Skip to content

අධ්‍යාපන අමාත්‍යංශයේ පුස්තකාල සේවක තනතුරට සම්මුඛ පරීක්ෂණ පවත්වා වසර 04 ක් ඉක්ම ගියත් පත්වීම් නෑ.

අධ්‍යාපන අමාත්‍යාංශයේ ප්‍රාථමික ශිල්පීය නොවන සේවක ගණයේ සේවකයින් පුස්තකාල සේවක තනතුරට පත්කිරීමට අදාළ සම්මුඛ පරීක්ෂණය පවත්වා මේ වන විට අවුරුදු 04 මාස 04 ක් ගතවී ඇතත් උක්ත සම්මුඛ පරීක්ෂණයට සහභාගී වු සුදුසුකම්ලත් තනතුරුධාරීන්ට මේ දක්වා සාධාරණයක් ඉටු නොවීම සමස්ථ අධ්‍යාපන අනධ්‍යයන සේවාවට අත්ව ඇති ඛේදජනක තත්ත්වයක් බව අධ්‍යාපන අනධ්‍යයන සේවක සංගමය පවසයි.

තවද රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් අධ්‍යාපන අමාත්‍යාංශය වෙත උක්ත සම්මුඛ පරීක්ෂණයේදී එනම් 2019 වර්ෂයේදී පරිවාස කාලයට යටත්ව සේවයේ නිරතව සිටි පාසල් කම්කරු/සනීපාරක්ෂක කම්කරු හා පාසල් මුරකරු තනතුරුධාරීන් 238 දෙනෙකු අදාළව ලබාදී ඇති අවිධිමත් පුස්තකාල පත්වීම් සම්බන්ධයෙන් වන තොරතුරු වෙන් වෙන් වශයෙන් යොමු කරන ලෙස දන්වා ඇතත් ඔබ අමාත්‍යාංශය විසින් මේ දක්වා එම අවිධිමත් පුස්තකාල පත්වීම් 238 කට අදාළව ඉතා සුලු තොරතුරු ප්‍රමාණයක් පමණක් යොමු කර ඇති බවට කරුණු අනාවරණය වී ඇති බවද එම සංගමය පෙන්වා දෙයි.

මෙලෙස රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් යොමු කරන ලෙස දන්වා ඇති ලිපිගොනු හා අදාළ වාර්තා අමාත්‍යාංශයේ අදාළ වගකිව යුතු නිළධාරීන් විසින් දිගින් දිගටම ප්‍රමාද කරලීමත් රාජ්‍ය සේවා කොමිෂන් සභාව වෙත යොමු කර ඇති අගතියට පත් අනධ්‍යයන තනතුරුධාරීන්ගේ ලිපිගොනු කටයුතුද තවතවත් ප්‍රමාදකරලීමේ හමුවේ එම අනධ්‍යයන තනතුරුධාරීන්හට වැටුප් වර්ධක හා උසස්වීම් ලබා ගැනීමේදී ගැටලුකාරී තත්ත්වයන්ට මුහුණපාන්නට සිදුවන බවත් වගකිව යුතු බලධාරීන් තේරුම් නොගැනීම පුදුමය දනවන්නක් වන අතර එබැවින් උක්ත ගැටලුකාරී තත්ත්වයට කඩිනම් ක්‍රියාත්මකවීමේ දැඩි අවශ්‍යතාවයදඑම සංගමය විසින් ලිපියක් මගින් අධ්‍යාපන  අමාත්‍යාංශ ලේකම්වරයා දැනුවත් කර ඇත.

තවද අධ්‍යාපන අමාත්‍යාංශයේ ප්‍රාථමික ශීල්පීය නොවන සේවා ගණයේ බදවා ගැනීමේ පරිපාටි 11.1 හා 2 වන වගන්තියද උල්ලංඝණය කරමින් ලබාදී ඇති උක්ත අවිධිමත් පුස්තකාල සේවක පත්වීම් හමුවේ අගතියට ලක්ව ඇති තනතුරුධාරීන් සම්බන්ධයෙන් දීර්ඝ කරුණු පැහැදිලි කිරීමක් සමග අමාත්යාංශ ලේකම්වරයා සමග පැවති සාකච්ජා වට 02කදී සිදුකර ඇති නමුත් මේ දක්වා මෙම ගැටලුවට නිසි විසදුම් නොලැබීම අනධ්‍යයන සේවකයින් තුළ දැඩි කළකිරීම් සහගත තත්ත්වයක් උද්ගත කිරීමට මගපාදා ඇති බවද එම ලිපියෙන් පෙන්වා දී ඇත .

එබැවින් සිදුව ඇති අසාධාරණයන්ට තවදුරටත් කඩිනම් විසදුම් ලබානොදී අධ්‍යාපන අනධ්‍යයන සේවාව තුළ කාර්යක්ෂමතාවය හා ඵලදායිතාවය බිදවැටීමට අවැසි ඉඩහසර සලසා නොදීමේ වගකීම වගකිවයුතු බලධාරීන්ගේ වගකීම බව අධ්‍යාපන අනධ්‍යන සේවක සංගමයේ ප්‍රධාන ලේකම් අජිත් කේ. තිලකරත්න එම ලිපිය මගින් වැඩිදුරටත් පෙන්වා තිබේ.

Latest