Skip to content
WorldTech

AI නිසා නළු නිළියන් වර්ජනයේ

ඇමරිකා එක්සත් ජනපදයේ ක්‍රියාත්මක වන විනෝදාස්වාද කර්මාන්තයට (entertainment industry) සම්බන්ද ශ්‍රමිකයන් 160,000 පමණ නියෝජනය කරන වෘත්තීය සංගමයක් වන Screen Actors Guild - American Federation of Television and Radio Artists (SAG-AFTRA) 2023 ජුලි 14 වන දින වැඩ වර්ජනයකට අවතීර්ණ වීමට තීරණය කර තිබෙනවා. මෙවැනි වර්ජනයක් සිදුවන්නේ වසර 60කට පමණ පසුව ප්‍රථම වරට බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. ආදායම් අඩුවීම්, උද්ධමනය වැනි ගැටළු නිසා මෙම වෘත්තිකයින් අර්බුද රැසකට මුහුණදී ඇති බවත්, එවන් පසුබිමක කෘතීම බුද්ධි (AI) තාක්ෂණයේ දියුණුවත් සමග ඔවුන්ගේ ජීවිකාවන් බරපතල ලෙස තර්ජනයට ලක්ව ඇති බවත් මෙම සංගමය පවසනවා. මෙම ගැටළු වලට විසදුම් ලෙස යෝජනා කිහිපයක් ඉදිරිපත් කර ඇති අතර මේ සම්බන්දව විසදුමක් ලබාගැනීමේ අරමුණින් Alliance of Motion Picture and Television Producers (AMPTP) සමග සාකච්චා වට කිහිපයක් පැවැත්වුවද ඒ හරහා සුබවාදී ප්‍රතිපලයක් නොලැබුන නිසා මෙවැනි වර්ජනයකට යොමු වූ බව SAG-AFTRA පවසනවා.

AI වල සම්බන්දය

කෘතිම බුද්ධි තාක්ෂණයේ දියුණුවත් සමග වෙනත් කෙනෙකුගේ පෙනුමක් තවත් කෙනකුගේ රඟපෑමකට ඉතා තාත්වික ලෙස යෙදීමට හැකිවී තිබෙනවා. Deep fake ලෙස හදුන්වන්නේද මෙවැනි ක්‍රියාවලියක්. මෙහිදී මුලින් අදාල පුද්ගලයාගේ පෙනුම සම්බන්ද සියලු දත්ත පරිගණක ගත කිරීම සිදුවනවා. ඉන් පසුව එම දත්ත භාවිතා කර අදාල පුද්ගලයාගේ පෙනුමේ Digital පිටපතක් නිර්මාණය කළ හැකිය. මෙම Digital පිටපත භාවිතා කර වෙනත් කෙනෙකුගේ පෙනුමක් තවත් කෙනකුගේ රඟපෑම් වලට ආදේශ කර වීඩියෝ නිර්මාණය කළ හැක.

මුල් කාලයේ මේ හරහා එතරම් තාත්වික ප්‍රතිපල නොලැබුණු අතර එය ඉතා මිල අදික, සංකීර්ණ සහ විශාල කාලයක් ගතවන ක්‍රියාවලියක් විය. කෙසේ නමුත් තාක්ෂණයේ දියුණුවත් සමග මෙම ක්‍රියාවලිය වේගයෙන් පහසු වෙමින් පවතියි. මේ වන විට යම් ඉදිරිපත් කිරීමක් කරන අයෙකුගේ සජීවී විකාශයක මුහුණ වෙනුවට වෙනත් අයෙකුගේ මුහුණ ඉතා තාත්වික ලෙස ආදේශ කල හැකි මට්ටමට මෙම තාක්ෂනය දියුණු වී ඇත. පසුගිය වසරේ America's Got Talent සඳහා Metaphysic ඉදිරිපත් කල ඉදිරිපත් කිරීම මේ සඳහා කදිම උදාහරණයකි.

