Skip to content

අමානුෂීය වද වේදනාවේ උල්පත පුලාන් දේවිගේ කථාව.

රන්වන් හිරු රැස් කෙඳි ජලතලාව මත පතිතව තිබෙද්දී ගංදෑළ දෙපස සුපිපි සියපත් යාය ඇයගේ නෙත රැඳිණි.

ළමා වියේ සිතුම් පැතුම් අතර ඇය තවමත් සැරිසරමින් සිටියාය. උපන්දා පටන් ඇගේ නෙත ගැටුණු යමුනා ගංතෙර හුදකලාවේ ගත කිරීමට ඇයට වුවමනා විය.

එහෙත් තවත් මොහොතකින් ඇයට තම උපන් ගම්මානය වූ ‘ගොර්කා කපුර්වා’ හැරැදමා යාමට සිදුවනු ඇත. ඇය තවමත් 11 වැනි වියවත් ඉක්මවා නොගිය හුරුබුහුටි දැරියකි.

මුහුණ පුරා රැවුල වවාගත් දාමරික පෙනුමකින් යුතු හැඩිදැඩි රාක්ෂයකු බඳු පෙනුමකින් යුතු මිනිසෙක් ඇගේ දිළිඳු ගම්මානයට පැමිණියේ ය. ඔහු නමින් ‘පුට්ටිලාල්’ ය. ඇය ඔහු දැක බියෙන් වෙවුලා ගියාය.

එහෙත් ඇයට සිදුවූයේ 35 හැවිරිදි ඒ මැදිවියේ නපුරු මිනිසා සමඟ පිටත්ව යාමට ය. 11 හැවිරිදි දැරියක් වූ ඇගේ සහකරුවා වූයේ 35 හැවිරිදි වැන්දඹු මිනිසකු වූ පුට්ටිලාල් ය. ඔහු තම පියාට කිරි එළදෙනකු තෑගි කළේය.

ඒ ගොරහැඬි මනාලයා සමඟ මේ අහිංසක ළමා මනාලිය ඇගේ දිළිඳු නිවෙසින් පිටත් ව ගියේ හදවතේ බිය සැක සංතාපය මෙන් ම වේදනාව ද සිරකරගෙනය. කිරි එළදෙනකුට හුවමාරු වූ ඇය මේ ගොරහැඬි මනාලයා සමඟ මංගල ගමනට පිටත් වූවාය. එහෙත් කිසිවකුට එහි ඇති වරදක් පෙනුණේ නැත.

තවමත් ළමා වියේ සිහින අතර සැරිසරමින් සිටි පූලාන්ට එය දංගෙඩියට ගෙන යන ගමනක් බඳු වූවාට සැක නැත. හැඩිදැඩි බියකරු පෙනුමැති මේ මිනිසා සමඟ ගෙවූ දිවිය ඇයට නරකාදියක්ම වූයේ ය.

හිරිමල් වියේ පසු වූ දැරියකට මේ හැඩිදැඩි මිනිසාගේ කාමාශාවන් සන්තර්පණය කරන්නට වූයේ පණපිටින් ම රුදුරු වේදනාවන්ට ලක්වෙමිණි.

අතිශය අතෘප්තිකර වූ කාමාග්නියෙන් දැවෙමින් සිටි මේ මිනිසා මේ ළඳබොළඳ මල් කැකුළ තලාපෙලා වේදනාවට පත් කරමින් ද එසේ නොහැකි වූ කළ අකාරුණිකව පහර දෙමින් ද වසර කිහිපයක් පුරාම ඇගේ ලපටි සිරුර කායිකව මෙන් ම මානසිකව ද පොඩි පට්ටම් කර දැම්මේය.

දිළිඳු කුලහීන කෙල්ලක ලෙස උපන් පාපය ඇය ගෙවා දැම්මේ එලෙසය. එහෙත් ඇගේ ඉරණම ඇයට තවත් වදවේදනා ගෙනදුන්නේ ය.පුට්ටිලාල් නමැති මහලු සැමියා සමඟ තවදුරටත් ඇයට ‘දීග කෑම’ කෙසේ වෙතත් ජීවත්වීම ද ඉවසිය නොහැකි විය.

