Skip to content

පිටසක්වල සිතුවම් : 2 කොටස

අප හැරෙන්නට වෙනත් ජීවයක් විශ්වයෙහි සිටිනවාද නැද්ද යන්න මිනිසාගේ සිත් තුළ එදා සිටම කැකෑරෙන ප්‍රශ්නයකි. මෙම ප්‍රශ්නය ලිහා ගැනීමට විවිධ අයවලුන් විසින් නොයෙක් ආකාරයේ උත්සහයන් ගනී. පෞරාණික සිතුවම් අධ්‍යනයද ඒ අතරින් එකකි. පිටසක්වල සිතුවම් 1 කොටස නමින් ඒ පිළිබදව මා ගෙන ආ පළමු ලිපිය ඔබට මග හැරුණේනම් එය කියවා ඒමට අමතක නොකරන්න.

පිටසක්වල සිතුවම් : 1 කොටස
පිටසක්වල යානා, පිටසක්වල ජීවීන් යනු එදත් අදත් මිනිසුන් තුළ කුතුහලය දනවන්නට සමත් වන මාතෘකාවන්ය. පෘථිවියේ විවිධ ස්ථානයන්ගෙන් ඔවුන්ගේ පැවැත්

මෙම ලිපියෙන් පිටසක්වල ජීවීන් පිළිබද සාක්ෂි ලෙස හමුවන තවත් සිතුවම් බොහෝමයක් ගැන අධ්‍යනය කරමු. පෙර ලිපියේ කී පරිදී මේවා දෙස මධ්‍යස්ථ ඇසකින් බැලීම ඔබගේ යුතුකමකි.

පළමු සිතුවම් ද්විත්වය ලෙස 12 වන සියවසට අයත් " Annales Laurissenses" නම් කෘතියෙන් උපුටා ගත් සෙබළුන් දෙදෙනෙකුගේ නිරූපණයක් ගෙනහැර පාමි. මේ වසර 776 දී ප්‍රංශයේ Sigiburg නම් බලකොටුව සැක්සන්වරුන් විසින් වැටලූ අවස්ථාවේදී සිදුවුණු සිදුවීමකි. දෙපිරිසම යුධ වදිමින් සිට ඇති අතර සැනයකින් ඉහළ අහසේ එළි විහිදුවමින් තැටි ආකාර වස්තූන් මතු වන්නට විය. මේවා දුටු සැක්සන්වරුන්, ප්‍රංශ ජාතිකයින්ව මෙම වස්තූන් මගින් ආරක්ෂා කරන්නේ යැයි සිතා පසුබැස ඇත. එසේ දර්ශනය වූයේ දෙවියන් බව ඇතැමුන් පවසද්දි තවත් අය ඒ පිටසක්වල ජීවීන් බවට විශ්වාස කරයි. ඇත්ත දන්නේද දෙවියෝය :(

ඉහත සිත්තම හමුවන්නේ "ප්‍රඥාපාරමිතා සූත්‍ර" නම් සංස්කෘත ග්‍රන්ථයක තිබ්බත (ටිබෙට්) පරිවර්තනයකිනි. ඡායාරූපයේ විශාලනය කොට ඇති ප්‍රදේශයේ ඇති තොප්පි වැනි වස්තූන් පර්යේෂකයින්ගේ කතාබහට ලක්වී ඇත. ඒවා සැබැවින්ම හිස් ආවරණ බව සිතුණත් අවකාශයේ පාවෙමින් තිබීම සහ සිදුරු දක්නට ඇති නිසා මෙය කුතුහලය දනවන්නක් බවට පත්ව ඇත. ඉන්දියානු වේද ග්‍රන්ථ වලද "විමාන" නම් යානා විශේෂයක් ගැන සදහන් වන අතර ඒවා බොහෝ විට තට්ටු සහිත සහ බුම්බුලාකාර ස්වරූපයක් දරයි.

මරියතුමියගේ ජීවිතය විදහා පාන ජවනිකා නිරූපිත ඉහත රූපයන් හොදින් අධ්‍යනය කරන්න. දෙකෙහිම, හිස්වැස්මක හැඩ ගන්නා වස්තූන් අහසේ දර්ශනය වෙයි. දකුණු පස ඇති සිතුවම නම් කොට ඇත්තේ "The Magnificat" (කන්‍යාමරියතුමියගේ උදාන ගීය) යනුවෙනි. මෙම සිතුවම් ද්විත්වයම මේ වන විට ප්‍රංශයේ Notre-Dame බැසිලිකාවේ ස්ථාපිත කොට ඇත.

ප්‍රංශ ජාතික Jacques Legrand විසින් 1338 දී රචිත "Le Livre Des Bonnes Moeurs" ග්‍රන්ථයේ මෙම චිත්‍රය දක්නට ලැබෙයි. එහි ඇති ගෝලාකාර වස්තුව කුතුහලය දනවන්නක් වන අතර ඇතැමුන් ඒ බැලූනයක් බවට අදහස් පළ කරයි. නමුත් 14 වන සියවසේදී ප්‍රංශයේ බැලුන් තිබී නැත.