මෙම තාක්ෂනය රුපය මාරු කිරීමට පමණක් සීමා නොවන අතර වෙනත් අයෙකුගේ කටහඬද ඉතා තාත්වික ලෙස පිටපත් කිරීමේ හැකියාව මේ වන විට ඇත.

නළුවන්ට නිළියන්ට ඇති බලපෑම

යම් චරිතයකට නළුවෙක්/නිලියක් තෝරාගැනීමට ඔහුගේ හෝ ඇයගේ රඟපෑමේ හැකියාව මෙන්ම අදාල චරිතයට ගැලපෙන පෙනුමක්, හඬක් තිබෙනවාද යන්නත් විශාල ලෙස බලපානවා. එලෙස ගැලපෙන අය විශාල ප්‍රමාණයක් නැති නිසා අදාළ රඟපෑම වෙනුවෙන් සාධාරණ මුදලක් ඉල්ලීමේ බලය එම රංගන ශිල්පීන්/ශිල්පිනියන්ට තිබුණා. එමෙන්ම සමහර චරිත එම චරිතයට පණ පොවන අයගේ පෙනුම හා තදින් බැඳී පවතින නිසා අදාල නාට්‍ය හෝ චිත්‍රපටි මාලාවේ සාර්ථකත්වය මත ඉදිරි වැඩ කටයුතු සඳහා වැඩි මුදලක් ඉල්ලීමේ හැකියාව එම රංගන ශිල්පීන්/ශිල්පිනියන්ට තිබුණා. කෙසේ නමුත් ඉහත කී පරිදි කෘතිම බුද්ධි තාක්ෂණයේ දියුණුවත් සමග වෙනත් කෙනෙකුගේ පෙනුමක් තවත් කෙනකුගේ රඟපෑමකට ඉතා තාත්වික ලෙස යෙදීම දිනෙන් දින පහසු වෙමින් පවතිනවා. මේ සමග යම් චරිතයකට ගැලපෙන පෙනුම සහිත පුද්ගලයෙක් ඉහළ මුදලක් ගෙවා සම්බන්ධ කරගන්නවා වෙනුවට අඩු මුදලකට වෙනත් අයෙකු ලවා එම චරිතය නිරූපණය කරගෙන අදාල පෙනුම පසුව පරිගණක ආශ්‍රයෙන් ඇතුළත් කිරීමට වැඩසටහන් නිෂ්පාදකයින්ට හැකියාව ලැබී  තිබෙනවා. මේ සමග ජනතාව ආදරය කරන ජනප්‍රිය රංගන ශිල්පීන්/ශිල්පිනියන්ට ගෙවිය යුතු මුදල අඩු කරගෙන තම ලාභය වැඩි කර ගැනීමට සමහර වැඩසටහන් නිෂ්පාදකයින් උත්සාහ දරණ බවට SAG-AFTRA චෝදනා කරනවා.

මෙම ගැටලුවට විසදුමක් ලෙස AMPTP මගින් SAG-AFTRA සාමාජිකයින්ගේ පෙනුම අවභාවිතා කිරීම වලක්වා ඔවුන්ගේ අයිතීන් ආරක්ෂා කිරීමට වැඩපිළිවෙළක් යෝජනා කර ඇති නමුත් එය මෙම ගැටලුවට සරිලන විසදුමක් නොවන බව SAG-AFTRA මතයයි. මේ පිලිබඳ මාධ්‍යවේදීන් කළ විමසීමකදී SAG-AFTRA වෙනුවෙන් ප්‍රධාන සාකච්ඡා කරන්නා (chief negotiator) ලෙස කටයුතු කරන Duncan Crabtree-Ireland පවසා ඇත්තේ හොලිවුඩ් නිෂ්පාදකයින් ඉදිරිපත් කර ඇති මෙම යෝජනාව Black Mirror නාට්‍ය මාලාවේ කොටසකින් උපුටා ගන්නා ලද්දක් මෙන් හැගෙන බවයි. මේ අවස්ථාවේ සියලුදෙනා එක්ව මේ වෙනුවෙන් නැගී නොසිටියහොත් ඉදිරියේදී  යන්ත්‍ර මගින් සියලුදෙනාම ආදේශ කිරීමේ අවදානමක් ඇති බවත් එහිදී ඔහු වැඩිදුරටත් පවසා ඇත.