ඇය සැමියාගෙන් මිදී ආපසු ‘ගොර්කා කපුර්වා’ වල වූ තම නිවෙසට පැමිණියා ය. ඒ වන විට සැමියාගෙන් ලද අඩන්තේට්ටම්වලින් හෙම්බත්ව සිටි ඇය දරුණු ලෙස රෝගාතුරව සිටියා ය.

දියණිය ‘දීගය’ අතහැර යළි නිවෙසට පැමිණීම ඇගේ පවුලට නින්දාවක් ලෙස පවුලේ අය සිතූහ. මෙයින් වඩාත් කෝපයට පත් වූයේ ඇගේ මව වූ ‘මූලා’ ය. ‘උඹ මොන නින්දාවක් ද මේ අපට කළේ. මොනදේ වුණත් ඉවසගෙන ඉන්න තිබුණා. ඒක ගැහැනුන්ගේ අයිතිය. උරුමය. උඹව ආයිමත් ගෙදෙට්ට ගන්න බැහැ. ආපහු පලයන්. බැරිනම් අන්න අර ළිඳට පැනලා ජීවිතේ නැතිකර ගනින්’ ඇගේ මව බෙරිහන් දුන්නාය.

කෙසේ වුව ද ‘පූලාන්’ ආපසු ගියේ නැත. පුට්ටිලාල් ඇය සොයා පැමිණ බලයෙන් රැගෙන ගියේ ය. ඇය ආපහු රැගෙන යනවිට ඔහුගේ නිවෙසේ තවත් බිරිඳක් සිටියා ය. ඇයගෙන් ද අනන්ත  ගුටි බැට හා බැනවැදීම් සියල්ල විඳ ගැනීමට පූලාන්ට සිදුවිය.

ඇතැම් දිනවල ඇයට කෑමට කිසිවක් දුන්නේ නැත. අලුත් බිරිඳ එහි බලයට පැමිණ සිටියා ය. ඇයට නිදාගන්නට ලැබුණේ ගව මඩුවේ පිදුරු ගොඩකය. සැමියා වූ පුට්ටිලාල්ගෙන් ලද හිරිහැරවලටත් වඩා ඇගෙන් ලද හිරිහැර පූලාන්ට ඔරොත්තු දුන්නේ නැත. ඇය නැවතත් ගම වෙත පැමිණියේ වෙන දෙයක් වුණාවේ යන සිතිවිල්ලෙනි.

පූලාන් නැවතත් සිය නිවසට පැමිණියාය. ඒ වන විට පියාගේ ඉඩම බලෙන් ලබා ගැනීමට ඥාතීන් පිරිසක් ඔහු හා නිරන්තරව ගැටීම් ඇතිකර ගත්හ. ඥාතියකු වූ ‘මයියාඩීන්’ දිනෙක පුලාන්ට ද ගඩොලකින් පහර දුන්නේ ය.

පුලාන් තම අයිතීන් වෙනුවෙන් සටන් කළාය. එහි ප්තිඵලය වූයේ 1979 වර්ෂයේ එක් දිනෙක ඇය උත්තර ප්‍රදේශයේ පොලීසිය විසින් සිරභාරයට ගැනීමය.

දින 3ක් පුරා හිරේ සිටි පුලාන් අමානුෂික ලෙස පහරදීම්වලට හා දූෂණයට ලක්වූවා ය. එතැන් පටන් ඇගේ ‘උරුමය’ ඇය පසුපස හඹා එන්නට පටන් ගත්තේ ය. ඇගේ වයසේ ගැහැනියකට ඉසිලිය නොහැකි කරදරයන්ට ඇය මුහුණ දුන්නාය. හිරේ විලංගුවේ වැටුණාය. අතේ සතේ නැතිව ගෙවල්වල බැලමෙහෙවර කරමින් ඇවිද්දාය.

