Skip to content

අදින් වසර 92 කට පෙර ක්‍රියාත්මක වීම ඇරඹි සර්වජන ඡන්ද බලයේ අග්‍රඵලය...

යටත් විජිත යුගයේ දී ලංකා දේශපාලන බිමේ සිටි ප්‍රබල ම චරිතයක් වුණු  ඩී.එස් සේනානායක ඇතුළු පිරිස එදා කළ අරගලයෙහි ප්‍රතිඵලයක් වශයෙන් ඩොනමෝර් කොමිසම මඟින් අප රටට සර්ව ජන ඡන්ද බලය ලබාදීමට තීරණය කළහ. එහි දී වයස අවුරුදු 21ට වැඩි සෑම පුරවැසියකුටම  ඡන්ද බලය හිමි වුණා. ඒ අයුරින් ලංකාවට සර්ව ජන ඡන්ද බලය හිමි වෙද්දී ආසියාවේ වෙනත් කිසිදු රටකට එම අයිතිය ලැබී තිබුණේ නැහැ.

එසේ ලංකාවට සර්ව ජන ඡන්ද බලය ලැබීමෙන් පසු ව පැවැත්වුණු පළමු රාජ්‍ය මන්ත්‍රණ සභා මැතිවරණය සඳහා නාම යෝජනා භාරදීමට නියමිත ව තිබුණේ  හරියටම අදින් අවුරුදු අනූ දෙකකට (92) පෙර එනම් 1931 මැයි 4 වැනිදාකයි. එදින ඩී.එස් සේනානායක මහතා මිනුවන්ගොඩ අසුනට තරග කිරීම සඳහා සිය නාම යෝජනා භාර දුන් අතර ඉන් දින 40කට පසුව ආරම්භ වුණු මැතිවරණය සතියක් හෙවත් දින 7ක් තිස්සේ ක්‍රියාත්මක වුණා.  1931 ජූනි මස 13 වෙනි දින ආරම්භ වූ එම මැතිවරණය ජූනි මස 20 වෙනි දින දක්වාම පැවැත්වුනා. එහිදී මිනුවන්ගොඩ අසුනට තරග කළ ඩී.එස් සේනානායක මහතා එම මැතිවරණයෙන් නිතරග ජයක් ලබා ගත්තා. පසුව ඩී.එස් සේනානායක මහතා ලංකාවේ පළමු අගමැතිවරයා වශයෙන්ද තේරී පත්වුණා. එදා ලංකාවට නිදහස දිනා දීමට කැප වී වැඩ කළ නිසා ඔහුට ‘ජාතියේ පියා’ යන අන්වර්ථ නාමය ද පට බැඳුණා. ඩී.ඇස්. සේනානායක මහතා මෙතෙක් ජීවත්වූවා නම් ඔහු මේ වසරේ (2023) ඔක්තොම්බර් මස 20 වෙනි දිනට සමරනු ලබන්නේ ඔහුගේ 139 වැනි ජන්ම දිනයයි.

ජාතියේ පියා

ඒ අයුරින් ලාංකීය දේශපාලන බිමේ පතාක යෝධයකු ලෙසින් වැජඹුණු ඩී.එස් සේනානායක මහතා 1931 සහ 1936 රාජ්‍ය මන්ත්‍රණ සභා යුගවල දී කෘෂිකර්ම සහ ඉඩම් ඇමතිවරයා ලෙසින් කටයුතු කළා. එම අවධියේ දී ඔහු මෙරට කෘෂිකර්ම ක්ෂේත්‍රය දියුණු කිරීම සඳහා කටයුතු කළ ආකාරය පිළිබඳව පැරැන්නන්  අදටත් සිහිපත් කරනවා. එදා ඩී.එස් සේනානායක කෘෂිකර්ම ඇමතිවරයා දුර දක්නා නුවණින් යුතු ව සිදුකළ  ගල්ඔය යෝජනා ක්‍රමය ඇතුඵ ව්‍යාපෘතිවලින් අදටත් ප්‍රතිලාභ ලබන පිරිසක් සිටිනවා. මේ ලිපිය මගින් අප ඔබට කියන්නට යන්නේ එසේ ලද සර්වජන චන්ද බලය මගින් ඉතාමත් කෙටි කලකින්ම උපරිම ඵල නෙලාගත් ඩී.ඇස්. සේනානායක,  ලංකාවේ කෘෂිකර්මාන්තය නඟා සිටුවීම සඳහා කටයුතු කළ ආකාරය පිළිබඳව යි.

