Skip to content

අධ්‍යාපනවේදී උපාධිධාරීන් 21 දෙනෙකුට ගුරු පත්වීම් පිරිනැමේ

ජයලත් දිසානායක - බදුල්ල

ඌව පළාත් සභාවේ අධ්‍යාපන අමාත්‍යාංශයට බඳවා ගනු ලැබූ අධ්‍යාපනවේදී උපාධිධාරීන් 21 දෙනෙකුට ගුරු පත්වීම් පිරිනැමීම ඌව පළාත් ආණ්ඩුකාර ඒ.ජේ.එම්. මුසම්මිල් මහතාගේ ප්‍රධානත්වයෙන් අද දින (25) ඌව පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලයේ දී පැවැත්විණ.

මෙහිදී කොළඹ, පේරාදෙණිය, නැගෙනහිර හා විවෘත විශ්වවිද්‍යාලයෙන් අධ්‍යාපනවේදී උපාධිය ලැබූ උපාධිධාරීන් විසි එක් දෙනකුට ගුරු පත්වීම් පිරිනමන ලදී.

මෙසේ බඳවා ගනු ලැබූ උපාධිධාරි ගුරුවරුන් බදුල්ල, බණ්ඩාරවෙල, වැලිමඩ, පස්සර, වියළුව, මහියංගනය, බිබිල, මොණරාගල, වැල්ලවාය සහ  තණමල්විල අධ්‍යාපන කලාපවල පිහිටි  දුෂ්කර පාසැල් වෙත අනුයුක්ත කර තිබේ.

මෙම ගුරු පත්වීම් පිරිනැමීමේ අවස්ථාවට ඌව පළාත් ප්‍රධාන ලේකම් පී.බී. විජයරත්න මහතා, ඌව පළාත් අධ්‍යාපන ලේකම් එච්.එම්. නන්දසේන මහතා, රාජ්‍ය සේවා කොමිෂන් සභා ලේකම් එච්.එම්. ජීවන්ත හේරත් මහතා සහ ආණ්ඩුකාරවර ලේකම් ආර්.එච්.සී.ප්‍රියන්ත මහත්මිය ඇතුළු නිලධාරීන් පිරිසක්ද එක්ව සිටියහ.

Latest