ඉන් නොනැවතුණු ඇගේ ඥාතියා වූ ‘මයියාඩීන්’ ඇගෙන් තවදුරටත් පළිගන්නට වූයේය. උත්තර ප්‍රදේශයේ ‘හොරමුලක’ නායකයකු වූ ‘බාබුගුජාල්’ විසින් ‘පුලාන්’ පැහැරගෙන ගියේ මේ අතරතුරය. ඒ පිටුපස ‘මයියාඩීන්’ ද සිටියේ ය.

පැහැරගෙන යන ලද ‘පුලාන්’ හට හොර කල්ලියේ දීත් විඳින්නට ලැබුණේ අප්‍රසන්න ලිංගික වද හිංසා ය. එහි නායකයකු වූ ‘වික්‍රම් මල්ලා’ පුලාන් කෙරෙහි අනුකම්පා කළේ ය.

එක්තරා දිනෙක වික්‍රම් මල්ලා හා පූලාන් ප්‍රේමයෙන් බැඳී ගියේ පුලාන් හා වික්‍රම් එකම කුලයකට අයත්වීම ද හේතු පාදක කර ගනිමිනි. තම පෙම්වතා වූ වික්‍රම් හා පුලාන් අතර වූ ප්‍රේමය නිසා ‘බාබුගුජාල්’ ඔවුන් දෙදෙනාම මරා දැමීමට සැලසුම් කළේ ය. එහෙත් ‘බාබුගුජාල්’ වික්‍රම් අතින් මරණයට පත්විය. වික්‍රම් 18 හැවිරිදි පූලාන්ට ගිනි අවිය හුරු කළේය.

එතැන් පටන් එහි නායිකාව වූයේ පුලාන් ය. මේ අතර ඇති වූ ගැටුමකින් පූලාන්ගේ පෙම්වතා වූ ‘වික්‍රම්’ මැරුම් කෑවේය. ප්‍රේමයේ වේදනාවත් වික්‍රරම්ගේ මරණයත් නිසා ඇගේ හදවත ඉවසිය නොහැකි දුකකින් පිරි ඉතිරී ගියේ ය.

කෑ ගසා ඉකිබිඳ හැඬූ ඇයගේ කැඩී බිඳී ගිය හදවත අවසානයේ පළිගැනීමේ චේතනාවෙන් ආසක්ත වූයේ ය. ඇය ගිනි අවියට හුරු වූවා ඇගේ ජීවිතය විනාශ කළ, ඇයට කුරිරු වේදනා දුන් වියපත් සැමියා වූ පුට්ටිලාල් මරා දැමීමට තරම් ඇගේ වේදනාව උත්සන්න විය.

එක්තරා විවේකී මොහොතක ඈ අඩ නින්දේ පසු වූවාය. එහි දී ඇයට අතීතය සිහිවිය. ඇය වේදනාවෙන් පිදුරු මඩුවක වැතිර සිටියාය. නිරුවත් කළ ඇගේ රිදුම් දෙන සිරුර අප්‍රාණිකව තිබියදී ම නැවත වතාවක් ‘හපයක්’ බවට පත් කළ කුලීන ඨකූර් වංශිකයන්ගේ වියරු සිනා හඬවල් ඇයට යළි යළිත් සිහිපත් විය.

ඒ වේදනාවෙන් ඇයට කළ ලිංගික වදවේදනා යළිඳු සිහිපත් විය. අහිංසකව සියල්ල ඉවසූ යුවතියගේ කෝපය මතුව ආයේ ය. ඒ අනුව ඇය කළේ වංශවත් ඨකූර් ගෝත්‍රිකයන් 22 දෙදෙනකු ඇගේ අතින් ම ඝාතනය කිරීමයි. ඒ 1981 වර්ෂයේ හරියට ම වැලැන්ටයින් දිනයදා ය.

වනගතව අවි අත දරා මුළු ලෝකය පුරාම නම රැන්ඳූ පුලාන් දේවිය තම ජීවිතය පිළිබඳ නිරන්තරවම ගත කළේ සැක සිතිණි. ළමා වියේදීත් යොවුන් වියේදීත් මිනිසුන්ගෙන් ඇය ලැබූ දුක් කම්කටොලු ඇය නිරතුරුව ම ආවර්ජනය කළා ය.