දේශපාලන දිවියේ මුල් යුගය

1924 වසරේ දී ලංකාවේ එවකට පැවති ව්‍යවස්ථාදායක මන්ත්‍රණ සභාවට සභිකයන් තෝරා ගැනීම සඳහා මැතිවරණයක් පැවැත්වුණා. එම මැතිවරණයේ දී  මීගමුව ආසනය සඳහා තරග කළ ඩී.එස් සේනානායක එම මැතිවරණයෙන් නිතරග ජයග්‍රහණයක් අත්පත් කර ගත්තා.  ඒ අයුරින් ව්‍යවස්ථාදායක මන්ත්‍රණ සභාවට තේරී පත්වුණු ඩී.එස් සේනානායකට එහි නිල නොලත් මන්ත්‍රී කණ්ඩායමේ ලේකම් වශයෙන් කටයුතු කිරීමේ අවස්ථාව ද හිමි වෙනවා.
එම තනතුරේ රාජකාරි අකුරට ම ඉටුකළ ඩී.එස් වැඩි කලක් යන්නට පෙර ලාංකීය දේශපාලන කරළියේ කැපී පෙනෙන චරිතයක් බවට පත්විය. එම කාල වකවානුව වන විට ලංකා ජාතික සංගමයේ ක්‍රියාකාරී සාමාජිකයකු වශයෙන් කටයුතු කළ ඩී.ඇස් අප රටට සර්ව ජන ඡන්ද බලය ලබා ගැනීම සඳහා වූ සටනට සිය සක්‍රීය දායකත්වය ලබා දීමට කටයුතු ආරම්භ කරන්නේද මෙන්න මේ කාල වකවානුව තුලදීය.

ළාබාල ම අමාත්‍යවරය


ඩී.එස් සේනානායක ව්‍යවස්ථාදායක මන්ත්‍රණ සභාව නියෝජනය කළ අවධියේ දී වඩාත් ක්‍රියාකාරී මහජන  නියෝජිතයකු බවට කැපී පෙනුනා.  එනිසා 1927 වසරේ දී ඉඩම් කොමිසමේ සාමාජිකයකු ලෙස රාජකාරි කිරීමේ අවස්ථාවද ඔහුට හිමි වෙනවා. ඉන් පසුව ඔහු කිසිදු ගැටලුවකින් තොරව වසර කිහිපයක්ම කෘෂිකර්ම කමිටුවේ ප්‍රධානියා ලෙසින් කටයුතු කිරීමේ ප්‍රතිඵලයක් ලෙස පළමු රාජ්‍ය මන්ත්‍රණ සභාවේ කෘෂිකර්ම සහ ඉඩම් අමාත්‍යධූරය හිමි වෙනවා.  ඒ අනුව පළමු රාජ්‍ය මන්ත්‍රණ සභාවේ සිටි ළාබාල ම අමාත්‍යවරයා බවට පත්වන්නෙද  ඩී.එස් ය. ඔහු ඒ වන විට 47 හැවිරිදි වියේ පසුවුණා.

රජරට යළි දියුණු කිරීමට උනන්දු වුණු හැටි

1932 වසර වන විට රජරට තිබුණු වැව් අමුණු බොහෝමයක් විනාශ වුනා. පැරණි අනුරාධපුර සහ පොළොන්නරු රාජධානිවලට අයත් ව තිබුණු ප්‍රදේශ රැසක් වල්බිහි වුනා. අතීත රජදරුවන් මෙරට පාලනය කළ එකල ස්වයංපෝෂිත ව පැවති රජරට සාරවත් බිම් ප්‍රදේශ යළි අස්වැද්දීම ඩී.එස් සේනානායකගේ එකම සිහිනය බවට පත් වුනා.

