Skip to content

ඇයි මේ හැමදේම කුඩා වෙන්නෙ... මේ හැමදේම කුඩා වෙන්නෙ ප්‍රමාණයෙන් විතරද......?

💡
මේ සටහන උපුටා ගන්නේ malcolm sang ගේ ෆේස්බුක් ගිණුමෙන්

සමහර සිංදු වලට අපි ආස කරන්නෙ සංගීතය වගේම අර්ථයත් අපේ සිතිවිලි එක්ක සෙල්ලම් කරන නිසා කියල මට හිතෙනව.

කුඩා දවස්වල ඇබා... බොනියම්... බීජීස් වගේ සංගීත කන්ඩායම් වල සිංදු නිතරම අහන්න ලැබෙද්දි බී ජීස් ( Bee Gees) කියන සංගීත කන්ඩායමේ සරල ගීතයක් වුනු ෆර්ස්ට් ඔෆ් මේ ( First Of May) අනිකුත් ගීත තරම් හිතට දැනුනෙ නෑ.

නමුත් පහුකාලීනව රිවර්ස් ඔෆ් බාබිලෝන්... ඩාන්සින්ග් ක්වීන් වගේ සිංදු වලට වඩා ෆර්ස්ට් ඔෆ් මේ සිංදුව හිතට දැනෙන්න ගත්තෙ කාලයත් එක්කම ගීතයේ අදහස ජීවිතයට කිට්ටුවෙන නිසා විය යුතුයි.

When I was small

And Christmas trees were tall

We used to laugh while others used to play

Don't ask me why.....

Now we are tall

And Christmas trees are small

ඒ ගීතයේ කියන්නෙ මම පුංචි කාලෙ නත්තල් ගස් හරි උසයි...

දැන්  අපි උස ගිහින් .... ඒ එක්කම නත්තල් ගස් හරි පොඩියි...

වගේ කතාවක්.   ගීතයේ සම්පූර්ණ අදහස මේ නොවුනත්  මේ දෙබස එක්තරා කම්පනයක් ඇතිකරනව ජීවිතය ගැන.

හදිසියේම දවස් කීපයකට ලංකාව එන්න සිද්ධ වුනා පෞද්ගලික උවමනාවකට.  ඒ අතරෙ කොළඹ ඉඳන් නුවරට එන අතරතුර නිතරම හිතේ ඇතුලෙ ඇහුනෙ ෆර්ස්ට් ඔෆ් මේ ගීතය.

කුඩා කාලෙ මුලින්ම කොළඹ ආපු දවසෙ ගෝල්ෆේස් හෝටලය දැක්කෙ මහා ගාම්භීර බලකොටුවක් .. යෝධයෙක් වගේ.  නමුත් අද ඒක පැරනි කොලෝනියල්.. කුඩා ගොඩනැගිල්ලක් විතරයි.

ඒ ගොඩනැගිල්ල පොඩිවට පේන්නෙ වටේ ගොඩනැගිලි අහස උසට ඇදෙන නිසාද නැතිනම් නත්තල් ගහ ලඟ හිටගෙන හිටපු අපි උස් මහත් වෙලා නිසාද..?

ඒ කාලෙ ප්‍රේමදාස මහත්තයා ලංකාව වටේ හදපු... මහා උත්සව තියල විවෘත්ත කරපු ඔරලෝසු කනු වල් බිහිවෙලා.... යෝධයො වගේ හිටපු කනු අඟුටු මිට්ටො වෙලා...

ලඟා වෙන්න අපහසු... මහා වලව්වක් වගේ පෙනුනු අඹේපුස්ස තානායම පරන මහ ගෙදරක් බවට පත්වෙලා.

මාවනැල්ලෙ පාලම උඩින් යද්දි ඒ කාලෙ ලොකු තැති ගැනීමක් දැනුනා ලොකු ගඟක රැලි ජවය ඇතුලෙ....  මාඔය අද පොඩි ඇල පාරක් වෙද්දි පේරාදෙනිය පාලම යටින් ගලාගෙන යන මහවැලි ගඟ පේන්නෙ ඒ කාලෙ දැකපු මා ඔය වගේ.

ඩෝසන් කනුව උඩට නැග්ගොත් මුහුද පේනව කියල හිතාගෙන හිටියෙ ඒ තරම් යෝධ කුළුණක් ලොකු බයක් හිතේ ඇතිකරපු නිසයි.

අද ඒ ඩෝසන් කනුව මාරවිල පැත්තෙ උළු ගඩොල් පෝරනුවක දුම් කවුළු තියන ගඩොල් කුළුනකටත් වඩා පොඩියි.

කඩුගන්නාවෙ කළුගල විදල හදපු පාර දැක්කම ඒ කාලෙ ඇතිවුනේ ආඩම්භරයක්... තාක්ශණය ගැන මහා ලොකු හැඟීමක්.  ඒත් මේ පුංචි ගල් පතුර මගෑරල පාර හැදුවෙ නැත්තෙ ඇයි කියල අද කල්පනා වෙනව.

එතකොට ආපහු අර ගීතය හිතට එනව.

බෝගම්බර පිට්ටනිය පේන්නෙ තණකොල අල්ලපු මිදුලක් වගේ...  බහිරව කන්දෙ බුදු පිලිමෙ ලස්සන අඩුවක් නැතත් දවසින් දවස පොඩි වෙනව... අස්ගිරිය මල් වතු පංසල් ගමේ පංසලටත් වඩා පොඩියි.

