Skip to content

මොනරටත් ඉහළින් ඉගිළ ගිය අපේ කණ කොකා.

වර්තමානය වන විට අප රට දැවැන්ත ආර්ථික අගාධයකට ගමන් කර ඇති බව සත්‍යයකි.අතීතයේ පාලකයින් සහ ඇතැම් නිලධාරීන් විසින් ගෙන ඇති සහ තවමත් ගනිමින් පවතින තීන්දු තීරණ මෙම තත්ත්වයට හේතුව බව පුන පුනා පැවසිය යුතු නොවන්නේය.

අප රටේ ක්‍රියාත්මක වන රාජ්‍ය ආයතන රැසක දුෂණ සහ වංචාවන් සිදුවී ඇති බව පසුගිය අප විසින් කරන ලද සොයැ බැලීම් වලදී අනාවරණය විය.මේ ආකාරයට සිදුවී ඇති සහ සිදු වෙමින් පවතින දුෂණ සහ වංචා වලට වර්තමානයේ ජීවත් වන ජනතාව පමණක් නොව අනාගතයේදී මේ රටේ උපදින දරුවන්ද වන්දි ගෙවිය යුතුව ඇත.

ශ්‍රී ලන්කන් ගුවන් සේවය නැවත වතාවක් පුද්ගලීකරණය කරන්නට රජය සුදානම් වන බව ඇතමුන් කියා සිටී.මේ පුවත ඇසුණු බොහෝ දෙනෙක් කියා සිටියේ "ඇත්තටම ඒක හොද වැඩක්" බවය.මන්ද "ලොක්කෝ කරපු හොරකම් වලට අපි වන්දි ගෙවන්නේ අහවල් කාරණයකටද" කියා ඔවුන්ට හිතුණු නිසා වන්නට ඇති.මේ අතර අමතර කොටස් නොමැති වීම නිසා පියාසර කිරීමට නොහැකි ගුවන් යානා කීපයක්ම කටුනායක ගාල් කර ඇති බවක්ද පසුගිය දිනවල අසන්නට ලැබුණි.

ගුවන් මගින් ගමන් යන්න අකමැති කෙනෙක් මෙලොව නැත.උපදින ඕනෑම දෙනෙකුගේ එක් ප්‍රාර්ථනයක් වන්නේ කිසියම් දවසක ගුවනින් ගමනක් යාමය.ඒ අනුව සෑම රටකටම ගුවන් සේවා ඇත්තේය.ඇතැම් රටවල් වල නම් රාජ්‍ය ගුවන් සේවා වලට අමතරව පුද්ගලික ගුවන් සේවාවන්ද පවත්වා ගෙන යන්නේය.ලොව සෙසු රටවල් වල ඇති රාජ්‍ය ගුවන් සේවා පාඩු පිට පාඩු ලබන බවක් අපි අසා නැත.නමුත් අපේ රටේ ඇති එකම ගුවන් සේවය නම් දවසින් දවස පාඩු ලබමින් රටම වළ පල්ලට යවමින් සිටින්නේය.

රටම වළ පල්ලට යවමින් සිටින අපේ රටේ ගුවන් සේවය ආරම්භ වූ ආකාරය අපි මුලින්ම විමසා බලමු.

1947 වසරේදී "එයාර් සිලෝන්"නමින් මෙරට ගුවන් සේවය ආරම්භ වී ඇත්තේය.ඒ ගුවන් යානා 03 ක හිමිකාරීත්වයක් ඇතිවය.සීතා දේවි,විහාර මහා දේවි සහ සුනේත්‍රා දේවි යනුවෙන් එම ගුවන් යානා 03 ක් නම් කර තිබුණි. මෙරට ගුවන් සේවයේ පළමු ගමන සිදුවී ඇත්තේ රත්මලානේ සිට පලාලි දක්වා බව කියති.හිටපු ජනාධිපතිවරයෙකු වන දිවංගත ජේ.ආර්. ජයවර්ධන මහතා 1979 වසරේදී  එයාර් සිලෝන් ආයතනය "එයාර් ලංකා" බවට පරිවර්තනය කර ඇත.අනතුරුව හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාර නායක මහත්මිය 1998 වසරේදී එයාර් ලංකා ආයතනයේ කොටස් එමිරේස්ට් ආයතනයට අලවි කර ඇත.එහිදී එමිරේස්ට් ආයතනයට කොටස් 40 ක්ද,මෙරට රජයට කොටස් 51 ක්ද හිමිවූ අතර එයාර් ලංකා ආයතනයේ සේවකයින්ට කොටස් 09 ක් හිමි විය.1999 වසරේදී එයාර් ලංකා ආයතනය "ශ්‍රී ලන්කන් එයාර් ලයින් "යනුවෙන් තම නාමය වෙනස් කරන ලදි.