එදා ඔහු කැළයෙන් වැසී තිබුණු රටරට ප්‍රදේශවලට ගොස් එහි මිනිසුන් පදිංචි කිරීමට හැකිදැයි යන වග සොයා බැලුවා. ඒ අයුරින් රජරට පුරා කරක් ගැසූ ඩී.එස්  1933 දී ඉඩම් සංවර්ධන පනත රාජ්‍ය මන්ත්‍රණ සභාවට ඉදිරිපත් කළා. එම පනත ඉදිරිපත් කිරීමෙන් ඔහුගේ බලාපොරොත්තු වුණේ රජරට ප්‍රදේශ ආශ්‍රිත ව ගොවි ජනපද ආරම්භ කිරීම යි.

මින්නේරි ගොවි ජනපදය ආරම්භ වෙයි

ඒ අනුව 1933 වසරේ දී පමණ මින්නේරිය ගොවි ජනපදය පිහිටුවීමේ කාර්යය ආරම්භ වෙනවා. අක්කර 2000ක පමණ භූමි ප්‍රදේශයකින් යුක්ත වුණු එම ජනපදයේ පදිංචි කරවීම සඳහා අයදුම්පත් ඉදිරිපත් කළ තෙත් කලාපයේ ජීවත් වුණු ගොවීන් ගෙන් වැඩි පිරිසක් ඒ සඳහා තෝරා ගැනුනා. එහි දී මින්නේරිය ජනපදයට යාමට සුදුසුකම් ලබා ගත් ගොවීන්ට ගොඩින් අක්කර 2ක් සහ මඩින් අක්කර 5ක් ලබා දුන්නා. එදා ඩී.එස් සේනානායක ආරම්භ කළ මින්නේරිය ගොවි ජනපද ව්‍යාපාරයට විරුද්ධ පාර්ශව ගන්නාවක් වෙතින්ම චෝදනා එල්ල වුනා. ඒ වන විට ලංකාව පුරා මැලේරියා වසංගතයක් පැතිරයමින් තිබුණු නිසා ඔවුන්ගේ චෝදනාව වුණේ “මැලේරියා වසංගතයට අහිංසක ගොවියන් ගොදුරු කරන්නට කැළෑවලට ගිහින් දමනවා”. යන්නයි. ඒ අයුරින් එල්ල වුණු  චෝදනාවට ඩී.එස් සේනානායක අමාත්‍යවරයා පහත දැක්වෙන ආකාරයේ පිළිතුරක් ලබා දී තිබුනා.

“මගේ ඉඩම් ප්‍රතිපත්තිය ගැන මට කියන්න තියෙන්නෙ මෙපමණ යි. මැලේරියා ගහන කැලෑවල රිංග රිංගා මැලේරියා මදුරුවන්ගෙන් ගැහැට විඳින්නට, ඒ මූකලාන්වලට යන්නට මහජනයා පොලඹවන්නට මා උත්සාහ දරනවා යැයි බොහෝ දෙනකු මට තදබල ලෙස දෝෂාරෝපණය කරනවා. ඒත් ඔවුන්ට පෙර මා ඒ මැලේරියා බහුල වන ප්‍රදේශවලට ගොස් එම ඉඩම් සංවර්ධනය කිරීම ආරම්භ කළ බව මෙහි දී මතක් කරන්නට කැමතියි”