“ If we don’t stand tall right now, we are all going to be in trouble, we are all going to be in jeopardy of being replaced by machines. ”

මේ තාක්ෂනය නරකද?

මෙම තාක්ෂණයේ වාසි රැසක් තිබෙනවා. ඒ අතර ප්‍රදාන වාසි  කීපයක් මෙලෙස දක්වන්න පුළුවන්.

  • අප අතරින් වෙන්ව ගිය ප්‍රේක්ෂකයා ආදරය කරන චරිත වලට නැවත පන පොවන්න මේ හරහා අවස්ථාව උදා වනවා. මෑතකදී Softlogic ආයතනය තම දැන්වීමක් සඳහා අප අතරින් වෙන් වූ ආදරණිය කලාකරුවන් නැවත නිර්මාණය කිරීම මේ සදහා කදිම උදාහරණයක්.
  • සත්‍ය රංගන ශිල්පියාට/ශිල්පිනියට කල නොහැකි ආකාරයේ ක්‍රියාවක් වෙනත් අය ලවා සිදු කර ගැනීමේ පහසුව ලැබීම.
  • එකම පුද්ගලයා විවිධ වයස් වලදී සිටින ආකාරය අවශ්‍ය නිර්මාණ වඩාත් තාත්වික ලෙස සිදුකල හැකි වීම.
  • චරිතයට ගැලපෙන ආකාරයේ පෙනුම මෙන්ම රංගන හැකියාව සහිත අයෙක් සොයාගත නොහැකි අවස්ථා වල එවැනි චරිත රංගන හැකියාව ඇති අයෙක් ලවා නිරුපනය කරගත හැකි වීම.

මේ අනුව බැලූ කල මෙය ඉතා ප්‍රයෝජනවත් තාක්ෂණයක් බව මාගේ අදහසයි. නමුත් ගැටලුව මතුවී ඇත්තේ අදාල පුද්ගලයින්ගේ නිසි අවසරයකින් තොරව ඔවුන්ගේ පෙනුම භාවිතා කිරීම සහ මෙම නිර්මාණ වල ලාභයෙන් සාදාරන කොටසක් පෙනුම හිමි අයට ලබාදීමේ ක්‍රමවේදයක් නොමැති වීමයි.

කෙසේ නමුත් වැඩසටහන් නිෂ්පාදකයින්ට මේ වන විට තම නිර්මාණ සඳහා හරියටම ගැලපෙන මුහුණුද පරිගණක ආශ්‍රයෙන්ම නිර්මාණය කර ගැනීමේ හැකියාව ලැබෙමින් පවතියි. එවන් පසුබිමක මෙම ශිල්පීන්ගේ සහ ශිල්පිනියන්ගේ පෙනුමට ඇති වටිනාකම තවත් අඩු වීමට ඉඩ ඇත. Unreal Engine එකෙහි Metahuman ව්‍යාපෘතියට සම්බන්ධ පිටුවට පිවිසීමෙන් කෘතිම මුහුණු නිර්මාණය  කිරීමේ තාක්ෂණයේ වර්තමාන තත්ත්වය ගැන ඔබට අදහසක් ලබාගත හැකි වනු ඇත.

MetaHuman | Realistic Person Creator - Unreal Engine
Create photorealistic digital humans, fully rigged and complete with hair and clothing, in minutes with Unreal Engine’s free online MetaHuman app.

Latest