ඒ දැකපු ලස්සන වෙනස් වෙලා නෑ.... නමුත් මේ හැමදේම පොඩියි... ලඟයි.

කුඩා කාලෙ මහා උසට දැකපු තට්ටු ගොඩනැගිලි ගිනිපෙට්ටි වගේ පුංචි වෙද්දි මහා ලොකුවට දැකපු නගරය පුංචි ගම්මානයක් වගේ පහලින් පේන්නෙ හිත පුදුම කරමින්.

උදේ පාන්දර මේ පේන කොල පාට ගහකොල නම් ඇස්වලට දෙන්නෙ ලොකු සතුටක්.

නමුත් ඒ ගහකොලත් අද පොඩියි.

ඇයි මේ හැමදේම කුඩා වෙන්නෙ... මේ හැමදේම කුඩා වෙන්නෙ ප්‍රමාණයෙන්  විතරද......?

මේ හැමදෙයක්ම වෙනස් වෙලාද... නැතිනම් මේ බලන මමද වෙනස් වෙලා තියෙන්නෙ.

විද්‍යාව කියනව පුද්ගලයෙක් මූලික වශයෙන්/ අභ්‍යන්තරයේ පවතින සැබෑ ස්වාභාවයෙන් වෙනස් වෙන්නෙ නෑ කියල.

People Fundamentally Never Change, Says Science.

එහෙම නම් මේ වෙනස් වෙලා තියෙන්නෙ දකින පේන වස්තූන්ද... සිතිවිලිද... දකින ආකාරයද... වස්තූන් හා සිතිවිලි අතර තියන අවකාශයද..?

තේවාව ඇහෙන නගරය... සෙංකඩගල මීදුම් ඇදෙන නගරය... උඩවත්ත කැලෙන් එන්න කුරුල්ලො පියාඹගෙන යන අහස... බහිරවයන් හැංගිලා ඉන්න කඳු පේලිය...

මේ හැමදේම ගැන ලියන්න තියන දේවල් බොහොමයි.

නමුත් මේ හැමදෙයක් ගැනම හැමදෙනාම දන්නව.

නමුත් අපි හැමෝම දකින්නෙ එකම විදිහද..?

කුඩා කාලෙ මහා උසට දැකපු තට්ටු ගොඩනැගිලි ගිනිපෙට්ටි වගේ පුංචි වෙද්දි මහා ලොකුවට දැකපු නගරය පුංචි ගම්මානයක් වගේ පහලින් පේන්නෙ හිත පුදුම කරමින්.

මගේ පරන මිත්‍රයෙක් කියපු කතාවක් මතක් වෙනව.

" මං පුංචි කාලෙ උඩ තට්ටුවට නගින තරප්පු පේලිය මහා විශාලයි.. ගාම්භීරයි... නැගල ඉවර කරන්න බැරි තරම් උසයි.... තාත්තගෙ හරි අම්මගෙ හරි අතේ එල්ලිලා නගින්න වෙන තරම ඒ පඩිපෙල මාව බය කලා.

කාලෙකට පස්සෙ මම දැක්කෙ නිකම්ම නිකන් ලී පඩි පෙලක්... අඩියට දෙකට මං ඔය පඩිපෙළ නැගල ඉහලට ගියා....

අද තවත් අවුරුදු පනහකට හැටකට පස්සෙ මේ පඩිපෙළ ආයෙත් උස්මහත් වෙලා...

තනියම තියා උඹගෙ අතේ එල්ලිලාවත් මට මේ පඩිපෙළ නගින්න බෑ...

මේ තරප්පු පේලිය ආයෙත් උස ගිහිල්ල... "

ඒ ගැන ලියන්න තව ටික කාලයක් තියනව.

එදාට මේ හැමදේම ආපහු මහා විශාලෙට පෙනේවිද..?

ත්‍රිත්ව විද්‍යාලය ලඟ තිබුනු මහා ගේට්ටු පවා පුංචියට පෙනෙද්දි එදා  ඒ ගේට්ටු අසලින් යද්දි සැරවුනු මුරකාරයො අද අහිංසක හිනාවක් එක්ක ගුඩ් මෝනින් කියනව.

වෙනස් වෙලා තියෙන්නෙ කවුද.... වෙනස් නොවන එකම දේ වෙනස්වීම පමණක්ද

උදේ දුම් දාන කෝපි එක... පියානෝ සංගීතය එක්ක මැවෙන යුරෝපා ෆැන්ටසිය මේ කඳු ගැටේ උඩ නැහැ.

නමුත් ඊට එහා ගිය ලොකු සිතිවිලි ජාලයක හිත හිරවෙන්නෙ හන්තානට උඩින් ඇදෙන වලාකුළු වගේ පාවෙලා යන තරමට ඒ සිතිවිලි සැහැල්ලු නැති නිසා විය යුතුයි.

-Malcolm Sang-

Malcolm Sang
Malcolm Sang ಅವರು Facebook ನಲ್ಲಿದ್ದಾರೆ. Malcolm Sang ಮತ್ತು ನಿಮಗೆ ತಿಳಿದಿರಬಹುದಾದ ಇತರರನ್ನು ಸಂಪರ್ಕಿಸಲು Facebook ಗೆ ಸೇರಿರಿ. Facebook, ಜನರಿಗೆ ಹಂಚಿಕೊಳ್ಳುವ ಅಧಿಕಾರವನ್ನು ಕೊಡುತ್ತದೆ ಮತ್ತು ಜಗತ್ತನ್ನು ಹೆಚ್ಚು ಮುಕ್ತ…

Latest