ඩී.එස් සේනානායක අමාත්‍යවරයා මින්නේරිය ගොවි ජනපදය ආශ්‍රිත ව එදා පැතිරයමින් තිබුණු මැලේරියා වසංගත තත්ත්වය පාලනය කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගත්තා. එහි ප්‍රතිඵලයක් වශයෙන් එහි මැලේරියා තත්ත්වය පාලනය වුණා. එනිසා 1934 වසරේ දී පමණ මින්නේරිය ගොවි ජනපදය නිල වශයෙන් ආරම්භ වුණා. එහි ජීවත්වුණු ගොවීන්ට ලැබුණු ගොඩ ඉඩම්වල කොස්, දෙල්, අඹ සහ කෙසෙල් වැනි බෝග වගා කරවීම  කෘෂිකර්ම අමාත්‍යවරයාගේ අධීක්ෂණය යටතේ සිදුවුණා. ඒ සඳහා තත්ත්වයෙන් උසස් පැළ රජයෙන් නොමිලේ ලබා දුන්නා. ගොවි ජනපදයේ ජීවත් වුණු වැසියන්ට සත්ත්ව පාලනය සහ කිරි පට්ටි පාලනය පිළිබඳ ව කියා දුන් කෘෂිකර්ම අමාත්‍යවරයා, එමඟින් අමතර ආදායමක් ලබාගත හැකි බව ද පෙන්වා දුන්නා. ඩී.එස් එදා දුර දක්නා නුවණින් යුතු ව හඳුන්වා දුන් වැඩපිළිවෙළ නිසා බොහෝ දෙනකුට උසස් ජීවන තත්ත්වයක් උරුම වුණා.

දෙවන වරටත් රාජ්‍ය මන්ත්‍රණ සභාවට

ව්‍යවස්ථාදායක මන්ත්‍රණ සභාව පැවැත් වූ කොළඹ කොටුවේ ව්‍යස්ථාදායක සභා ගොඩනැඟිල්ල

1935 දෙසැම්බර් 7 වැනිදා පළමු රාජ්‍ය මන්ත්‍රණ සභාව විසුරුවා හැරියා. 1936 ජනවාරි 15 වැනිදා දෙවන රාජ්‍ය මන්ත්‍රණ සභා මැතිවරණය සඳහා නාම යෝජනා භාර ගැනීම සිදු වුණා. එවර මැතිවරණය පැවැත්වීමට නියමිත ව තිබුණේ පෙබරවාරි 22 දා සිට මාර්තු7 වෙනිදා දක්වා වූ දින 11ක කාලයක් තුලයි. එම වසරේ පෙබරවාරි මසට දින 29ක් වූ අතර මාර්තු මස 1,4 සහ 6 යන දින තුන මැතිවරණය ක්‍රියාත්මක වූයේ නැහැ.එම දින තුන මැතිවරණයේ විවේක දින ලෙස නම් කර තිබුනා.  එම මහා මැතිවරණයේ දීත් ඩී.එස් සේනානායක, මිනුවන්ගොඩ ආසනයට නිතරගයෙන් තේරී පත්වුණා. ඔහු පළමු රාජ්‍ය මන්ත්‍රණ සභා යුගයේ  කෘෂිකර්ම සහ ඉඩම් අමාත්‍යවරයා ලෙසින් විශාල සේවයක් ඉටු කළ නිසා දෙවන රාජ්‍ය මන්ත්‍රණ සභාවේ දීත් ඔහුට එම තනතුර හිමි වු බව කියැවෙනවා.

