Skip to content

ඇවිදිමෙන් ගිනස් පොතට නම ගිය විකී දෙවුන්දර සිට පේදුරුතුඩුවට ගොස් අලුත් වාර්තාවක් තියන්න සුදානම්...

පැය 11 යි විනාඩි 38 කදී කිලෝමිටර් 100 ක් එක දිගට ඇවිදලා 2011 වර්ෂයේ ගිනස් වාර්තාවක් තබා මේ වන විට ජපානය, මැලේසීයාව, සිංගප්පුරුව වැනි රටවල් කිහිපයකම පැවැති ඇවිදිමේ තරඟ සහ දිවයිනේ ඇවිඳිමේ තරඟ රැසකදි ජයග්‍රහණ රැසක්ම ලබා ගත් රඹුක්කන දියසුන්නත පදිංචි 57 හැවිරිදි එස්.පී වික්‍රමසිංහ මහතාට දෙවුන්දර සිට පේදූරු තුඩුව දක්වා ඇවිද ගිනස් වාර්තාවක් තැබීමට සුදානම් වන අතර අවශ්‍ය කරන සහයෝගය ලබා දෙන්නේ නම් තමාට එය සිදු කර නැවතත් ගිනස් වාර්තාවක් තැබිමට හැකියාව ඇති බව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා පවසයි.


පළමු ගිනස් වාර්තාව තබන අවස්ථාවේ රඹුක්කන ප්‍රධාන ක්‍රීඩා පිටියට ගිලන් රථ පවා ගෙනවිත් තිබුණා. නමුත් මට කිසිම අපහසුවක් දැනුනේ නැහැ. ඊට පසුදාත් මම වෙනදා මෙන් ව්‍යායාම කරලා සුපුරුදු අන්දමින් ඇවිදිමේ කටයුතු සිදු කලා. වෙන රටවල් වලනම් රටට කීර්තියක් ගෙන එන අපි වාගේ ක්‍රීඩයන් හිටියා නම් ඒ රටේ සම්පත් විදිහට සලකලා ඒ අයට උදව් කරලා රටේ කීර්ති නාමය එම ක්‍රීඩයන් හරහා ගෙන යනවා. අපේ රටවල් වල මොන දක්ෂයෙක් වුනත් කැලයට පිපෙන මල් වාගේ පිපිලා පරවෙලා යනවා ඔවුන්ගේ වටිනාකම කිසිම වගකිව යුත්තෙකුට දැනෙන්නේ නැති බව තරමක වේදනාවෙන් ඔහු ඒ ගැන කතා කරයි.
එක් දරු පියෙකු වන මෙතුමාගේ බිරිඳ රැකියාවක් නොකරන අතර පුතණුවන් නාවික හමුදාවේ සේවයේ යෙදි සිටි. වික්‍රමසිංහ මහතාගේ මෙතුමාගේ මව තවමත් ජිවත් වි සිටින අතර ඇය වයවෘද්ධ කාන්තාවක් නිසා තරමක අසනීප තත්වයේ පසුවෙයි. දැනට දසක හතරකටත් වැඩි කාලයක් ක්‍රීඩාවෙන් දක්ෂතා පෙන්වා ඇති මෙතුමා සතුව දෙස් විදෙස් රටවලින් ලැබුණු පදකම් සහ සහතික පත් විශාල ප්‍රමාණයක් ඇත. වෘත්තියෙන් නිවාස අලංකරණය සිදු කරන මෙතුමා සෑම දිනකම අලුයම 4 ට අවදි වි කිලෝමිටර් ගණන් දුර ඇවිද යෑම සහ ව්‍යායාම සිදු කර තම රැකියාවටත් නිසි වේලාවට යන කෙනෙකි.
වික්‍රමසිංහ මහතා මෙ වන තෙක් කිසිදු බෙහෙත් පෙත්තක්වත් පානය කර නොමැති අතර දෛනිකව කිලෝමිටර් 100 ක් 200 ක් කිසිදු අපහසුතාවයකින් තොරව ඇවිද යෑමට හැකි බව පවසයි. මේ වන විට රඹුක්කන සිට කොළඹට රඹුක්කන සිට මහනුවරට වසර ගණනාවක් ද පොසොන් පොහෝයට රඹුක්කන සිට අනුරාධපුර දක්වා වසර 6 කටත් වැඩි කාලයක් නොකඩවා ඇවිද ගොස් ඇත. අනුරාධපුරයට සහ කොළඹට එක දිනකදි යා හැකි බවද වික්‍රමසිංහ මහතා පවසයි. අපිට කවුරු හරි සහයෝගය ලබා දෙන්නේ නම් ක්‍රිඩාව අතින් තවත් බොහෝ දේවල් කර හැකි බවද ඔහු පවසන්නේ තම හැකියාව ගැන තිබෙන උනන්දුව සහ විශ්වාසය නිසාවෙනි.
මෙතුමා විවිධ තරග ජයග්‍රහණයන් ලබා ගත් පසු සුභ පතා නගරයේ ප්‍රදර්ශනය කරන ලද බැනර් කටවුඩ් පොස්ටර් යනආදිය දින කිහිපයකට පසු මොහු එකතු කරගෙන නිවස වෙත ගෙන එන අතර මේ වන තෙක් මෙතුමා දුර දිවිමට භාවිතා කරන ලද සපත්තු ජොඩු සියයකට වඩා  වැඩි ප්‍රමාණයක් ගෝනි වල දමා මොහු එකතු කරගෙන සිටින්නේ මතක සටහනක් ලෙසයි.
රඹුක්කන තිබුණු ජංගම සේවයකදි දැනට සමගි ජන බලවේගයේ ඉන්න විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහත්තයා මම ක්‍රීඩා කරන අවස්ථාවේ මට මුණ ගැසුණා. මාගේ දක්ෂතා ගැන කතා බහ කරාට පස්සේ මට ක්‍රීඩා කරන්නට සපත්තු දෙකක් ලබා දෙනවා කිවා එතුමා කිවා මිල ගණන් වැඩක් නැහැ මම සපත්තු දෙක දෙනවා කියලා නමුත් මේ වෙනකම් මට ඒ සපත්තු ලැබුණේ නැහැ. මම දැන් ඉන්න ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහත්තයාටත් ලියුමක් දැම්මා සපත්තු දෙකක් ඉල්ලලා.
ක්‍රිඩාවට තවමත් ආදරය කරන ක්‍රීඩාවෙන් තවත් බොහෝ දුර යන්නට උත්සාහ කරන රඹුක්කන දියසුන්නත එස්.පී වික්‍රමසිංහ මහතා අදහස් දක්වමින් මෙසේ ද පැවසීය.
අද ලංකාවේ ඉන්න බොහෝ දෙනෙක් ලෙඩ්ඩු මේකට හේතු වේලා තියෙන්නේ ක්‍රිඩා නොකිරීමයි. ව්‍යායාමයක් සිදු කරන්නේ නැහැ. ආගමික පැත්තට නැඹුරු වේලා නැහැ. ගුණ ධර්ම අඩු වේලා. තරුණ දරුවෝ බොහෝ දෙනෙක් මත්ද්‍රව්‍ය භාවිතයට හුරු වේලා ඒ නිසා ජිවිත විනාශ වෙනවා ඔවුන්වත් ඒ ගැන දන්නේ නැහැ. ලංකාවේ විනය කියන එක බිංදුවේ තියෙන්නේ.
මම දෛනිකව කිලෝමිටර් 20 ක් ඇවිදිනවා. මට ක්‍රීඩාවට උනන්දුවක් තියෙන දරුවන්ට පුහුණු විම් සඳහා උගන්වන්න අතහිත දෙන්න පුළුවන් එහෙම මාගෙන් පුහුණුව ලැබු දරුවන් අද ක්‍රීඩාවෙන් හොඳ තැන් වල ඉන්නවා. මම ජිවත් වුනොත් අවුරුදු 100 යේදිත් රඹුක්කන දුවන්න තමයි ටාකට් කරගෙන ඉන්නේ. ඒ වාගේම මාගේ අනාගත බලාපොරෝතුවත් ක්‍රීඩාවෙන් ජයග්‍රහණ සහ රටට කීර්තියක් ගෙන දීමයි. පිටරට තිබෙන ඇවිදිමේ තරග වලට යෑමට හැකියාවක් නැහැ සිංගප්පුරුවෙත් කලින් ගියේ ටිකට් එකක් ගහලා විකුණලා සල්ලි හොයා ගෙන කවුරු හරි උදව් කරනවා නම් මට ජයග්‍රහණ අරන් එන්න තාමත් හැකියාව තිබෙනවා. දැන් අපි ප්‍රවීන ක්‍රීඩකයන්. වෙන රටක ඉපදුනානම් අද ඒ රටේ අපි ජාතික සම්පත් වෙයි.
බිරිඳ ජයන්ති දිසානායක මහත්මිය අදහස් දක්වමින් මෙසේ පැවසීය.

