසාවියක් වේ.

ශ්‍රේෂ්ඨ බෝල උසාවිය 

ඊළඟ ආකර්ෂණීය ගොඩනැගිල්ල වන්නේ කරකෝල් තාරකා විද්‍යා නිරීක්ෂණාගාරයයි. එය විශාල හතරැස් වේදිකාවක් මත ඉදිකරන ලද වෘත්තාකාර ගොඩනැගිල්ලකි. කරකෝල් යන නමේ තේරුම ගොළුබෙල්ලෙකු වන අතර නිරීක්ෂණාගාරයේ අභ්‍යන්තර සුරක්ෂිතාගාරයේ ගොළුබෙලි කටුවකට සමාන සර්පිලාකාර පඩිපෙළක් ඇත. මෙම ගොඩනැගිල්ල බොහෝ විට තාරකා විද්‍යාත්මක නිරීක්ෂණ සඳහා භාවිතා කර ඇත. විශේෂඥයින්ගේ න්‍යායන් අනුව, නිරීක්ෂණාගාරයේ දොරවල් සහ ජනෙල් දිශානත ගත කර ඇති අතර ඒ හරහා මායාවරුන් සිකුරු ග්‍රහලෝකයේ චලනය නිරීක්ෂණය කර ඇත.

කරකෝල් තාරකා විද්‍යා නිරීක්ෂණාගාරය

අද වන විට, ඇදහිය නොහැකි පුරාවිද්‍යා ගොඩනැගිලි සංකීර්ණයක් වන මෙම මායන් උරුමය, යුනෙස්කෝ ලෝක සංස්කෘතික හා ස්වභාවික උරුම ලැයිස්තුවට ඇතුළත් කර ඇති අතර 2007 දී ලෝකයේ නව පුදුම හතෙන් එකක් ලෙස ද නම් කර ඇත.

• මාචු පිච්චු (Machu Picchu)

ඇන්ඩීස් කඳු මුදුනේ මෙම 'ඉන්කාවරුන්ගේ නැතිවූ නගරය' පිහිටා ඇත. මාචු පිච්චු යනු වර්තමාන පේරු දේශයේ පිහිටි වාස්තු විද්‍යාත්මක සංකීර්ණයකි. පුරාවිද්‍යාඥයින්ට අනුව මෙම සංකීර්ණය ඉදිකර ඇත්තේ 1400 දී පමණය. මෙහි ඉන්කාවරුන්ගේ ආගමික, දේශපාලනික සහ පරිපාලන මධ්‍යස්ථානයක් පිළිබිඹු කරයි. එය ඔවුන්ගේ ශිෂ්ටාචාරයේ වඩාත්ම ප්‍රසිද්ධ උරුමය වන අතර මෙහි ස්වභාවධර්මයට අනුකූලව ගෘහ නිර්මාණ ශිල්පය, ඉංජිනේරු තාක්ෂණය සහ කලාව ඒකාබද්ධ කර නිර්මාණය කර ඇත.

16 වන ශතවර්ෂයේ මැද භාගයේ පමණ මෙම ප්‍රදේශයේ ස්පාඤ්ඤ වැටලීම් ආරම්භ වන තෙක් මෙම නගරය සජීවි නගරයක් විය. සමහර පර්යේෂකයන්ගේ මතය වන්නේ මාචු පිච්චු යනු පචකුටි (Pachacuti) ඉන්කා පාලක යුපන්කිගේ (Yupanqui) මාලිගා සංකීර්ණය බවය. වෙනත් න්‍යායන්ට අනුව, මෙම සංකීර්ණයට එහි භූගෝලීය පිහිටීම අනුව ආගමික ස්වභාවයක් ඇත. මෙහි නටබුන් කෙතරම් හොඳින් සංරක්ෂණය වී ඇත්ද යන්න විද්‍යාඥයින් පුදුමයට පත් කරයි. පුරාවිද්‍යාඥයන් මෙම නගර නිර්මාණයේ විවිධ අංශ කිහිපයක් හඳුනාගෙන ඇත. මෙයට කෘෂිකාර්මික ප්‍රදේශයක්, නේවාසික ප්‍රදේශයක්, රාජකීය ප්‍රදේශයක්, සහ පූජනීය ප්‍රදේශයක් ඇති අතර ඒ සියල්ල මාර්ග හා පියවර ගණනාවකින් සම්බන්ධ වී ඇත.

