Skip to content

ව්‍යාපෘතිය අවසන් වුවත් දීමනා ගෙවලා.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් පවත්වා ගෙන ගිය "රැමීස් ව්‍යාපෘතිය" (RAMIS) අවසන් වී වසර 03 ක පමණ කාලයක් ගෙවී ගියද, එම ව්‍යාපෘතියේ සේවය කළ කාර්ය මණ්ඩලයට රුපියල් කෝටි 09 ක පමණ මුදලක් ගෙවා ඇති බව රජයේ විගනන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇති වාර්තාවක සදහන් වේ.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ 2022 කාර්ය සාධන වාර්තාවට ඇතුළත් කර ඇති විගනන තොරතුරු වල මේ බව අනාවරණය වේ.

රැමීස් ව්‍යාපෘතිය දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් ආරම්භ කර ඇත්තේ බදු අයකිරීමට අදාල තොරතුරු පද්ධතියක් ස්ථාපනය කිරීම සදහාය. මෙම ව්‍යාපෘතිය 2019 නොවැම්බර් මස 30 වෙනිදා දක්වා පමණක් පවත්වා ගෙන යාමට කළමණාකරන සේවා දෙපාර්තමේන්තුව අවසර ලබා දී ඇත.

රාජකාරි නිවාඩු ලබා ගෙන සිටි නිලධාරීන් සිව් දෙනෙකුට එම නිවාඩු ලබා ගෙන තිබූ කාලය සදහාද, සේවයෙන් ඉවත්ව ගිය නිලධාරීන් දෙදෙනෙකුට ඉවත් වීමෙන් පසුවද රැමීස් ව්‍යාපෘතිය යටතේ දීමනා ලබා දී ඇති බව විගනන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇති වාර්තාවේ වැඩිදුරටත් සදහන් වේ. අභ්‍යන්තර පාලන ක්‍රමවේදයක් විධිමත්ව පවත්වා ගෙන නොයාම මෙම තත්ත්වයට හේතුව බවද විගනන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇති වාර්තාවේ වැඩිදුරටත් සදහන් වේ.

Latest