තවත් ගොවි ජනපද රැසක් ආරම්භ කරයි

ඩී.එස් සේනානායක කෘෂිකර්ම අමාත්‍යවරයා සිය දෙවන ධූර කාලයේ දී කන්තලේ වැව, ගිරිතලේ වැව, කලා වැව, පදවිය වැව, පරාක්‍රම සමුද්‍රය ඇතුළු වැව් අමුණු රැසක් ප්‍රතිසංස්කරණය කළා. ඉන් අනතුරුව එම ප්‍රදේශ ආශ්‍රිත ව ගොවි ජනපද පිහිටවූවා. ඇළහැර, බෙරගම, රිදීබැඳි ඇල්ල, අලුත් කාගම, තබ්බෝව වැනි ප්‍රදේශවල ද ගොවි ජනපද ආරම්භ කලා.
එකල දෙවන ලෝක යුද්ධයේ බලපෑම හේතුවෙන් රට තුළ අර්බුදකාරී වාතාවරණයක් ගොඩ නැගී තිබුණත් සේනානායක කෘෂිකර්ම අමාත්‍යවරයා හැකි පමණින් සිය වගකීම් ඉටු කරන්නට වෙහෙසුණා. එනිසා 1947 වසර වන විට ඔහු  වියළි කලාපයේ අක්කර 26,737ක් තරම් විශාල භූමි ප්‍රදේශයක් ගොවි ජනපද ව්‍යාපාර යටතේ සංවර්ධනය කර තිබුණා.
ගල් ඔය ජනපද ව්‍යාපාරය
1937 වසරේ දී ඩී. ඇස්. සේනානායක කෘෂිකර්ම ඇමතිවරයා ලෙස කටයුතු කළ අවධියේ දී ගල් ඔය බහුකාර්ය යෝජනා ක්‍රමය පිළිබඳ ව මුලින් ම යෝජනාවක් ඉදිරිපත් කළා. නමුත් යම් යම් හේතූන් නිසා එම යෝජනාව ක්‍රියාවට නැංවීමට අවස්ථාවක් ලැබුණේ නැහැ. 1947 මහා මැතිවරණයෙන් පසු ව බලයට පත්වුණු එක්සත් ජාතික පක්ෂ රජයේ කෘෂිකර්ම සහ ඉඩම් අමාත්‍යධූරය ඩඩ්ලි සේනානායකට හිමි වුණා. එදා අගමැති ඩී.එස් සේනානායක එම තනතුර සිය පුත්‍රයාට ලබා දුන්නේ ඔහුගේ ගොවි ජනපද ව්‍යාපාර වැඩපිළිවෙළ තවදුරටත් ඉදිරියට ගෙන යාම සඳහා යි.

එදා ඩී.එස් සේනානායක යෝජනා කළ ගල් ඔය ව්‍යාපෘතිය 1949 වසරේ දී යළි ක්‍රියාවට නැංවීමට කටයුතු කළේ ඩඩ්ලි සේනානායක කෘෂිකර්ම අමාත්‍යවරයා යි. ඒ අගමැති සේනානායකගේ මඟ පෙන්වීම යටතේ යි. එම ව්‍යාපෘතිය ආරම්භ කිරීම සඳහා 1949 අංක 51 දරන ගල්ඔය සංවර්ධන මණ්ඩල පනත මඟින් පසුබිම සකසනු ලැබුවා. ඒ අනුව අක්කර 120,000 පමණ පෝෂක කලාපයකින් යුක්ත වුණු  යෝජනා ක්‍රමය මඟින් ගොවි ජනපද 40 ක් ස්ථාපිත කිරීමට කටයුතු කළා. ඉන් පසු ව 250,000ක පමණ පිරිසක් එම ප්‍රදේශ ආශ්‍රිත ව පදිංචි කරවූවා.

සේනානායක සමුද්‍රය

ගල් ඔය බහු කාර්යය යෝජනා ක්‍රමය යටතේ නිර්මාණය වුණු සේනානායක සමුද්‍රයේ වැඩ කටයුතු 1949 වසරේ දී ආරම්භ වුණා. මෙම ව්‍යාපෘතියේ කටයුතු එකල ගම්මුන්ට අලුත් අත්දැකීමක් වුණා. එහි  වැඩ ආරම්භ කිරීමට පෙර නොයෙකුත් ස්ථානවල කඳවුරු ගැසීම් ආදිය සිදු වුණා. ගල් ඔය ව්‍යාපාරය මඟින්  ස්ථාපනය කළ ගොවි ජනපදවල වැඩ කටයුතු සිදු කිරීම සඳහා ගොවි හමුදාක් සිටි බව පැවසෙනවා. එම  පිරිස් පරගහකැලේ යන ප්‍රදේශයේ කඳවුරු බැඳගෙන සිටි බවත් කියති. එවකට “ඇග්‍රිකල්චර් කැම්ප්” යනුවෙන් එම ප්‍රදේශය හැඳින්වූවා.