එමිරේස්ට් ආයතනය එයාර් ලංකා හී කොටස් මිලදී ගැනීමෙන් අනතුරුව සීඝ්‍ර ලභායක් පෙන්නුම් කර ඇත.ඒ අනුව 2007 වසරේ මාර්තු 31 වැනිදා වන විට ශ්‍රී ලන්කන් එයාර් ලයින් ආයතනයේ ලාභය රුපියල් මිලියන 568 ක් විය.2008 මාර්තු 31 වැනිදායින් අවසන් වූ වර්ෂය සදහා ලබා ඇති ලාභය රුපියල් බිලියන 4.4 කි.1999 සිට 2008 දක්වා මෙරටට වැසියන්ට කිසිදු බරක් නොමැතිව ලාභ පිට ලාභ ලබන්නට ශ්‍රී ලන්කන් එයාර් ලයින් ආයතනය සමත්වී ඇත.

2007 වසරේ දෙසැම්බර් 13 වැනිදා මෙරට ගුවන් සේවයට ඉහළින් කණ කොකා ඉගිලෙන්නට පටන් ගත් බව එම ආයතනයේ සේවකයින් කියා සිටින්නේය.පෙර සදහන් කර ඇති දිනය වන විට මෙරට රාජ්‍ය නායකයා ලෙස කටයුතු කළ මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පිරිසක් සිටියේ එංගලන්තයේ ලන්ඩන් නගරයේය.එම පිරිසට වහාම සිය රට පැමිනීමට අවශ්‍යතාවක් ඇති විය.ලන්ඩන් සිට මෙරටට පියාසර කරණු ලබන ශ්‍රී ලන්කන් එයාර් ලයින් ගුවන් සේවයේ ආසන වෙන් කර ගැනීමට පාලකයින් උත්සාහ දරා ඇත.නමුත් ඒ වන විට ශ්‍රී ලන්කන් එයාර් ලයින් ආයතනයේ පාලනාධිකාරිය එම ඉල්ලීම ප්‍රතික්ෂේප කර ඇත.එම ප්‍රතික්ෂේප කිරීම සිදු කර ඇත්තේ ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ පාලක අධ්‍යක්ෂකවරයෙකු ලෙස කටයුතු කරමින් සිටි පීටර් හිල් මහතාය.හෙතෙම පවසා ඇත්තේ ඒ වන විටත් ආසන වෙන් කර ඇති මගීන්ට ප්‍රමුඛතාවය ලබා දිය යුතු බැවින් මෙරට බලධාරීන්ගේ ඉල්ලීම ඉටු කිරීමට නොහැකි බවය.

මේ ආරංචිය කණ වැකුණු එවකට මෙරට පාලනය කරමින් සිටි මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා සිය රට පැමිණි විගස කළ පළමු රාජකාරිය වන්නේ පීටර් හිල් මහතාගේ වීසා කාලය අවසන් කර ඔහුව මෙරටින් පිටුවහල් කිරීමය. එතනින් නොනැවතී ඇති රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා එමිරේස්ට් සමාගම සමග තිබූ ගිවිසුම අවසන් කිරීමටද කටයුතු කළේය.

දැන් වැඩේ හරිය.එතැන් සිට "ශ්‍රී ලංකන්" බවට පත්වූ මෙරට ගුවන් සේවය පාලනය කර ඇත්තේ දේශපාලන ඥාතීන් පිරිසක් විසින් බව අප විසින් කරන ලද සොයා බැලීමකදී අනාවරණය විය. ශ්‍රී ලංකන් ආයතනය රටටම අයත් ගුවන් සේවයක් එය ක්‍රියාත්මක වී ඇත්තේ පුද්ගලික බූදලයක් ලෙසිනි.

2013 වසරේ කොළඹ පැවති "රාත්‍රී ධාවන තරග" පැවැත්වුනේ.මෙම ත්‍රී ධාවන තරග සංවිධානය කරන ලද්දේ රජ පවුලක දරුවන් විසින් බව රටම දන්නා කරුණකි.එම රාත්‍රී ධාවන තරග සදහා ශ්‍රී ලංකන් ආයතනය රුපියල් මිලියන 12.3 ක් වැය කර ඇත.නොමිලේ නිකුත් කර ඇති ගුවන් ටිකට් පත් 119 ක මුල්‍ය වටිනාකමක්ද එම මුදලට අයත් වන්නේය.එමෙන්ම නිසි ටෙන්ඩර් හෝ ප්‍රසම්පාදන ක්‍රියාවලියන් අනුගමනය නොකර 1971 දී සහ 1969 දී නිෂ්පාදනය කරන ලද ගුවන් යානා ශ්‍රී ලංකන් ගුවන් සේවයට මිලදී ගෙන ඇත.සිවිල් ගුවන් සේවා නීතියට අනුව වසර 15 කට වඩා පැරණි ගුවන් යානා මිලදී ගැනීම තහනම් වේ.එයද නොසලකා හරිමින් ගුවන් ටැක්සි මිලදී ගැනීමටද මෙරට බලධාරීන් කටයුතු කර ඇත.එම මිලදී ගැනීම හේතුවෙන් මෙරටට සිදුවී ඇති අලාභය රුපියල් මිලියන 338 කි.