යුපන්කි

නගරයේ දකුණු කොටසේ පූජනීය පර්වතය පිහිටා ඇති අතර එය සූර්ය දේවාලය ලෙසද හැඳින්වේ. ඊට යටින් ස්වාභාවික ගුහාවක් ඇත. එක් ව්‍යුහයක් "ප්‍රධාන දේවාලය" ලෙස හැඳින්වේ. විද්‍යාඥයින්ගේ විශේෂ උනන්දුවවට හේතු වී ඇත්තේ ඔවුන සොයාගත් Intihuatana නම් විශාල පාෂාණයයි. එය මූර්තිමත් ග්‍රැනයිට් පාෂාණයක් වන අතර විද්‍යාඥයන් විශ්වාස කරන පරිදි සූර්යාලෝකය හෝ දින දර්ශනයක එහි නිරූපණය වේ.

Intihuatana

මාචු පිච්චු නගරයේ ඇති එක් මංපෙතක් ඌරුබම්බා ගඟ හරහා යන සුප්‍රසිද්ධ ඉන්කා කඹ පාලම වෙත ගමන් කරයි. 1911 දී ඇමරිකානු ඉතිහාස මහාචාර්ය Hyrum Bingham විසින් මෙහෙයවූ ගවේෂණය කණ්ඩායම ප්‍රථමයෙන් මෙම නටඹුන් නගරය වෙත ළඟා විය. 1912 සහ 1915 අතර Bingham සහ ඔහුගේ කණ්ඩායම පුරාවිද්‍යා කැණීමක් සිදු කර ඇත. මෙම පෞරාණික නටබුන් පවතින බව ප්‍රදේශවාසීන් දැන සිටියද, මෙම සංකීර්ණය පුළුල් ලෙස ප්‍රසිද්ධියට පත් වූයේ Bingham විසින් එය සොයා ගැනීමෙන් පසුවය. 1983 දී මාචු පිච්චු යුනෙස්කෝ ලෝක හා සංස්කෘතික උරුම ලැයිස්තුවේ කොටසක් බවට පත් විය.

ඉන්කා කඹ පාලම

• පූමා පුන්කු (Puma Punku)

පූමා හි දොර යනු බොලිවියාවේ ඇන්ඩීස් කඳුකරයේ පිහිටා ඇති පුරාණ ව්‍යුහයකි. එය ටිවානාකෝ පුරාවිද්‍යා භූමියේ කොටසක් වන විශාල දේවාල සංකීර්ණයක් වන අතර මෙහි ඉතිහාසය 6 වැනි සියවස දක්වා දිවයයි. පුරාවිද්‍යාඥයන් විශ්වාස කරන්නේ එය ඉන්කාවරුන්ට පෙර වැදගත් ශිෂ්ටාචාරයක් වන තිවනකා අධිරාජ්යය විසින් ගොඩනගා ඇති බවයි. පූමා පුන්කු යනු ගල් කුට්ටි වලින් ආවරණය වූ ටෙරස් සහිත පස් කන්දකි. මෙය පිටසක්වල සම්භවයක් ඇති බවට විශ්වාස කරන ස්ථානවලින් එකකි.