එහි සේවය කළ පුද්ගලයන් සඳහා නිල ඇඳුම්, කෑම ආදිය රජයෙන් සැපයූ අතර මාසික වේතනය වශයෙන් රුපියල් 45 ක මුදලක් ලබා දී තිබෙනවා. එම ව්‍යාපෘතියේ වැඩ ආරම්භ වුණු  පසුව රැකියා සොයා මිනිසුන්  වෙනත් ප්‍රදේශවලින් ද එහි පැමිණ තිබෙනවා.
එදා ඉඟිනියාගල පිහිටා තිබුණු විශාල කඳු දෙකක් යා කොට ඉදි කළ සේනානායක සමුද්‍රය වර්ග සැතපුම් 384 ක පමණ ජල පෝෂක ප්‍රදේශයකින් යුක්ත යි.
අඩි 3600ක් පමණ දිගකින් හා අඩි 140ක් පමණ උසකින් යුක්ත පස් වේල්ලක් මඟින් මෙම ජලාශය ඉදිකර තිබෙනවා. අක්කර අඩි 770,000ක  පමණ විශාල ජල ප්‍රමාණයක් ජලාශයේ රඳවා ගත හැකි අතරම එය වර්ග සැතපුම් 30 ක් පමණ පුරා පැතිරී පවතිනවා. මෙම සමුද්‍රයේ වාන් ඇල දිගින් අඩි 770කි සහ  උසින් අඩි 60කින් යුක්තය. දොරටු හයක් සහිත වානෙන් ජලය බෙදා හැරීම සඳහා අඩි 13 ක පමණ විශ්කම්භයකින් යුක්ත සොරොව්වක් භාවිත කරනවා. ඒ අයුරින් නිර්මාණය වුණු සේනානායක සමුද්‍රයේ වැඩ කටයුතු 1953 වසරේ දී අවසන් වුණා.
නොසිතූ මොහොතක සිදුවුණු අභාවය

අගමැති ඩී.එස්. සේනානායක සැලකිය යුතු කාලයක සිට දියවැඩියා රෝගයෙන් පෙළෙමින් සිටියා. නමුත් ඉන් නොසැලුණු ඩී.එස් වෙහෙස මහන්සි වී සිය රාජකාරි කටයුතු සිදු කළා. 1952 මාර්තු මාසය වන විට දියවැඩියාව රෝගය හේතුවෙන් ඔහුගේ හදවත දැඩි ලෙස දුර්වල වී තිබුණු බව වෛද්‍යවරුන් පවසා සිටියා. එවැනි තත්ත්වයක් යටතේ වුවත් 1952 මාර්තු 20 බ්‍රහස්පතින්දා කැබිනට් රැස්වීමක් ද පැවැත්වීමට ඔහු කටයුතු කළා. එදින ඇමැතිවරුන්ට දිවා භෝජන සංග්‍රහයක් ද ලබා දුන්නා. ඒ ඔහු සිය කැබිනට් මණ්ඩලය හමුවුණු අවසන් දිනය යි.

ගාලු මුවදොර පිටියෙහි පසුදින උදෑසන ඔහු අසුපිටින් යද්දී හදිසියේ ම බිම ඇදගෙන වැටුණා. බොහෝ දෙනෙකු එය හදිසි අනතුරක් ලෙසින් නිගමනය කළත් මරණයට හේතුව වුණේ හෘදයාබාධයක්. ඒ අයුරින් ඩී.එස් සේනානායක අගමැතිවරයා දැයෙන් සමුගැනීම රටට විශාල පාඩුවක් වුණා. එදා ඔහු රට ම දුක් සයුරේ ගිල්වමින් සදහට ම නික්ම ගියත් අදටත් ගොවි ජනපදවල ජීවත් වන මිනිසුන් ඔහුගේ නාමය ඉතාමත් ගෞරවයෙන් සිහිපත් කරනවා. ඒ ඔහු කළ කී දේවල්වලින් ප්‍රතිලාභ ලබන මිනිසුන් රැසක් අදටත් අප රට තුළ ජීවත් වන නිස යි.

මූලාශ්‍ර:

ලංකා දේශපාලනයේ සේනානායකවරු

ඩඩ්ලි සේනානායක චරිතාපදානය- සේනානායක පදනම

ලක්දිව ගොවිතැන දියුණු කරන්නට වෙහෙසුණු මිනිසා - නුවන් ලියනගෙදර

Latest