Skip to content

රිලා ගැටළුව ගැන කෘෂිකර්ම ඇමතිගෙන් පරිසරවේදීන්ට චෝදනා

රිලවුන් චීනයට යැවීමට එරෙහිව ඊයේ දින අධිකරණ පියවර සම්බන්ධයෙන් අද පෙරවරුවේ කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගෙන් මාධ්‍යවේදීන් විමසීමක් සිදුකළා.



කෘෂිකර්ම අමාත්‍යවරයා සඳහන් කරන්නේ ගොවීන්ට රිලවුන්ගෙන් එල්ල වී ඇති වගා හානි ගැටළුවට ප්‍රායෝගික විසදුමක් ලබාදිය යුතු බවයි. පරිසරවේදීන් රිලා ගැටළුවට විසඳුම් කිහිපයක් ඉදිරිපත් කළද ඒවා ප්‍රායෝගික නොවන බවද ඇමතිවරයා සඳහන් කරනවා. මෙහිදී එක් පරිසර සංවිධානයක් විසඳුම ලෙස සාරි එල්ලන ලෙස යෝජනා කළ බවද ඒ මහතා පෙන්වා දෙනවා.ගොවීන් වෙනුවෙන් රිලවුන්ගේ ගැටලුව විසඳීමට කෘෂිකර්ම අමාත්‍යාංශය ක්‍රමවේදයක් සොයමින් පවතින බවද පවසන ඇමතිවරයා චීනයේ පෞද්ගලික සත්ව උද්‍යාන 20,000 සඳහා ඉල්ලුම ලැබී තිබූ බවත්, රිලවුන් ප්‍රදර්ශනය සදහා රැගෙන යනවා මිස මෙරට ප්‍රචාරය වූ අයුරින් ආහාරයට ගැනීමට ගෙනයන කතාව අසත්‍ය බවයි අමරවීර මහතා පවසන්නේ.


චීනයට රිලවුන් රැගෙන යාම පිළිබඳ මූලික සාකච්ඡාවක් පමණක් පැවති බවත් රිලවුන් අපනයනය කරන්නේ නම් ඒ සඳහා රටේ අණපනත් වෙනස් කිරීමට ද සිදු වන බවද ඒ මහතා පෙන්වා දෙනවා.
රිලවුන්ගෙන් සිදුවන වගාහානි පෙන්වීමට පරිසරවේදීන් ක්ෂේත්‍රයට රැගෙන යාමට හැකියාව ඇතිමුත්, ජනතාව කෝපවී ඔවුන්ට පහරදේ යැයි තිබෙන බියනිසා එය නොකරන බවත් සඳහන් කරනවා.

පරිසරවේදීන් රිලවුන්ට මෙන්ම ඩොලර් වලටත් ආදරේ බව පැහැදිලි වී ඇති අතර අධිකරණ කටයුතු සඳහා මිළ අධිකම ජනාධිපති නීතිඥයින් ඉදිරිපත් කර තිබූ බවද කෘෂිකර්ම ඇමතිවරයා වැඩිදුරටත් පෙන්වා දෙනවා.

Latest