සිය බිරිඳ පුතනුවන්ගේ කුඩා දැරිය සහ ඔහුගේ මව


1981 ඉදලාම මෙයා ක්‍රීඩාකටයුතු කරනවා. නමුත් කියන්න තිබෙන කණගාටුම කාරණය තරමයි මේයාගේ ක්‍රීඩා හැකියාවට කවුරුත් උදව් කරන්නේ නැති එක. ජනාධිපතිවරු කිහිප දෙනෙකුටම ලිපි යවලා තිබෙනවා. කියන්න ඔනෑ හැම වගකිව යුත්තෙකුටම කියලා තිබෙනවා. අපි එහෙම උදව් ඉල්ලන්නේ ආර්ථික පැත්තෙන් ඒ තරම්ම උසස් තැනක නැති නිසායි.
එස්.පී වික්‍රමසිංහ මහතා සතුව ජපානය සහ වෙනත් රටවල ඔහුගේ රුව සහිත එතුමා ඉදිරිපත් වු ඇවිදිමේ තරග සම්බන්දයෙන් තොරතුරු ඇතුලත් එම රටවල පුවත් පත් කොටස්ද ඔහු සතුව ඇත. දැනට ඔහු සියලු ක්‍රීඩා කටයුතු වලට යොදා ගන්නා සපත්තුවේ හිල් කිහිපයක් ඇති අතර ඊට ටයර් කෑල්ලක් යොදා ගෙන එය භාවිතයට ගන්නේ තිබෙන ආර්ථික අපහසුතාවයන් මතයි.

මේ වෙන කොට ලබා ගෙන ඇති පදක්කම් 
මේ දක්වා ඇවිදම සහ දිනපතා ව්‍යායාම වලට යොදා ගෙන ඉවත දැමු සපත්තු කිහිපයක්
ජපානයේ තරගයට ගිය අවස්ථාවේ එහි ජාතික පුවත් පතක පල වු වාර්තාවක්
අද වන විට දුවන්න භාවිතා කරන ඔහුගේ සපත්තුව

Latest