Skip to content

ඇසළ මාසයේ දී පමණක් හමුවන තින්නෝරු පතල....!

ඕනෑම හින්දු දේවාලයකට යන බැතිමතුන්ගේ නළලේ සුදු පැහැති කුඩු විශේෂයක් තැවරීම පුජකවරුන් විසින් සිදු කරති.එය හින්දු ආගමික චාරිත්‍රයක් කොටද සළකති.

දේවාලයේදී නළලේ තවරණ මෙම කුඩු විශේෂය"තින්නෝරු" යනුවෙන් හදුන්වති.ඇතමුන් විභූති,පරහද යන නම් වලින් තින්නෝරු හැදින්වීම සිදු කරති.

ඉන්දියාවේ නම් තින්නෝරු නිෂ්පාදනය කර ගනිති.ඒ වියලා ගත් ගොම පිදුරු මත අතුරා ගිනි තබා ගැනීමෙන් පසුවය. නමුත් අපේ රටේ නම් එසේ නොවේ. ලෝකයේ ඇති එකම තින්නෝරු පතල පිහිටා ඇත්තේ ශ්‍රී ලංකාවේ බව පත පොතේ සදහන් වේ.

එළඹෙන ජූනි මස 19 වෙනිදා කතරගම දේවාලයේ ඇසළ මංගල්‍ය පැවැත්වීමට නියමිතව ඇත. කතරගම දේවාලයේ ඇසල මංගල්‍ය ළගා වීමත් සමග එම දේවාලයට ආසන්නයෙන් ඇති භූමියක මෙම ස්වාභාවික තින්නෝරු පතල දැක ගන්නට හැකි බව එම ප්‍රදේශයේ ජනතාව සදහන් කරති. මෙම තින්නෝරු පතල පිහිටා ඇත්තේ කතරගම දේවාලයට ගිනිකොණ දිසාවෙන් පිහිටි භූමියකය. දෙමටගමුව ග්‍රාම නිලධාරී වසමේ පිහිටා ඇති මෙම භූමිය අතීතයේදී "තින්නෝරුමල විභූති" කන්ද යනුවෙන් හදුන්වා ඇත. අතීතයේ සිටම මෙම භූමිය මිනිස් වාසයෙන් තොරව පැවතුනත් වර්තමානය වන විට එම තත්ත්වය වෙනස් වී ඇති බව කියති.

අක්කර 55 ක විශාලත්වයක් ඇති මෙම භූමිය 2010 වසරේදී එවකට කතරගම ප්‍රාදේශීය ලේකම්වරයා ලෙස කටයුතු කර ඇති බී.එම්.අතපත්තු මහතා විසින් මැන නිරවුල් කර කතරගම දේවාලයේ බස්නායක නිලමේ ලෙස කටයුතු කළ ශෂේන්ද්‍ර රාජපක්ෂ මහතාට බාර දීමට කටයුතු කර ඇත. එසේ නීත්‍යාණූකූලව ලබා දී ඇති ඉඩමේ කොටසක්ද මේ වන විට ව්‍යාපාරිකයෙකු විසින් අත්පත් කරගෙන නිවාඩු නිකේතනයක් ඉදිකර ඇති බවද සදහන් වේ. එම කටයුත්ත කෙසේ සිදු වූවාද යන්න කතරගම දෙවියන්ටවත් තවමත් පැහැදිලි වී නැත.

කතරගම දේවාලයේ ඇසළ මංගල්‍ය ආසන්න වෙත්ම මහ පොලවේ සුදු පැහැති කුඩා කැට වශයෙන් තින්නෝරු හමු වන්නට පටන් ගනී.මාස 03 ක පමණ කාලයක් පමණක් තින්නෝරු ලබා ගත හැකි අතර,ඉන් පසුව ඒවා අතුරුදහන් වන බවද ප්‍රදේශවාසීන් සදහන් කරයි.

තින්නෝරු නෙළා ගැනීමද දේව කාර්යක් හා සමානය.දින ගනනාවක් මස් මාංශ ආහාරයෙන් ඈත්ව පේවී පිරිසිදු වී දෙවියන්ට බාර හාර තබා තින්නෝරු නෙලීම ආරම්භ කරති.තින්නෝරු ඇති බව කියන භූමියේ අඩි 03 ක පමණ වළක් කපා අනතුරුව දෝනා සකස් කර ගනිමින් තින්නෝරු ලබා ගැනීම සිදු කරයි. අනතුරුව නෙලා ගත් තින්නෝරු කැට සමග ඇති වැලි සහ ගල් කැබලි පරිස්සමින් ඉවත් කිරීම සිදු කරති. ඉන් පසුවයි තින්නෝරු කැට වියලීම සිදු කරණු ලබන්නේ. වියලා ගත් තින්නෝරු කැට පසුව කුඩු කර පිටි බවට පත් කර දේවාලය වෙත බාර දීම සිදු කරන බවද කියති.

මෙරට ඇති සෙසු හින්දු දේවාල වලට අවශ්‍ය තින්නෝරු ලබා දෙන්නේද කතරගම පිහිටි මෙම භූමියෙනි. එපමණක් නොව ඉන්දියාවේ බොහෝ හින්දු දේවාල වලට අවශ්‍ය කරන තින්නෝරු රැගෙන යන්නේද කතරගමින් බව කියති. ජාත්‍යන්තරයට තින්නෝරු අලවි කිරීමේදී ග්‍රෑම් 100 ක් ඩොලර් 15 ක් පමණ වන බව අප කරන ලද සොයා බැලීමේදී අනාවරණය විය.

තින්නෝරු භවිතා කරණු ලබන්නේ නළලේ තැවරීම සදහාම පමණක් නොව. තම  ශරීරයේ ඇති වන විවිධ තුවාල සුව කිරීම සදහාද තින්නෝරු භාවිතා කිරීමට හින්දු බැතිමතුන් කටයුතු කරති. හින්දු දේවාල වල මංගල්‍ය පවත්වන විට ශරීරය පුරා කටු ගසා සිදු කරන පුද පුජාවන් ඔබ දැක ඇතුවාට සැකයක් නැත. කටු ගැසීමෙන් ශරීරයේ ඇති වන තුවාල සුව කිරීම සදහා භාවිතා කරන්නේද තින්නෝරු බව හින්දු බැතිමතුන් සදහන් කරයි.

(හෙළ හරිත හවුල සමුහයෙන් උපුටා ගෙන සකස් කරන ලදි)

Latest