"අහස අපට" යන තේමාව යටතේ මෙරට දෙවැනි ගුවන් සේවය ලෙස මිහින් ලංකා ආරම්භ වන්නේ 2007 අප්‍රියල් මස 23 වැනිදාය.මිහින් ලංකා ගුවන් සේවය එක් වරක් භාවිතා කළ මෙලොව උපන් අයෙකු නම් නැවත එම සේවය භාවිතා නොකරන බව ප්‍රසිද්ධ රහසක් බවට පත් වී තිබුනේය.වරක් මෙම ලියුම්කරුද මිහින් ලංකා ගුවන් සේවයෙන් කටුනායක සිට කුවේට් රාජ්‍ය දක්වා ගමන් කළේය.ඒ පන බයේ ගැහෙමිනි.වෙනත් ගුවන් සේවා වලින් ලැබෙන පහසුකම් කිසිවක් මිහින් ලංකා ගුවන් සේවයෙන් මගීන්ට ලැබුනේ නැත. ලෝකයේ බොහෝ රටවල් වලට "සිලෝන් ටී" සපයනු ලබන්නේ ශ්‍රී ලංකාවෙනි.නමුත් ශ්‍රී ලංකාවේ ගුවන් සේවයක් වන මිහින් ලංකා යානාවක් තුළදී කිසිදු මගියෙකුට තේ එකක් බොන්නට හැකි වන්නේ නැත.

2014 වසරේදී මිහින් ලංකා ආයතනය වසා දමන්නේ පාඩු පිට පාඩු ලැබීම හේතුවෙනි.2008 වසරේදී රුපියල් මිලියන 195 ක්ද,2009 දී රුපියල් මිලියන 1300 ක පාඩුවක්ද මිහින් ලංකා ලබා ඇත්තේ මහජනතාවට මහා බරක් දෙව්ර මත තබමිනි.විගනකාධිපතිවරයා විසින් නිකුත් කර ඇති වාර්තාවකට අනුව 2012 වසර වන විට මිහින් ලංකා ආයතනය ලබා ඇති පාඩුව රුපියල් බිලියන 8.5 කි.කෙතරම් පාඩු ලැබූවත් එම ආයතනයේ සේවය කර ඇති ප්‍රධනීන් දෙදෙනෙකුට මාසිකව රුපියල් ලක්ෂ 55 ක් හා ලක්ෂ 50 ක් වශයෙන් වැටුපක්ද ගෙවා ඇති බව දැන ගන්නට ඇත.2012 දී වසා සමන ලද මිහින් ලංකා ආයතනය එතැන් සිට ශ්‍රී ලංකන් ගුවන් සේවයට අනුබද්ධ කිරීමට මෙරට පාලකයින් කටයුතු කර ඇත.

කෙතරම් පාඩුවක් ලැබුවද නැවත වතාවත් ශ්‍රී ලංකන් ගුවන් සේවය සදහා ගුවන් යානා 10 ක් බදු පදනම මත ලබා ගැනීමට පාලනාධිකාරිය කටයුතු කර ඇත.ඒ අනුව A 320 සහ A 300 ගුවන් යානා 06 ක් සහ A 350 සහ A 390 වර්ගයේ ගුවන් යානා 04 ක්ද බදු ගන්නටකටයුතු කර ඇත.එම යානා වලින් එක් යානයක් ප්‍රභූ පැළැන්තිය සදහා වෙන් කිරීමේ අදහසක්ද තිබී ඇත.එම ගුවන් යානයට නානා කාමරයක්,නිදන කාමරයක්,සාකච්ඡා කාමරයක්,කෑම කාමරයක්,කාර්යාලයක් සහ ශාරීරික අභ්‍යාස කර ගත හැකි ආකාරයට සකස් කිරීමටද  ඇණවුම්  කර තිබී ඇත.

අනතුරුව බලයට පැමිණි යහපාලන රජය පෙර සදහන් කර ඇති ගුවන් යානා බදු ගැනීම අත්හිටුවීමට තීරණය කර ඇත.නමුත් ඒ වන විටත් මෙරට බලධාරීන් ගුවන් යානා බදු ගැනීම සදහා ගිවිසුම් ගතව සිට ඇත.එම ගිවිසුම අවලංගු කිරීම හේතුවෙන් වන්දියක් ලෙස අදාල සමාගමට ඇමරිකාණු ඩොලර් මිලියන 110 ක් ගෙවීමටද මෙරට රජය සිදුවී ඇත.

මේ සම්බන්ධයෙන් තවත් විස්තර දැන ගැනීම සදහා මෙම ලියුම්කරු විසින් තොරතුරු දැන ගැනීමේ පනතට(RTI) අනුව ශ්‍රී ලක්නක් ගුවන් සේවය වෙත 2022 මැයි මස 12 වැනිදා අයදුම්පත් යොමු කරන ලදි.නමුත් එම අයදුම්පත ලැබුණු බව හෝ ඊට දක්වන ප්‍රතිචාරය කුමක්ද යන්න වත් ශ්‍රී ලන්කන් ගුවන් සේවය විසින් මෙතෙක් දැණුම් දීමට කටයුතු කර නැත්තේ ඇයිද යන්න නම් ගැටළුවකි.

(ඡායාරූප අන්තර් ජාලය ඇසුරෙනි)

Latest