Skip to content

"අලි මානා" අලි හිසරදයක් වූ කාලය ඉවරයි....!

"අලි මනා"ගැන ඔබ අසා ඇතුවාට සැකයක් නැත. මන්ද මෙරට බොහෝ ස්ථාන වලදී අපට අලි මානා නම්වූ තෘණ විශේෂය දක්නට ලැබෙන නිසාවෙනි. විශේෂයෙන්ම මෙරට සතර දිගට දිවෙන දුම්රිය මර්ගය දෙපස අලි මනා ඕනෑ තරම් දක්නට ඇත.

දුම්රිය මාර්ග දෙපස අලි මානා දකින්නට ඇත්තේ කුමන හේතුවක් නිසාද යන්නද අපි සොයා බැලුවෙමු.

අතීතයේදී දුර ඈත පළාත් වල සිට මස් සදහා ගවයින් කොළඹට ප්‍රවාහනය කර ඇත්තේ දුම්රියෙන් බව කියති. දුම්රිය ගැල් වලට පටවන ගවයින්ට කොළඹට යන තුරු ආහාර පිණිස අලි මානා ලබා දී ඇති බව කියති. දුම්රිය ගමන් කරන අතර තුර ගැල් වල සිටින ගවයින් අලි මානා ආහාරයට ගෙන ඇත. ගවයින් ආහාරයට ගන්නා අලි මානා වලින් කිසියම් ප්‍රමාණයක් මාර්ගය දෙපස විසිරී ගොස් ඇති බව කියති. වර්තමානයේ දී අප රටේ දුම්රිය මාර්ග දෙපස අලි මානා බහුලව දක්නට ඇත්තේ ඒ නිසා බව තතු දත්තෝ සදහන් කරයි.

එමෙන්ම වන අලින් ගැවසෙන ප්‍රදේශ වලත් අලි මානා බහුලව දක්නට ඇත. වන අලින් අලි මානා ආහාරයට ගැනීමට වැඩි කැමැත්තක් දැක්වීම ඊට හේතුව බවද කියති.

අලි මානා අපේ රටට විශේෂිතවූ තෘණ විශේෂයක් නොවන්නේය. ඇමරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ මෙන්ම හවායි වලද අලි මානා ඇති තරම් තිබෙන බව කියති. Guinea Grass නමින් හදුන්වන අලි මානා වල උද්භීත නාමය වන්නේ Megathyrsus Maximus ය. අලි මානා පත්‍රයේ ඉහළ කොටසේ අධි ප්රෝටීන් සංයුතියක් ඇති බවද කියති. මේ නිසාම අලි මානා ආහාරයට ගැනීමට සිව් පාවුන් වැඩි කැමැත්තක් දක්වති.නමුත් ඇමරිකාව,හවායි මෙන්ම අප රටේද අලි මානා හදුන්වන්නේ ආක්‍රමණශීලී තෘණ විශේෂයක් ලෙසය.

අලි මානා  ආක්‍රමණශීලී තෘණ විශේෂයක් වූයේ අතීතයේදීය. වර්තමානය වන විට එම තත්ත්වය වෙනස් වී අලි මානා යොදා ගනිමින් කඩදාසි නිෂ්පාදනය කිරීමට පිරිසක් සමත් වී ඇත. අලි මානා ගැන මෙතරම් විස්තරයක් ඉදිරිපත් කරන්නට සිදුවූයේද ඒ නිසාමය.

මහනුවර දිස්ත්‍රික්කයේ, පාතහේවාහැට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ශ්‍රියාගම, ලෑටිගොල්ලෑව සහ මොරගොල්ල යන ගම්මාන කේන්ද්‍ර කර ගනිමින් අලි මානා වලින් කඩදාසි නිෂ්පාදනය කිරීමේ ව්‍යාපෘතිය මේ වන විට ආරම්භ කර ඇත. මුලින්ම එම ගම්මාන වලින් තෝරා ගත් පිරිසක් සදහා විශේෂ පුහුණුවක් මෙන්ම තාක්ෂණික දැණුම ලබා දීමටද පාතහේවාහැට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන් කටයුතු කර ඇත. අනතුරුව "අලි මානා කඩදාසි" නිෂ්පාදනය ගෘහ කර්මාන්තයක්  ලෙස පවත්වා ගෙන යාමට ඔවුන් සමත් වී ඇත.

වැඩි දිනක් යන්නට පෙර එම ගම්මාන වල පදිංචිකරුවන් අලි මානා කඩදාසි භාවිතා කරමින් සැරසිලි, බෑග් වර්ග, සුභ පැතුම් පත් මෙන්ම තෑගි දවටනද නිර්මාණය කරන්නට සමත් විය. එතැනින් නොවැවතුණු ඔවුන් මෙවර වෙසක් උත්සවය සදහා අවශ්‍ය කරන වෙසක් කූඩුද අලි මානා උපයෝගී කරගෙන නිපදවන්නට කටයුතු කර ඇත.

මෙපමණ කාලයක් ජනතාවට හිස රදයක්ව පැවති අලි මානා වලට දැන් ඔන්න අගය කළ වටිනාකමක් එකතු වන්නට පටන් අරගෙන. ඒ තවත් පිරිසකගේ බඩ වියත රැක ගන්නට මෙන්ම අත මිටද සරු කරමිනි.

Latest