වෛරය ඇගේ ළඳ බොළඳ හදවත ගිනිබත් කළේ ය. මේ වන විට වනගත දිවිය ද ඇයට එපා වී තිබිණි. අතීතයේ දී තම සතුරන් අතින් දූෂණය වී පහර කෑ ඇය උදරයේ මෙන්ම ගර්භාෂයේ ද රෝග රැසකින් පීඩා වින්දාය.

මේ අතරතුර ඇගේ සංවේදී ජිවිත කතාව සොයා ජීවිතය පරදුවට තබා ඇය සොයා ගිය පත්තරකරු වූ ‘කල්යාන් මුඛර්ජි’ ඇගේ ජීවිතයේ සෝබර කතාව ලෝකයට ඉදිරිපත් කළේ ය.

ඒ අනුව ඇති වූ සාකච්ඡාවලින් පසුව ඉන්දියානු ආණ්ඩුවට භාරවීමට ඇය සිය කැමැත්ත පළ කළේ කොන්දේසි කිහිපයක් සහිතවයි.

ඒ, ඇයට හා අනුගාමිකයන්ට මරණ දණ්ඩනය නොපැනවීමටත්, වසර 8කට වඩා සිරදඬුවම් නොපැනවීමටත්, තම සහෝදරයාට රැකියාවක්, පියාට ඉඩමක්, තමන් යටත්වන මොහොතේ තම පවුලේ සියලු දෙනා ඉදිරියේ වීමත් ඇයගේ අවිහිංසක ඉල්ලීම් අතර විය. ඇගේ කණ්ඩායම සමඟ ඉන්දියාවේ උත්තර් ප්‍රදේශයේ රහසිගත තැනකදී හමුවී යටත් වීමට ඇය කැමැති වූවාය.

මහත්මා ගාන්ධිගේ හා දුර්ගා දෙවඟනගේ පිළිරුව ඉදිරියේ අවි බිම තැබීමට ඇය ඉල්ලා සිටියා ය. එය එලෙසම සිදු කිරීමට ඉන්දීය රජය අනුමැතිය හිමිවිය. ඇය ජීවත්ව සිටියදීම ඇගේ චරිතය අළලා පොතක් ද ලියවිණි.

‘බැන්ඩ්ට් ක්වීන්’ නම් එම ග්‍රන්ථය ඇසුරින් චිත්‍රපටයක් ද නිපදවිණි. ඉන්දියාවේ පමණක් නොව මුළු ලෝකයේ ම ඇගේ චරිත කතාව ඉමහත් සුප්‍රසිද්ධ චරිතයක් විය.

අවිබිම තබා පසුව දඬුවම් විඳි පුලාන් දේවිය සිරෙන් නිදහස්ව ගමරට ආවාය. ඇය තම දිළිඳු ගම්මානය නියෝජනය කරමින් 1996 වසරේ දී ඉන්දියානු පාර්ලිමේන්තුවට පත්වූවාය.

නැවත වතාවක් 1999 වසරේ ද පාර්ලිමේන්තුවට ඇය පත්වූවාය. ඇය දුක්විඳි කාලය පුරාවට ඇය ‘උන්නාද මළා ද, කියා නොබැලූ ඇගේ ඥාතිහු ඇය සොයා ආවේ මන්ත්‍රීවරියක ලෙස ගමන්මඟට පැමිණි පසුවය. ඇගෙන් ඔවුන්ට ද තම යුතුකම් ඉටුකළා මිස අහක බැලුවේ නැත.