ඇදහිය නොහැකි තරම් නිරවද්‍යතාවයකින් කපා දමා ඇති දැවැන්ත ගල් මේ සඳහා අර්ථ දැක්විය හැකිය. ඇත්ත වශයෙන්ම, සමස්ත තිවනකා සංකීර්ණය දෙස බලන විට, පූමා පුන්කු ව්යුහය අසාමාන්‍ය දෙයක් නොවේ. කෙසේ වෙතත්, එහි කුට්ටි සෑදෙන ඉතා සංකීර්ණ ජ්‍යාමිතික හැඩතල සහිත අනෙකුත් ව්‍යූහයන් නිසා කැපී පෙනේ. උදාහරණයක් ලෙස, H-හැඩැති කුට්ටි විශේෂයෙන් සිත්ගන්නා සුළුය. විද්‍යාඥයන් විශ්වාස කරන්නේ ඒවා ඊට පෙර කැටයම් කර තිබූ ඒවා බවයි, එය තිවනකා හි අනෙකුත් ව්‍යුහයන්ගේ ලක්ෂණයක් නොවේ.

සමහර න්‍යායන්ට අනුව, මේවා ගල් නොව, නිශ්චිත හැඩයකට වත් කරන ලද කොන්ක්‍රීට් ය. කෙසේ වෙතත්, මෙම න්‍යාය පහසුවෙන් ප්‍රතික්ෂේප කළ හැකි අතර, පූමා පුන්කු සහ තිවනකා හි කොන්ක්‍රීට් නොමැති බව ඔප්පු වී ඇත. රසායනික විශ්ලේෂණ මගින් පාෂාණ හෑරූ ස්ථානය හරියටම තීරණය විය. මෙම විශාල කුට්ටි එම ස්ථානයේ සිට කිලෝමීටර 10 ක් පමණ දුරින් කපා ඇති බවට විශ්වාස කෙරෙන රතු වැලි ගල් ඇති ප්‍රදේශයක් හදුනා ගෙන ඇත. කුඩා, අලංකාර සහ මුහුණට මුහුණලා ඇති ගල් ගිනි ඇන්ඩිසයිට් වේ.

පූමා පුන්කු මුළු තිවනකා සංකීර්ණයේ ඇති විශාලතම ගල දිගින් මීටර් 7 යි සෙන්ටිමීටර 80 ක්, පළලින් මීටර් 5 ක් සහ සෙන්ටිමීටර 17 ක් සහ ඝකම මීටර් 1 ක් පමණ වේ. එහි බර ටොන් 131 ක් පමණ වේ. බොහෝ ගල් කුට්ටි සාපේක්ෂව කුඩා වන අතර සැකසීමට පහසු ඒවා වේ. පුරාණ ගෘහ නිර්මාණ ශිල්පීන් විසින් භාවිතා කරන ලද ශිල්පීය ක්‍රම එකල ඉන්කාවරුන් සහ ලෝකයේ සෙසු රටවල් නොදැන සිටි බව වාස්තු විද්‍යාත්මක ඉතිහාසය පිළිබඳ විශේෂඥයින්ගේ මතයයි වේ.

1000 වර්ෂයේදී හදිසියේම මෙම සංස්කෘතිය අතුරුදහන් විය. සමහරු යෝජනා කරන්නේ දැඩි නියඟයක් ඇති වූ අතර මිනිසුන් එම ප්‍රදේශය අතහැර දැමූ බවයි. ගල් ව්‍යූහයන් ඉදිකිරීම සම්බන්ධයෙන් බොහෝ කරණු නොදන්නා නිසා පූමා පුන්කු වටා බොහෝ කුමන්ත්‍රණ න්‍යායන් ගොඩ නැගී ඇත.

එහෙත් වාරිමාර්ග පද්ධති, හයිඩ්‍රොලික් යාන්ත්‍රණ ඇතුළු සංකීර්ණයේ ඉදිකරන ලද යටිතල පහසුකම්, සහ අපද්‍රව්‍ය බැහැර කිරීමේ පද්ධති, පුරාණ ජනයාගේ උසස් ඉංජිනේරු ජයග්‍රහණවලට සාක්ෂි දරයි. මේ සියල්ල පර්යේෂකයන් හොඳින් දන්නා නමුත් මේවා සම්බන්ධයෙන් ඇති සමහර ප්‍රධාන ප්‍රශ්නවලට තවමත් නිශ්චිත පිළිතුරු නොමැත.

කවුද?

කවදාද?

කෙසේද?

ඇයි?

Latest