පළමු ඡායාරූපයෙන් දැක්වෙන්නේ 1350 දී සිත්තම් කොට ඇති "The Crucifixion" (කුරුසයේ ඇණ ගැසීම) නම් බිතුසිතුවමයි. ජීවීන් සිටින වස්තූන් දෙකක් එහි වම් සහ දකුණු මුදුන්හි දක්නට ඇත. ඒවායේ විශාලිත ඡායාරූපද ඉහතින් දැක්වෙයි. මෙම බිතුසිතුවම චිත්‍රයට නගා ඇත්තේ  Visoki Decani නම් ආශ්‍රමයේ අල්තාරය මතයි.

Paolo Uccello (1396-1475) විසින් ඇද ඇති මෙම සිතුවම "La Tebaide" ලෙස හදුන්වයි. දකුණු පැත්තෙන් ඇති එහි විශාලිත ඡායාරූපයෙන් දැක්වෙන පරිදි රතු පැහැති තැටියක් වැනි වස්තුවක් ජේසුස්ට අසලින් දකුණු පසින් සිතුවම් කොට ඇත. Academy of Florence හි මෙය දක්නට ලැබේ.

Angelo de Tummulillis විසින් රචිත Notabilia Temporum හි ඇති සිතුවමකි. Enrico IV ගේ පාලන සමයේදී අහසේ දුටු ගිනිගන්නා වස්තුවක් මෙසේ සිතුවම් කොට ඇත.

මෙය 1486 දී Carlo Crivelli විසින් සිතුවම් කරන ලද "The Annunciation" (විඥාපනය) නම් සිතුවමයි. තැටියක් හැඩැති වස්තුවකින් මරියතුමියගේ හිසට ආලෝක ධාරාවක් පතනය කරන අවස්ථාවක් මින් නිරූපිතය. ලන්ඩන්හි National Gallery හි තැන්පත්ව ඇත.

15 වන සියවසේ ඇදි මෙම සිතුවම "The Madonna with Saint Giovannino" ලෙස හදුන්වයි. මෙහි මරියතුමියගේ දකුණු උරහිසට ඉහළින් තැටියක් වැනි අමුතු වස්තුවක් දර්ශනය වෙයි.

1490 දී සිතුවම් කොට ඇති  "The Assumption of the Virgin" නම් මෙම චිත්‍රයේ ඇත්තේ වලාකුළුද නැතහොත් වෙනයම් වස්තූන්ද යන්න අභිරහසකි.

Summer's Triumph (ගිම්හානයේ විජයග්‍රහණය - 1538) නම් මෙම ගෙත්තමෙහි තැටියාකාර වස්තූන් කිහිපයක් ගුවනේ දක්නට ඇත. ඇතැමුන් ඒ දූපත් බවට තර්ක කරයි. නමුත් පාවෙන දූපත්?

1680 දී හදුනානොගත් වස්තුවක දර්ශනයක් සිහිගැන්වීම පිණිස සාදා ඇති ප්‍රංශ පදක්කමක්.

ජෝර්ජියාවේ Svetishoveli දෙව්මැදුරේ ඇති 17 වන සියවසට අයත් බිතු සිතුවමක් වන මෙහි පීරිසි හැඩැති වස්තූන් දෙකක් ජේසුස් වහන්සේට දෙපසින් දක්නට ලැබෙයි. එහි සමීප ඡායාරූපද ඉහතින් දැක්වේ.

1697 නොවැම්බර් 4 වනදා ජර්මනියේ හැම්බර්ග් හි දර්ශනය වුනු චක්‍රාකාර වස්තූන් දැක්වෙන සිතුවමක්. එම වස්තූන් හදුන්වා තිබුණේ, "two glowing wheels" (බැබලෙන චක්‍ර දෙක) යනුවෙනුයි.

ඉහත දැක්වෙන්නේ ෆ්ලෙමිශ් චිත්‍රශිල්පියෙකු වූ Aert De Gelder විසින් 1710 දී සිත්තම් කළ "The Baptism of Christ" (ක්‍රිස්තුස්වහන්සේගේ බෞතීස්මය) නම් සිතුවමයි. තැටියක් වැනි වස්තුවකින් ජේසුස් වහන්සේ සහ ජෝන් නම් බෞතීස්ම කරන්නා වෙත ආලෝක ධාරා පතිත කරවයි. කේම්බ්‍රිජ්හි Fitzwilliam කෞතුකාගාරයේ තැන්පත් කොට ඇත.

ඉහත සදහන් කරන ලද සිතුවම් වලට අමතරව පිටසක්වල ජීවීන් පිළිබද සාක්ෂි ලෙස හදුනාගත් තවත් සිතුවම් කිහිපයක් පහතින් දක්වා ඇත.

මේවායෙන් ඇතැම් ඒවා අදාළ ශිල්පීන්ට සත්‍ය වශයෙන්ම ඇස ගැටුණු සිදුවීම් විය හැකි අතර ඇතැම් ඒවා මා පෙර ලිපියේ සදහන් කළ පරිදි මිනිස් ස්වභාවය නිසාවෙන් නිර්මාණයන්ට ඇතුළත් වූ ඒවාද විය හැකියි. එනිසා ඉහත සිතුවම් දුටු පමණින් විශ්වාස කිරීමට යාම නොකළ යුත්තකි. කෙසේනමුත් මෙම සාක්ෂි මගින් පිටසක්වල ජීවය පිළිබද ඔබට වූ කුතුහලය තවත් වර්ධනය වන්නට ඇතැයි සිතමි.

Latest