කුලහීන දිළිඳු ගෝත්‍ර වැසියන්ගේ අප්‍රමාණ ගෞරවයට ඇය පාත්‍ර වූවා ය. ඔවුන්ගේ දුක් අසන දේවතාවිය ද වූවාය. ඇය බොහෝ විට ඉන්දියානු කුලීන සමාජයෙන් බැටකන ‘ගැහැනුන්’ ගැන පාර්ලිමේන්තුවේ දී හඬ නැඟුවා ය. කුඩා ළමයින් වයසක මිනිසුන්ට කසාද බැඳ දීමට විරුද්ධව හඬ ද නැඟුවේ තමන් ලද අමිහිරි අත්දැකීම් සිහිපත් කරමිනි.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක ලෙස ජිවිතය කිසියම් වෙනස් මඟකට ගෙන ආ ඇය ‘උමේද් සිං’ නම් අයකු සමඟ විවාහ විය. යොවුන් වියේ නිරතුරුව විඳි ගැහැට පහරදීම් ලිංගික පීඩා නිසා ඇයට දරුවන් ලැබීමේ භාග්‍ය අහිමි බව වෛද්‍යවරුන්ගේ අදහස විය. එහෙත් ඇය දරුවන්ට ආදරය කළා ය. කාන්තාවන්ගේ හඬට නිරතුරුව සවන් දුන්නාය.

ජීවිතයේ මල්බර හිමිදිරියේ පටන් ම අකාරුණික වූ දෛවයේ සැලසුමට ගොදුරු වූ ඇයට ජීවිතයේ සැනසුම තවදුරටත් විඳීමට ඉඩ දුන්නේ නැත. හිමිදිරි උදෑසන සුදු පැහැ සාරියකින් සැරසුණු පුලාන් දේවිය තම මෝටර් රථයට ගොඩවීමට සැරසුණා පමණකි. කොහේදෝ සිට ආ වෙඩි වරුසාවක් ඇගේ සිරුර විනිවිද ගියේ ය. මෝටර් රථය තුළම මේ අයෝමය, ශක්තිමත්, වරින් වර මැරි මැරී උපන් ගැහැනිය මරු වසඟයට ගියා ය.

ඇය මිය ගියේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක ලෙසයි.

එහෙත් බොහෝ වංශවතුන්ට ඇය තවමත් එක්තරා ගණිකාවක්, හීන කුලයේ ගැහැනියක්, හොර නායිකාවක් පමණය. එසේ වුව ද ඇගේ ජීවිත පුවත මුළුමහත් ලෝකයට ම මහත් අපූර්වතම කතා පුවතකි. ඇය මිය ගිය ද සදාකාලිකවම කුලවතුන් හමුවේ පයට පෑගෙන ඉන්දියානු දුප්පත් මිනිසුන්ගේ ලෝකයේ සැබෑ වීරවරියකි.

පූලාන් දේවිය උපන්නේ 1963 ඉන්දියාවේ උත්තර ප්‍රදේශයේ දිළිඳු ගම්මානයක් වූ ‘ගෝර්වා කපුර්වා’ හිදීය.

ගැහැනු දරුවන් හතර දෙනෙකු හා සොහොයුරකුද අතර උපන් ඇය පවුලේ දෙවැනියා වූවාය.

ඇගේ ඝාතනයෙන් පසු බොහෝ සැක සංකා යොමු වුණේ ඇගේ සැමියා වූ ‘උමේද් සිං’ වෙතය.

කෝටි දෙකකට ආසන්න පූලාන් දේවියගේ දේපල නිසා ඔහු ඇය විවාහ කරගත් බව පූලාන්ගේ සොයුරිය වූ මුන්නි හැඬූ කඳුළෙන් පැවසුවාය.

වරක් ‘උමේද් සිං’ තම කළින් බිරිඳට ඇගේ මුදලින් නිවෙසක්ද තනා දුන්නේ ලක්ෂ 10ක් ණයට ඉල්ලා ගනිමිනි.

‘ෂේර් සිං රනා’ නම් අයකු ඇගේ ඝාතනයට පොලිසිය විසින් අත්අඩංගුවට ගැනුණි.

කෙසේ වුවද ‘උමේද් සිං’ පූලාන්ට ආදරයෙන් සැලකුවේ නැති බව බොහෝ දෙනා පවසති. නිරතුරුවම ඔහු ඇයට බැන වැදුණේ පරුෂ වචනයෙනි.

ජීවිතයේ අනේක විධ කුරිරු බන්ධනයන්ට ගොදුරු වූ ‘පිපුණ මල’ හෙවත් පූලාන් වයස අවුරුදු 38ක් වැනි කෙටි දිවිමඟ දී මෙලොව හැර ගියාය.

Latest